29 December 2012

මාවතක්



ජීවිතය අතොරක්
ඒ මැදට වන් වූ
කටු පිරුණු සෙවනක්
සදයි නෙක මලින්
පෙන්වමින් සිහසුනක්
දෑස් බඳිමින් 
වසා සලකුණු විටෙක
ඇවිදවා සතර අත
කරයි කප්පාදු 
ඉසිඹුලක්
දවයි හිරු රැස්
 නැතිව පවසට පැන් දියක්
ලබා නෙක කුසිත් බවනක
ස්වප්න දිය ගෙන
වේවි තුසිතය 
පසුව
ඇස ගැටුණ
මලින් පිරිගිය මාවතක්..!

11 December 2012

වැහි ළිහිණි..

මම 
මගේ පාඩුවේ ඔහේ හිටිය
ළිහිණියක්..!
නුඹ අරන් ඇවිත් 
ආදරණීය වැස්සක්
ඒ මේඅතට විසිකරන්..
මං 
තෙමෙන්නට බියෙන් 
පියඹගෙන ගියේ 
සැඟවෙන්නට සෙවනක්..!
නතරවුණේ..
ශක්තිමත් පියාඹදකට මැදිව
උණුහුමක්..
ඉතින් දැන් මං
නුඹ නමින් 
වැහි ළිහිණියක්..!

29 November 2012

පළිඟු සිහින


 හාත්පස අඳුරෙන්ද ඔහු වටා සිටි අයගේ අඳුරු ඡායාවලින්ද මෙය වරදක් බව දැන තැතිගෙන සිටියා. ඝණ සීතලට හැදසිටි කබාය යටින් පෙඟුණ ඔහුගේ හදවතත් තව තවත් එම කටයුත්ත ගැන දැක්වූයේ නොසැලකිලිමත් බවක්.. පෙර පළපුරුදුබව නිසාත් විශ්වාසවන්තකම මත මෙම බාරදූර්යය කාර්යය ඔහු මතට පැවරූ අය අඳුරේම ඔවුනොවුන්ගේ උකුසු ඇස් නියවමින් සිටියේ ඒ දිහාවට ප්‍රථමයෙන්ම තම කොටස අයිතිකර ගැනීමට වුවත් කාර්ය්‍යසූර්ය වූ ඔහුට ඒවගක් නොතිබුණේ තවමත් සිත දෙගිඩියාවක් බවක් පෙන්වමින්..

"ඕක ඉක්මනට ඇරපන් මිනිහෝ.."

අඳුරේම පෙන්නවූ පිස්තෝලය සමගින් නාඳුනන කටහඬ ගැන තැකීමක් නොකරම බිම ඇන තියාගත් ඔහු හෙමින් සැරේ වසාතිබුණ අටපට්ටම් හැඩැති පෙට්ටිය විවෘත කරන්නට විය. රතුපාට විල්ලුද ඇතිරූ එහි රන් ද, රිදී කැබැලි කිහිපයක්ද ඒමතින් විසර තිබුණ රතු මැණික් ද දැක ඒවා තම සීත කබායේ සාක්කුවල පුරවගන්නට වුණේ කොන්ත්‍රාත්තුව පරිදි එය පසුව සමසේ ඔවුන් අතර බෙදාගැනීමටත් තමාගේ කොටස මුදල් වලින් ලබාගැනීමට සහතිකයකුත් වශයෙන්. කෙතරම් විශ්වාස වන්ත වුණත් ඔවුන්ට උවමනාවුනේ එහි ඇති රතු දියමන්ති කැට සියල්ල ඔහු ඔවුන් අතට භාරදේද යන්න සැක මත ඔවුනුත් පැමිණ සිටියහ.

එහෙත් සිදුවූයේ අනිකක්.. 

හදිසියේම එල්ලවූ විදුලිපන්දම් වලින් මතුවුණ වගකිවයුතු අයවලුන්ටගේ කලබැගෑනියෙන් සියළුදෙනා හිස්ලුලූ අත දිවයන්නට විය. අඳුරේම අත පත ගා අවසාන දියමන්තිය දක්වා තම කබා සාක්කුවට දමා ගත් ඔහු ,  ඉදිරියට පැමිණෙන නිලධාරීන්ට තම සාක්කුවට අත දමා මිටට අහුවෙන මැණික් අහුරක් ඔවුන්ගේ මිට මොළවා ඔහු පිළිබද පොලිස් වාර්ථාවල නොලියැවෙන සේ කට වසාදමන්නට ඔහුට හැකිවිය.. නිලධාරිත් ඒවා රැගෙන සතුටු සිතින් මඟහැර යන්නට විය. මෙම ගනුදෙනුව කනවැටී මහමග විසිරෙන කලඹලය මතින් ඔහු වහා දිව ගියේ ඔහුගේ තනිකුටිය වෙතටයි. උසට වැඩුණු ෆයිනස් ගස් මැදිකොට බදාගනිමින් සිටි වැල් ගෙදර වහල පුරාද බිත්ති පුරාද දිවගොස් තිබුණ. ගරාවැටෙමින් අඳුරුව තිබුණ කඩතොලුවූ තනි දොරත්, අඳුරු කාමරයේ උස් කවු‍ලුවෙන් හිතුවක්කාරකමට වැටුණ සඳ එළියෙන් ඔහුගේ කාමරයේ උස්තැනක ඇතිරූ රෙදිකඩත්, හිස තැබීමට යන්තම් රෙදිකඩයක් ඔතාගත් කොට්ටයත් එහෙන් මෙහෙන් විසිවූ පිඟන් කෝප්පත් අතර ඔහු දුටුවේ බිය මුසුව හිඳ සිටිනා තම නැඟනියට තුරුළුව සිටිනා දරු දෙදෙනාගේ පළිඟු ඇස්ය. දොරේ සිඳුරු අතරින් ඔත්තුබැලුම පසෙක තැබූ ඔහු ළං වූයේ දරුදෙදෙනාවෙතට..

"උඹලා මොකද මෙහෙ..?" එකෙක්ව තුරුළු කරගන්න අතර ඔහු විමසුවේ ඇයගෙන්.. පොඩි එකා ගුලිවූයේ පියෙකුගේ උණුසුමට පැන උණුසුම හොයන හංස පැටියෙක්සේ ඔහුගේ ශක්තිමත් පියපත්අතින් රැකවරණය කොට ගෙන ලයට තුරුළු විය.

"මොකුත් ඉල්ලගන්න.. අද දවසටම හරිහමන් කෑමක් නැහැ." 
ඇය පැවසුවේ බිම බලාගෙන වුවත් ඒ දෑස්වල රැදුන උණුසුම් මුතු දිය දකින්නට හඳ එළියත් ඔහුගේ ළයමත තැබුණ සොයුරු පෙමත් දරු පෙමත් ඉක්මන් වන්නට ඇත.

විගසම පහත්ව තිබූ දොර සිඳුරකින් ඔහු දුටුවේ පාරෙන් මතුවන උස් අඩි ඇති කළු පැහැති සපත්තු යුවලකි. කලබලව එහෙ මෙහෙ දිවයන සෙනඟ අතරින් තාලයට එහෙත් කඩිනමින් අඩිය තබා ඔහුගේ ගරාවැටුණ පැලට ඉදිරියෙන් ඇති මාර්ගය ලං ලංවත්ම දෙදෙනාගෙම හදවත් ගැහෙන්නට වූයේ එකම රිද්මයෙනි. ඔහු තමාගේ තුරලෙහි නිදියන දරුවාගේ මුව හඬක් නොනැගෙන සේ වසා නැඟනිය අසල සිටි අනෙකාටද ශබ්ද නොකරන ලෙස සන්කලේය.
මෙහෙට එන්න එපා.. හැරියන් හැරියන් ඔහුගේ වෙව්ලන තොල්පෙති මත යාතිකාවක විශ්වාසයෙන් එහෙත් මන්ත්‍රයක ජපකිරීමකින් කියවන්නට විය.
ඔහුගේ ගෙදර පසුකර ගොස් නැවත හැරුණ ඒ උස්පාවහන් ඔහුගේ ‍නිවසට එන පටුමාවතට හැරිණ. තෘණ වැඩුණ සිමෙන්ති කැට අතරින් තාලයකට අඩිතබා පැමිණෙන ඇයගේ මුහුණ හෝ සිරුරනොඳුටුවත් උස් වූ සිරුරකුත් , නපුරු මුහුණතකුත් එය තවත් ආරක්ෂා කරමින් සිටින නිල ඇඳුමකුත් එය රදවාගෙන සිටින තද කළු හම්පටියකුත් දිලිසෙන පටිටම් කිහිපයකුත් ඔහුට මැවිණ. දොරට අඩි තුන හතරකින් නැවතුණ ඇය නැවතත් හිටි වනම හැරී කඩිනමින් පාරට හැරිණ.

ඔහු තම ඝණකම් කබායේ සාක්කුවෙන් රතු මැණිකක් ගෙන තම නැඟණියට පෑය.
ඇය ඒ දෙස බලාගෙන සිටියේ උෂ්මයෙන් මහත්වූ දෑස්වලිනි.

"කොයින්ද මේවා..?"
"මේ වීදුරු කැටද..?"
"ඒත්....."

"හ්ම්ම.. මේක ගනින්.. දැන්ම මාරුකරන්න එපා. එහෙම වුණොත් දන්නවනේ. ඉස්සරවෙලාම අහුවෙන්නෙ ඔයාව.."

"ඔව්. මං  ඒ ගැන බලාගන්නම්."

නැවත වරක් ඔහු දරු දෙදෙනාගෙම හිස අතගා සිඹ වටපිට බලා පාරට පැනගත්තේ ඔහු ගෙදර නොසිටි බව ඇඟයීමට ගත් උත්සහයක් ලෙසින්ද ඔහුගේ නැඟනියත් දරුදෙදෙනාගෙත් ආරක්ෂාව තකාද වශයෙනි. ඔහුගේ දෑසට හසුවූයේ තවමත් වැඩිදුරක් ගොස් නැති තම නිවස දෙසට පැමිණ හැරුණ උස්පාවන් අයිතිකාරියයි. මවාගත් ලෙසම ඇය පොලීසියේ ඉහළ නිලයක් දැරු හැඩ රුව ඔහුට මුව කොණින් සිනා නැඟුණත් ඔහු කලේ වෙනත් මඟකින් හැකි ඉක්කමනින් ඇයව පසුකොට සෙනඟ අතරට එක්වීමයි.

පසුදා පහන්වනතුරු ඔහුට මතකයක් නැතත් ඔහු ඇවිදගියේ සුපුරුදු විශ්වවිද්‍යාලයක් ඉදිරිපිටට. එහිවූ සිසුසිසුවියන් එළියට බැස පුවරු එල්ලාගෙන නඟන හඬ අතර ඔහු එහි එකක් දෙකක් කියවන්නට විය. රටෙහි ඉතිහසයේ අධ්‍යාපනය වෙනුවන් ධනය රැස්කල අයගේ පින්තූර හඳුනාගත් ඔහු නිහඬවම සෙනඟ අතරින් පසුබාන්නට විය. එහෙත් කලක් තම කල්‍යාණ මිතුරියන් දෙදෙනෙක්ද ඒ අතර පුවරු සමඟ තම හඬ අවදිකරන්නට විය. දෙදෙනාම එකම වයසේ එකම ගමක මෙන්ම එකම උස ඇති අයය.

"ඇයි මෙහෙම කෑ ගහන්නෙ....?"
ඔහු ඇසුවෙ එක මිතුරියකගෙන්..

"පේන්නෙ නැතිද.. අපිට ඉගෙනගන්න වෙන්කරලා තිබුණ දේවල් කවුද ඊයෙ හොරා අරගෙන.. "
දැන් කොහොමද අපි ඉගෙන ගන්නෙ..?" ඇය කිව්වෙ ඔහුදෙස ද විපරම් ඇසකින් බලන ගමන්.

ඔහුට කල වරදෙහි බරපතලකම වැටහුණත් ඒබවක් නො අඟවාම ඔහු තව දුරටත් පැරණි වීරවරුන් දෙස බලාගෙන හිටියා. කබායෙ සාක්කුවට අත දැමුනෙ පුරුද්දට වගේ.. ඔහුටත් අමතකව ගිය දියමන්ති අතරට වැටුණු ඇඟිලි , ගැටී ඇතිවුණ ශබ්දය ඔහුට වඩා හොඳින් ඔහුගේ මිතුරියට ඇසුන බව වැටුහිණ. ඇය එකෙනෙහිම අනිත් මිතුරියට ඒ බවක් කනට කර කී බව ඔහු හොරැහින් දුටුවා. තම ජීවිතය වැටී ඇති අනතුර ගැන හොඳ හැටි අව‍බෝධයක් ලබාගත් ඔහු මිතුරියන්ගේ පිළිකුල් මුහුණු හමුවේ සමුගත්තේ ඔවුන්ගේ දෑස්වලින් මිදීමට වුවත් බලධාරීන්ගේ නීතියේ රැහැන තමාට අනිවාර්යය බව පසක් කර ගනිමින්. අතොරක් නැති සෙනඟ අතරින් නිදහස් තැනකට පැමිණි ඔහු සැඟවී සිටින්නට තැනක් සොයන්නට විය.

********************************


හාත්පස බටර් පැහැති උස් බිත්ති පුරා වටිනා දැව වලින් තැනූ රාක්ක වල බහා ඇති ලිපි ගොණුද.. විවිධ මායිම් දැක්වෙන සිතියම්ද අබිමුව ඔහු සිටගත්තේ තම ඉදිරියේ එම වටින දැව වලින්ම තැනූ මේසයක් ඉදිරිපිට තමා පිළිබද කිසි තැකීමක් නොකර ඔහුගේ කාර්යෙයහි යෙදෙන බලධාරියෙක් ඉදිරිපිට. තමා මෙතැන සිටියත් තම නිවස ඉවක් බවක් නැතිව පීරන බව ඔහු දනී. ඒ ගැන සැකයක් ඔහුට නැත. හාත්පස අඳුරු වුවත් ඇදහැලෙන වර්ෂාවෙහි වැහි බිඳු කළුවර වීදුරු මතට සෙවැනැලි අඳිති.

බලධාරියා කරමින් සිටි වැඩය නවතා බෝතල් අඩි උපැස් යුවල යටින් ඔහුදෙස බැලුවේ බියත් සැකයත් රැදි ඇස් සඟවමින්.

"උඹව දැකලා තියෙනවා ගොඩක් දෙනෙක්..!"

"මම කිව්වා.. මම ඒ වගක් දන්නෙ නැහැ."

"එහෙනම් කබායෙ සාක්කුවෙන් ශබ්දයක් ඇවිත් තියෙනවා.. හරියට දියමන්ති ගැටීමෙන් ඇතිවෙන ශබ්දයක්මයි..  ඒ කොහොමද..?"

ඔහු රබර් පටියක දෙපසට ගැට ගසන ලද කොණ්ඩෙට දමන (Hair Band) එකක් මේසය මතට විසික් කලෙත් එහි විසිතුරු වීදුරු බෝල ගැටීමෙන් හඬ ඇතිවුණෙත් ඔහුගැන ඇති චෝදනාවන් උඩු යටිකුරු කරමින්. එය නිලධාරියටත් ඔහුගේ අසල ආරක්ෂාවට සිටි අයටත් ඇසින.

"යන්න පුළුවන්..!" ඒ දෙස බලාසිටි නිලධාරියා ප්‍රශ්නය එතනින් විසඳුවා.

නිලධාරියටත් අනෙක් අයටත් ආචාර කොට විසල් කාමරයෙන් එළියට පැමිණි ඔහුව අතොරක් සොයාගත නොහැකි කො‍රිඩෝවෙ මදක් දුර කැටුව එන ලදි. හැර ඇති විසල් දොරටු දෙකින් එළියේ ඇද‍හැලෙන මහවැසි දකින මානයෙන් ඔවුන් නැවත හැරුණත් ඔහු කල්පනා කරන්නට වූයේ කුමන දොරටුවෙන් එළියට යනවාදැයි. අන්තිමට ඔහු ඉදිරි දොරටුවෙන්ම එළියට බැස්සා.

වැහිබිඳු ඔහුගේ හිසටත්, මහවැසි නිසා පාර පුරා ඇතිවුණ ගැලීම්වලින් ඔහුගේ දෙපාත් තෙමාගෙන තව තවත් සුළං වලින් බේරෙන්නට ඒ වැස්සෙම තෙමෙන අය අතරින් ආවරණයක් නොමැතිව දිව යන්නට විය.. සීතලෙන් තම දෙඅත් ගලවගනුවස් ඔහු තම ඝණකම් කබායට අත දමන ලදි. ඔහුගේ හිතට බියක් දැනුනේත්, මුහුණට විහිළු හිනාවක් නැගුණෙත් එකම විටක. දියමන්ති එ‍කිනෙකට ගැටී ඇතිවුණ ඝට්ටණයත්, ශබ්දයත් ඔහුගේ දෑත් අඟින් හදවතට දැනින..

~නින්දෙන් ඇහැරෙන ලදි~

07 November 2012

සොඳුරු තුහින


සොඳුරු තුහිනෙක 
සොසොඳු බවගෙන
අහස් සිත සීතලෙන් වැසුනා..
සීත වප් මස සිසිර සෘතුවේ
පිපුන පියුමට සුබත් පැතුවා..
අළුත් හිම තටු දුරගෙවාගෙන
දඟකාරියත් එක්ක තෙමුනා
කුරුළු ගී හඬ 
සත්ස්වර 
දොර
කවුළුවෙන් රහසේම ඇසුනා
ඉතින් 
ඒ හඬ අසා ඉන්නට
නුඹත් ළඟදිම එතැයි කිව්වා..!

ලිව්වෙ 28.10.2012

13 September 2012

ආදර තේ කෝප්පයක්..

 කොහෙන්දෝ දුවගෙන ආව හීත හුළඟක් කාමරයේ නොවැසුනු ජනේලයෙන් ඇතුලට කඩාවැදුනෙ ජනෙල් රෙදිත් එහාට මෙහාට විසි කරගෙනම... මීට විනාඩි දෙක තුනකට කලියෙන් තමන් අතින්ම කෑලි වලට බෙදුන ලියමනේ ශේෂයන් සහන්ගෙ දෙපා හොයාගෙන දුක කිව්වත්, හිතේ දුකත් තෙර‍පගෙන වැටෙන්න පොරකන උණු කඳුළු ඇස් වලට පිරෙද්දි, ඔහු හිටියෙ කාමරයෙන් ගොඩක් ඈතක මතකයන් එක්ක..

"ලැජ්ජාවක් කියලා නැද්ද උඹට..?"

බිමට බරවුණ ඇස් අල්ලගන්න පොරකන අප්පච්චිගෙ හඬ  කණට රිංගලා බෙරිහන් දෙද්දි, ආදරය ඉල්ලලා පොරකන හදවත නගන දහසක් ප්‍රශ්න සහන් මුවින් පිට නොකලෙ ඊළග පිළිතුර දැනගෙන..

"මොන අඩුපාඩුවක්ද හෂීගෙ.. අපිට හැම අතින්ම ගැලපෙනවා.. පවුලෙ එකම දරුවා.. උඹට නරක් වෙලා තියෙයි.." එක දෙයක් මතක තියාගන්.. මේ කසාදෙ ස්ථීරයි..!

මේ ගැලපීම් හමුවේ අප්පච්චිත්, ඔහුගේ හඬට පිටින් නොයන ගෙදර උදවිය විතරක් නෙමෙයි... උදේ හවා රැකියාවෙන් හෙම්බත්ව පැමිණෙන සහන්ව පිළිගන්න ඉස්සරහට දිව එන වයිටත් හෂීව වගේම ඇයගේ ගෙදර අයව නකුට වනා අකුරටම ඒ කාරණාව පිළිගත්තත්,  අප්පච්චිගෙ බහට එක එක කාලෙට එක එක විදිහට නැටවුණු සුවච කීකරු පුතා, ඒ පීල්ලෙන් කෝච්චිය වෙනත් පීල්ලකට මාරු වුණේ හදවතින්ම ලියවුණු ආදරයක මං දකිද්දී..

පිය උරුමයෙන් ව්‍යාපාර ගණනක අයිතිය හිමි, යාන වාහන හිමි සහන්ට, අප්පච්චි කොයිතරම් කෑගැහලා කිව්වත් කාලයත් එක්ක ඔට්ටු සෙල්ලම් කරලා සූරණ මහ ධනයෙ තියෙන්නෙ සතුට කියලා..  සහන්  දැක්කෙ තමන්ගෙ කුඩාකල පටන් අහිමි කල නිදහසේ එක් කොටස් කාරයක් විදිහට.. අර විභාග.. මේ විභාග.. එක එක උපාධි.. හුස්මක් ගන්නට තිබුණු ඉඩ කඩෙත් අප්පච්චිට වුවමණා වුණා  සහන් ගෙ අනාගතය තමාගෙ අතට ගන්න.. මේ නිසාම ගෙදරට ගුරුවරුන් ගෙනත් තම පුතාට උගන්වන්න කටයුතු කලේ.. ඒත්... පුංචි කාලෙ නෑ හිතවතුන්ගේ ගෙදර යනකොට පාර දෙපැත්තෙ සෙල්ලම් කරන තමන්ගෙම වයසෙ අයගෙ නිදහස,  සහන්  හිතෙන් එළියට පනින්න දෙන්නෙ නැතිව අහුර ගත්තෙ කැමැත්තෙන්නම් නෙමෙයි.. 

"මචං මේ ඉන්නෙ  අනුත්තරා... අපේ ඔෆිස් කෝච්චි සෙට් එකට අළුත් කෙනෙක්.."

විදුරගෙ කටහඬින් ඉහලට එසවුණු හිනාවුණු ඇස් අහිංසකව  සහන්  දිහා බලාගෙන හිනාවෙද්දී..  සහන්  හිටියෙ ඒ ඇස් වල ඇතුලට පාවෙමින්..

"හෙ හෙලෝ.. "
සිහිනයකින් වගේ ඒ අත පරිස්සමින් අල්ලගනිද්දී.. වටේ ඉන්න යාළුවෝ හිටියෙ "සූ" ගාගත්ත ගමන් වුණත්  සහන්   කොයින්ද ඒකෙන් වගක්..! තාලයට ගමන් කරන කෝච්චියත් හූ කියාගෙනම ගියේ හදවතේ වේගය ඇන්ජිම ගානට දාලා..

යොවුන් පිහාටු හිරු රැසින් දිලිසෙද්දි... අප්පච්චිගේ සිහින වලින් නැටවුණ  සහන් ට ඕන වුණේ තමන්ගෙම සැහැල්ලු නිදහස් ලෝකයක්.. අප්පච්චිගේ න්‍යායෙන් නොදැක්ක.. නොලැබුණ.. ව්‍යාපාරයේ සේවකයගෙ පටන් ඒ ජීවිත වලට එබිකම් කරන්න..මේ නිසාම උදේ නිවසින් පිටත්වෙන වාහනේ මඟ නතරකරලා දුම්රියෙන් මිතුරන් සමග ව්‍යාපාරයට යන්නත් එන්නත් පුරුදු වුණ  සහන් ට... හදවතේ කාලයක් තිස්සෙ සිහින් මිනිරන් තුඩුවලින් එහෙට මෙහෙට නොපැහැදිලිව ඇඳුණ විත්‍රයට පණ ආවෙ එදා..

සහන්ගෙ ලෝකය උඩු කනපිට පෙරලලා..  සහන්ව හොයාගන්න ඉගැන්නුව ඒ හිනාවෙන ඇස්.. දැක්ක තත්පරේම හිතේ ඇදුණ හුරු පුරුදු රුවත් එක්ක ගැලපුණා.. අප්පච්චිගේ දැඩි නීති සංග්‍රහයෙන් මිදිලා, නිදහසේ පියාඹන  සහන් ගේ සිතට ඒ හිත ආදරයෙන් පිරුණු අහසක් වුණා..

අනුත්තරා...
එතැන් පටන් සහන්ගෙ ලෝකයේ ආදර අනූ වුණා..

මෙතැනින් ඇරඹුණ කතා බහ නතර නොවී තවත් ගලායමින් පවතිද්දී..  සහනුත් අනූත් අතරට දෙමව්පියන් විසින් බලෙන් තල්ලු වුණු හෂීට සහන්ගෙ හිතේ කොතැනකවත් ලියවෙන්න හිඩසක් තිබුණෙ නැහැ... ඒත් හෂී වගේම හෂීගෙ පවුලෙ අයත් ඒ ගැන හිටියෙ ලොකු හදිස්සියකින්..හොර රහසේම අප්පච්චිලා යොදාගෙන තිබුණ  සහන්ගේ ජීවිතයේ තීරණාත්මක දේවලට ඔවුන්ගෙ ජීවිත පාලනය කරන්න කලියෙන් සහන් අනූවත් අරගෙන දුර ඈතකට ‍ගියෙ පිය ආයතනයේ රැකියාව.., තනතුරු විතරක් නෙමෙයි..  ආදරයට හරස් කපන අයගෙනුත් වෙන්වෙලා.. කන්න, ඉන්න,අදින්න අතේ තිබුණ මුදල් වියදම් වෙද්දි.. කුලියට හිටි කාමර කෑල්ලෙ හරියට ඉතිරි වුණේ..  සහනුත්-අනූත් දෙන්නාගෙ ආදරයත් විශ්වාසයත් විතරයි.. 

"මහත්තයෝ.. කෝ ඉතින් නැගිටින්නකෝ..."

උදෑසන හිරු කිරණ අතුපතරින් වැටිලා වහලෙ කවුළුවකින් ඇස් දෙකට වැටෙද්දි සහන්ව ඇහැරවන ඒ ආදරණීය හඬ වෙනසක් නැතිව සහන්ට සහනයක්ම වුණා..

"ඇයි අද උදෙන්ම මාව ඇහැරුවේ... අද නිවාඩුනෙ... නිදාගන්න දෙන්නකෝ.." කොට්ටයෙන් මූණ වහගත්තත්  සහන්ට ඇහුනෙ ඇගේ ගීතවත් හිනාව..

"මගෙ මහත්තයට සුබම සුබ උපන්දිනයක්..!!!"

ගෙවුණු දින, සති, මාස ගණනක නිනව්වක් නැතිව ගත කලත්.. සහන්  අත තැබූ පුංචි තෑග්ග දිහා බලාගෙන හිටියෙ ඇගේ දිලිසෙන දෑස් වලින්..

මා ළඟ ඉතිරි වුණ සල්ලි ටිකකින් ගත්තේ.. බලන්නකෝ ලස්සනද කියලා..

එදා ඉදන් ඇයත් ඔහුත් ගත් හැම තීරණයකම අතර මැදියා වෙන්න මේ පුංචි තෑග්ගට තිබුණෙ ලොකු වටිනා කමක්.. සහන් ඔහුගෙම ව්‍යාර කටයුත්තකට මුල පුරන්න.. ඒ දෙයින් හිතේ මැවුන සිහින හැබෑවෙන්න..

"සහන්.. මේ කාමරය අපි මේ පැත්තට දාමූ.."

"ම්ම්ම.. අපි මෙතනින් තව ජනේලයක් දාමු අනූ..."

"හ්ම්ම්.. එතකොට තවත් ලස්සන වෙයි.."

මේ හැම අදහසක් ගානෙම එහාට මෙහාට වුණේ ඒ අතර මැදියා.. තැබූ හැම පියවරකම.. ගත්ත හැම තීරණයකම රස.. තිත්ත.. එකට මුසු කරන්න අතර බැදීමේ ශක්තිය ආදරය.. අතර තවත් වැඩි කලා..

බොරු අතීතයක් ගැන ලියවුණ ලියමනක් හෂී අනූට දීලා තිබුණෙ සහන්ගෙ යාළුවෙක් විදිහට.. අනූ ඒ ගැන කිසි දෙයක් විශ්වාස නොකලත් ආදරය නමින් අනූගෙ හිත රිදෙන වදන් පිටවුණේ අනූගෙ ආදරයට රිදවන්න හෂීගෙ ගෙදරින් කල හැමදෙයක්ම ඉවසීමේ සීමාව නික්මුණාට පස්සෙ.. අතින් කීතු කෑලි වලට බෙදුනෙ

"මහත්තයෝ.. තරහද..?"

ඒ හඩින් සහන් ආවෙ නැවතත් කාමරයට.. වැහුන වීදුරු ජනේලයට එපිටින් රටා මවාගෙන ගලාගෙන යන වැහි බිංදු සහන්ගෙ ඈතට යොමුවෙලා තිබුණ මාර්ගය බොදකරගෙනම පහලට රූටන්න අරන් වුණත් ඔහුට ඒ බවක් නොපෙනෙන්න දිග ඇදිලා තිබුණෙ බොඳවුණ කඳුළු ලියකම්..

"මොනවද කල්පනා කරන්නෙ.."

 පුංචි සමනලී.. ඔහුගෙ උරහිසට බරවුණේ.. හැම සංවාදයකම අතර මැදියා වුණ..  ඒ පුංචි තෑග්ග... මේ හීතලේ ආදරයේ තේ කෝප්පයකුත් අතැතිව...

මං ආයෙ එහෙම කරන්නෙ නැහැනේ..
තේ කෝප්පය ඔහුගෙ අතට මාරු කරන අතර ඇගේ හුරතල් කටහඩ

"මමත් වැරදී අනූ.. මට සමාවෙන්න.."
ඇගේ අතට උගුරක් බී දුන් කෝප්පය..

"ෂ්ස්ස.. මමනෙ ලියමන ගත්තෙ.."

"කෝ දැන් ඒ ලියුම..?"

ඈතට විසිවී ගිය ලියුමේ ශේෂයන් නිසොල්මනේ නිදන්නට විය..


මේ තේකෝප්පය තිත්ත පැණිරස කිරි කහට එක්ක තේක රස කරන්නට එක්ව ජීවිතේ ගෙවන්නට.. හැබෑලෝකයේ සහන්ලට සහ අනූත්තරාලට..!


ප/ලි. නුවරඑළි ගිහින් සීතට ඉඟුරුත් නැති තේක බොන ගමන් ඔයාගෙ ආදරෙත් එක්ක එව්ව පුංචි සටහන නිසයි මතක් වුණේ මේ වගේ දෙයක් මං ලිව්ව බවක් ගිය අවුරුද්දක.. ස්තූතිය ඔයාට..! 

22 August 2012

ආඩතෝඩ පස්පංගුව

අයිෆල් කුළුන හිස
බලාන උඩින් වහලත
සඳළුතලයට වී තනිව
මං බලාගෙන ඉන්නවා
පැමින තුර නුඹ ම'ළඟට

තබාගෙන ‍දුම් දමන
ඉඟුරු තේ කොළ සමග
නුඹේ ප්‍රියතම
ආඩතෝඩ පස්පංගුව
පුටුවකුත් ලඟට කර
කතා කරනවා තනිව
මම

කොහෙන්දෝ ඈතක
සිටන් නැ‍ග පුර සඳ
වවුල් බකමූණු කැල
රඟන විසිතුරු අහස මත
මවයි සැණකෙළි 
මනැස යට

පැය කටුවෙ ඉබි ගමන
ළඟින් ඉන්න විට ගෙවුන 
අද ඊයෙක මෙන් වුවත්..
මේ ගෙවුන තුන් මස
සතියකටත් අඩු බව
අදහන්නෙ මං කෝම..?


ඉතින් 
මං මඟ බලාන..
තවමත් අයිෆල් කුළුණ දෙස..
සඳළුතලයට වී තනිව..
නැවත පැමිණතෙක් ළඟට..



18 August 2012

සිහිනයට අහස්කූරක්..!

"කීක්... කීක්..
මේ ලංකා ගුවන් විදුලි සේවයයි.."

කපුටා හත්වෙනි වතාවටත් බඩගින්නට ක්ලාන්තෙ දාන්න කලින් ඇහෙන බණ්ඩෙ මාමගෙ රේඩියෝව මුළු ගමම ඇහැරෙන්න දාලා බෙහෙත් නෙල්ලි ගස් මැද්දට මැදිවෙලා නිල් කැටේට පෑදුන උල්පතකින් හැඳුන ලිදෙන් කල වලට වතුර පුරවන්න අමතක කරන්නෙ නැහැ.. ඒ දවස් වල රේඩියෝව උදේ ඉදන් හවස් වෙනකල් මේ තරම් හයියෙන් දාලා තියෙන්නෙ විවාහය නිසා දරුවන්ගෙ අඩු පාඩුව මැවුණ නිවසෙ තනියට වෙන්න ඇති.. බණ්ඩෙ මාමගෙ නෝනා මහත්මියත් හරිම නිස්සබ්ද කෙනෙක්.. අපේ ගෙදරට එහා වත්තෙ තියෙන මේ ගෙදරින් එහෙමත් කටහඬක් ඇහෙන්නෙ පුතා හෝ දුව ගෙදර ආවම විතරයි.. ඒත් හැම සිංහල අවුරුද්දකටම පැණි වළලුත් එක්ක මං ආස කරන කොකිස් ආස්මී පිඟානට වැඩියෙනුත් දාලා එවන්න අමතක කරන්නෙ නැහැ.. වෙලාවකට කන්කරච්චලයක් වුණ රේඩියෝව ගැන ගමේ කවුරුවත් ඒ ගැන ගතු කියන්න තියාගත්තෙ නැත්තෙ කාටවත් කරදරයක් නැතිව ජීවත් වුණ, ගමේ හිටිය ‍පරණ පවුල් අතරින් කෙනෙකුත් නිසා වෙන්න ඇති.. 


සිංහල අළුත් අවුරුද්දත් ඉවර වෙලා එරබදු මලුත් බිම බලාගන්න පටන් ගනිද්දි.. ඕන් ඉතින්.. පළතුරුවාරේ.. ගෙදර වටේ තියෙන පළතුරු ගස්වල විතරක් නෙමෙයි.. හිටි ගමන් පොල් ගස්වලිනුත් කුරුම් බැට්ටි වැටෙන්න ගන්නෙ හරියට ඉඩෝරෙට වගේ.. අඹ ගහ උඩ තිබුණ අපේ පරීක්ෂණාගාරයටත් මේ හේතුවෙන් බරපතල හානි සිදුවෙන්න පටන් අරන් තිබුණා.. අයියගෙත් මගෙත් පසු විපරමකදි දැනගන්න ලැබුණෙ ලොකු ලේන්නු එකෙක් මදිවට තුන්දෙනෙක්ගෙම ක්‍රියාකලාපය මේකට හේතුවුණ බවක්..! 4වසරෙ විතර හිටිය මට ජීවිතේ ඉස්සරවෙලාම දඬුලේන්නුන්ව දැක්කෙ මේ කාලෙදි..

එහෙ මෙහෙ දුවන දඬුලේනු දෙතුන් දෙනෙක් නිසා වත්තට වෙන හානිය තක්සේරුවක් කරනවට  වඩා අපිට ඕන වුණේ.. පුංචි කාලෙ ඉදන් ආසවෙන් හිටිය ලේන් පැටියා වෙනුවට ඊට වඩා ලොකු සිහිනයකට යන්න.. මේ වදකාර දඬුලේනෙක්ව අල්ල ගන්න..! අයියගෙ ප්ලෑන අනුව ඉතින් අපි ක්‍රියාත්මක වුණා.. 
ප්ලෑන මෙහෙමයි.. කවදාවත් රතිඤ්ඥයක් පත්තු කරනවා තියා බැලුම් බෝලයක්වත් පිපිරුව නැති අපේ අයියා එක තැන ඉන්නෙ නැති දඬුලේනා දිහාවට ඉලක්ක කරන් අහස්කූර අල්ලගෙන ඉද්දි මට තියෙන්නෙ පත්තු කරන එක...

වෙලාවත් උදා වුණා.. දඬුලේනා හරියටම නැමුණ අත්තක් උඩ.. කිසිම සද්දයක් නැතිව හැලහොල්මනක් නැතිව බලාගෙන ඉන්නවා.. අපි දෙන්නම කුරුමානම් අල්ලගෙන නිදිකුම්බා කටු ඇනි ඇනි, කෝටු, කූඹි කකා , කහඹිලියා ගියේ ලේනව ටිකක් පේන තැනකට.. 

ෂූ....
 ගාගෙන පත්තුවුණ අහස් කූර අයියගෙ අතින් ඉගිලෙනවා විතරයි දැක්කෙ..

ඩෝං..!!!

මං ඇස් දෙක ඇරියෙ බිම ඉන්න දඬුලේනාව දකින්න.. මොන.. ඒකා තියා නැට්ටක්වත් නෑ බිම.. (ලේනා ඉඳීවි යෑ.. සද්දෙටම දුවන්න ඇති..)

එතකොට අහස්කූර..!

පත්තුවෙලා තිබුණෙ බණ්ඩෙ මාමගෙ ගෙදර වහලෙ උඩ..!

එදා ඉදන් බණ්ඩෙ මාම රේඩියෝව අඩු කරන්න ගත්ත හේතුව ග‍මේ කවුරු ටික දවසක් යනකල් කතාබහට අනිවාර්යයෙන්ම එකතු වුණා.. නෝනා මහත්මිය නම් කියලා තිබුණෙ කවුදෝ මහත්තයගෙ රේඩියෝවත් එක්ක වෛර බැදගත් එකෙක් එව්ව රතිඤ්ඤයක් කියලා.. වෙලාවෙ හැටියට හාමිනේ වතුර කේතලයක් ලිපේ තියමින් ඉදලා තියෙන්නෙ.. ඒක අනිත් පැත්ත හැරුණ බවත් වාර්තාවක් ආවාලු.. 

දඬුලේන්ස්ලා ටිකත් යහතින් ඉදලා අපේ ඔළුගෙඩි උඩට කුරුම් බැස්ටි ටික දාලා හෙමින් සැරේ යන්න ගියා.. අපේ අහිංසක හීනයට යැව්ව අහස් කූර රතිඤ්ඤයක් වුණා.. :( ගෙදරින් කන් පිරෙන්න බැනුම් නම් අහගත්තා..  අපි තීරණේ වෙනස් කලා.. ආයෙ කවදාවත් ලේන්නුන්ගෙ සිහිනයට අහස්කූරුනම් යවන්නෙ නැති වගට.. :)

05 August 2012

෴සුරංගනා කතාවෙන් ඇවිත්෴


කමත් එක හීන කතන්දරයක
පාට තැවරුණ සුරංගනා සාළුවේ
අකුරෙන් අකුර කියෙව්ව..
ජීවිතයේ සටන් කල 
හිත පිරෙන්න පෙම් කල
දුකේදී  සනසවා 
හිනහවෙන් සැරසුව
විටෙක ඉදිරි මං කියා..
ජීවිතයට පියවරක් එකතු කල
 මේ ඇස්වලින් දකින්න ප්‍රාර්ථනා කල
ඔයා..
මගේම ඇස් ඉස්සරහා..
මගේම ජීවිතය වෙලා
හිතේ හුස්ම පිරෙන්නම ආදරය අරගෙන
දුරක හිටියත්..
ආදරයෙ ශක්තිමත් බැම්මකින්
මා වට ආරක්ෂාකරද්දි..
දෙවිවරුන් මේ ලොවේ ඉන්න බවක්
අදහන්න බැරිව හිටිය 
මම..
ජීවත්වෙනවා කියලා දැනෙනවා..
සුරංගනා කතාවෙන් එළියට ඇවිත්..!
මේ ලෝකයේ..
මනුෂ්‍යය දෙවිවරුත්..!




25 June 2012

ලෝක බෝලයේ වෙනස..


එක්තරා ගම්බද පාසැලක වසර අවසාන පරීක්ෂණය වෙනුවෙන් පෙනී සිටින සිසුන්ව පරීක්ෂා කිරීමට පරික්ෂක‍වරයෙකු පැමිණීමට නියමිතව තිබුණත් පන්ති භාර ගුරුතුමා එම නියමිත කලට පාඩම් අවසන් කර තිබුණෙ නැහැ.. පරීක්ෂකවරයාගේ පැමිණීම දැනුම් දී සතියක් ඇතුලත පන්තිභාර ගුරුතුමා තමාගේ හැකිවෙර යොදා අදාල පාඩම් කොටස ඉවර කිරීමට මහත් වෙහෙසක් ගත්තා..  සිකුරාදා පාසැල නිමාවීමට පැයකටත් අඩු කාලයක් තිබියදී ළමුන් හිටියෙ පිට්ටනියේ බෝල ගහන මතකයෙන්..

"ළමායි.. කියන්න බලන්න.. ලෝක බෝලය මොන වගේද..?"

වටපිට බැලූ ළමුන් අතර දහඅතේ බොරුවට කල්පනා කල සිසුන් අතරින් එක අතක්වත් ඉහළට එසවෙන පාටක් නැති බව දුටු ගුරුතුමා බෝල ගැසීමට ගෙනා රබර් බෝලයක් අතර අරන්..

"ළමයි ලෝක බෝලෙ හරියට ‍මේ රබර් බෝලය වගේ.. ගෝලා කාරයි..!"

බොහොම කරුණාවෙන් පහදා දුන්නෙ තමන්ගෙ රස්සාවත් බේරගෙන සඳුදට නිවැරදි උත්තර දෙන්න සිසුන්ට මතක හිටින සරළ උදාහරණයකුත් එක්ක..

සෙනසුරාදා , ඉරිදා කුඹුරෙ, බෝංචි පැල අස්සෙ, කැරට් කොටු අස්සෙ මඩ නාගෙන හිටිය කොළු පැටව් ටික එකා දෙන්නා පාසැලට සුදු කොක්කු රෑනක් වගේ සඳුදා දවසෙ ළහිරු කිරණත් එක්ක එකතුවුණේ එක රෑනට..
පරීක්ෂක වරයගෙ පැමිණීම බලගෙන හිටි නිසාම ගුරු මේසය පිරෙන්න පළතුරුත් ඉරිදා පොළෙන් පන්තිබාර ගුරුතුමා ගෙනත් තිබුණෙ පොඩි වුන්ගෙ හිතත් පිරෙන්නම වෙන්න ඇති..

පන්තිකාමරයට පැමිණී පරික්ෂක වරයට හැසිරීමේ අඩුවක් නොපෙන්වාම පිළිගන්න පන්තියෙ ළමුන් වග බලාගත්තා

"ආ....යුබෝවන් සෑර්.."

පුටු හෙමින් සැරේ එක විටම අදින ගමන් කිව්වත් පරක්කුවෙලා නැගිට්ට ළමයි දෙතුන් දෙනෙක්ගෙ පමාවෙලා අවසන් වන හඬ ආවෙ කොයි පැත්තෙන්ද හොයාගන්න බැරිව පරීක්ෂක වරයා මුළු පන්තියම දිහා බලාගෙන හිටියෙ උපැස් යුවල යටින්.. ගුරුමේයේ අසල වාඩිවුණ ගුරුතුමා ළමයින්ගෙ දක්ෂකම අතරින් තමාගෙ ඉගැන්වීම උරගා බලන්න හරිබරි ගැහිලා වාඩිවුණා.. පරික්ෂකවරයා පන්තිය වටේ ඇවිදින ගමන් ප්‍රශ්න අහන්න ගත්තා..

ගණීතය, සිංහල ව්‍යාකරණ, විශයන්ගෙන් ප්‍රශ්න ඇසූ එතුමා ප්‍රශ්න අහන්න ගත්තෙ ග්‍රහලෝක පැත්තෙන්..

"හරි.. ළමයි කියන්න බලන්න.. ලෝක බෝලය මොන වගේද.."

උඩබිම බලන ළමයි අතර සිකුරාදා පාඩම එක්කෙනෙක්ටවත් මතක නැතිව තිබුණෙ පරික්ෂක තුමාගෙ ඇස් මුළු පන්තිම කාමරයේ සිසුන් අතරත් ගුරුතුමා අතරටත් මාරුවෙන් මාරුවට උපැස්යුවල යටින් බලන ගමන්.. ඔරලෝසුවේ තත්පර කටුව කන්දෙක රිදවගෙන දුවද්දි ගුරුතුමාගෙ ඉහෙන් කනින් දාඩිය දාන්න ගත්තෙ ටිකක් කේන්තියෙන් දත්මිටිත් කන ගමන්..

ගුරුතුමාට තමාත් ශිෂ්‍යයිනුත් බේරගන්න මාර්ගයක් කල්පනා වුණා.. මේසෙ උඩ වටිටියකට වෙලා විවිධ පළතුරු අතර අපූවරුවට සැරසුව දොඩම් ගෙඩියක් අතට අරන් ‍පරික්ෂක වරයගෙ ඇස්වලට නොපෙනී බො‍හොම පරිස්සමින් පෙන්නුව ළමයි දිහාවට..

මේ අතර ඒ දිහා බලාගෙන හිටිය ළමයෙක්ට මතක් වුණා සිකුරාදා ලෝක බෝල පාඩම.. බොහොම උනන්දුවෙන් ඒ සිසුවගෙ අත ඉහළට එසවුණේ විදුලි වේගෙන්.. 

"සෑර්.. සෑර්.."

"ඔව් කියන්න.." උපැස්යුවල අතරින් විනිවද බැලුව පරික්ෂකතුමාත් සතුටින් ඒ දිහා බලගෙන හිටිය ගුරුතුමාටත් තරු විසික්වෙන්න මෙහෙම උත්තරයක් ලැබුණලු...

"සෑර්... සිකුරාදට ලෝක බෝලෙ රබර් බෝලයක් වගෙයි.. 
සඳුදට ලෝක බෝලෙ දොඩම් ගෙඩියක් වගෙයි.."

ප/ලි. අසා ඇත්නම් සමාවෙත්වා..! මමත් ඇහුව කතාවක්..

06 June 2012

ගොළු වූ තනුව


ඔහු.. දස දහසකගේ සිත් සහජහැකියාවෙන් නැලැව්වේය.. හැ‍ඬෙව්වේය.. ඉපිලෙව්වේය.. යළි යළිත් පිබිදෙව්වේය...
මේ නගරයේ පාළු බව හිත් තුල ගොඩ නැගුවේය.. 
තනිවී සිටින්නට නොදී තනි නොතනියට මං තැනුවේය..
තවත් දයාබර තනු වලට ඔහුගේ වාදන හැකියාවෙන් ඒ ගීත රසික හදවත් තුල ලැඟුම් කල ඔහු අතීතයේ එක් සංගීත කණ්ඩායමක ලීඩ් ගිටාරයෙන් ගමන් ඇරඹ සැක්සෆෝනයෙන් තම හැකියා හඳුනාගන්න ලදි... පණ්ඩිත්. විශාරදයන්ගේ පැසසුම් ඇගයීම් මැද ලංකාවේ දක්ෂතම සැක්සෆෝන් වාදකයකු විය..

ආර්ථික තත්වයන් කඩාවැටීම හේතුවෙන් ඔහුට වෙනත් රටක සරණක් පතන්නට සිදුවිය.. එතැන් පටන් ඔහු.. වෙනත් රටකට විත් හෝටල් වල පිඟන් කෝප්ප සේදුවේය.. මහාමාර්ග අතුගෑවේය.. ඔහුගේ රටේ නොමිනිසුන්ගේ තාඩන පීඩන ඔහු ඉවසා විඳදරා සිටියත්  තම රටේ තවත් අය‍කුට එසේ වනවා දකින්නට තරයේ විරුද්ධ විය.. ඔහු ඒ වෙනුවෙන් හඬ නැගුවේය.. ඔහුව අමතක කල අයට, ඔහුට අසාධාරණකම් කල අයට  ඔහු හැකි සෑම විටම උදව් කලේය..

විවේකයක් ලද හැකි සෑම විටම මිතුරන් හා එකතුව ඔහුගේ සංගීතයේ හඬ උරගෑය.. ඔහුගේම වටා රැඳි ඔහු මවන තනුගී වලට තාල මං තනන සංගීත මිතුරු කැල සමඟ සැක්සෆෝනයට පමණක්ම නොව කීබෝඩයටද ගායනයට සංගීතය ගැන මනාදැනුමක් ඇති ඔහු දක්ෂ විය..

ඔහුගෙන් උදව් ලබාගත් අය ඔහුව හැර යද්දී අතලොස්සක් පමණක් ඔහුට අවසන ඉතිරිවිය..

ඔහුව අමතක කල ඔහුගේම සහෝදරයා වෙනුවෙන් ඔහු එ රට සංගීත සන්ධ්‍යාවක් සූදානම් කර නැවත ලංකාවට එන්නට මාස 02 පමණ තිබියදී කලින් අනතුරු අගවා සැගව ගොස් තිබුණ හෘද්‍යාබාධය නැවත මතුවිය..හෘද්‍යාබාධයකින් ඔහුගේම කෙනෙක් නැති ඉසව්වක ඔහු අවසන් වතාවට වුවත් තම රටේම කෙනෙක්ට කරදරයක් නොකලේය..

"ඇම්බිලන්ස් එකකට කතා කරන්න එපා.. මම දන්නවා මේ මගේ අන්තිම දවස..."

ඔහුගේ අකමැත්ත මැද වුවත් රෝහලට රැගෙන යන විටත් වටින කලාකරුවෙක් අපට අප රටට සංගීත ලොවට නැතිවී ගොස් අවසන්ය..

ඔහුගේ ජීවිතය සේම ඔහු හිටි සිත් තැවුල් ඔහුගේ ජීවිතයේ දුක්ඛිත පැතිකඩ ලෝකයෙන් සැඟවූවේය.. කාටවත් නොකී ඔහු සිටි තැන කිසිවෙකුට ජීවත්විය නොහැකි ජරාවාස වූ තැනක් බව දැනගන්නට ලැබෙන්නේ සිරුර ලංකාවට යැවීමට අවශ්‍ය ලියකියවිලි සෙවීමේදීය.. කාටත් සැඟවූ ඔහුගේ හිත් තැවුල්.., ඔහුට වූ අසාධාරණකම් ඒ වාසය කියා පාන්නට ඇත.. සංගීත තනු කඩදහි කොළ අතර වෛද්‍ය වාර්තා නිහඬව බලා සිටින්නට ඇත.. ඔහුගේම සහෘදයන්ට ඔහුගේම ළඟම පවුලේ හිතවතුන්ට ඔහු සිටි වගක් අමතක විය.. අවසනදී ඔහුගේ දුකේදී ඔහුව හැර ගිය මිතුරන් වැනි සතුරන්ද ඔහුගේම සහෝදරයෙකු ද ඔහුගේ සංගීත භාණ්ඩ සඳහා ‍පොරකන ලදි.. ‍නීතියක් වෂයෙන් සියලු බරපැන එ රට රජයෙන් දැරුවත් එරට වෙසෙන ලාංකිකයන් ඔහුගේ දේහය ලංකාවට යැවීමටයි කියා එරට වෙසෙන ලංකික පවුල් වලින් මුදල් එකතු කරන ලදි..  ඔහුගේ බිරිදට යැවීමටයි යැයි කියා මුදල් එකතු කල ලිස්ට් පසුව ගොඩක් දෙනෙක්ගේ අතින් අතුරුදහන්ව තිබුණි.. ඔහු වටා සිටි මනුෂ්‍යය කම් අතින් වගෙම මිතුදම් අගයන් දත් අතලොස්සක් පමණක් එකතුව අයිතිවාසිකම් කී ඔහුගේ හදවත නැමැති සංගීත භාණ්ඩ ඔහුගේ අවසාන ඉල්ලීම පරිදි පුතුනුවන් වෙත යවන ලදි.. ඒ අය පමණක් එකතු කරන ලද මුදල් පමණක් ඔහුගේ බිරිඳ අතට විශ්වාසනීයව පත් කලෝය.. අදටත් ඒ අය එරට සිටියත් ඒ වංචාව මත ගොළුය.. සිහළුන් අතර වෙනත් රටකදී එකමුතුකම ඉතා අගනේය.. එය තව දුරටත් දැනෙන්නේ කෙනෙක් අසරණ වූ මොහොතකය.. අපේ කම අපේ දෙය වෙනත් රටක ඉදිරිපත් කීරීම අපේම රටට සංස්කෘතියට ආඩම්බරයක් වුණත් අපේම කලා කරුවෙකුගේ අවසාන මොහොතත් තම මඬිතරකරගන්නට පොරකන අය සිටීම ගැන විදේශයකදී දැනෙන පිළිකුල ගැන මෙලෙස සනිටුහන් වෙන්නට තරම් හිතට දැනුනෙ දුකකි..


සදා අමරණීය ඒ නද තුලින් ලොව හදුනගත් මිනිසා නිහඬ සේවයක් කර අප අතරින් වෙන්ව ගොස් අදට අවුරුදු 6 ගණනක් ගතවී ඇතත් තවමත් දිනක සුහද හමුවකදී වුවත් ඔහු අසල සතුටෙදී මෙන්ම දුකේදීත් අවසන තෙක් සිටි සහෘද මිතුරන්ට ඔහුව අමතක නැති..

"අනේ... ------  මෙතන හිටියනම්..."
"මේ එයාගෙ ආසම සිංදුව.."
නිර්ව්‍යාජ හදවත් වල හඬක් දෙසවන් වැටෙන්නට මොහොතක් ගතවන්නේ නැත..

වෙනත් රටවල අපේම අයගේ ක්‍රියා කලාවන් නිසා ඒ අය අතර විටෙක ජීවත් වීම දුකකි... :(


දයාබර වාදකය..
ජීවිතයේ යම් දවසක මේ සංසාරගමනේ මුණ ගැසුනොත් 
සත්සර අතර නැවත ජීවිතය දකින්නට.. 
ඔබට නිවන් සුව..!!!







-අපේම කලාකරුවෙකුගේ සත්‍ය කතාවකි-

29 May 2012

මුළු නුවරම පාළු වෙලා..


වසට මං ඇවිදගෙන එන ඒ පාර දිගේ හිත වෙලාවකට වැහි බීරුමකට පාළු වුණ ඒ පුංචි නගරය වගේ.. කාත් කවුරුවත් නැතිව අතහැරැලා දැම්ම.. ඒ වෙලාවකට කොහෙදෝ ඉදන් දුවන් එන සීතල හුළඟට මගේ කෙහෙරැල් අවුල් කරන් වේලුණු කොළත් එක්කම ඈතට ඇදගෙන යන්නෙ "සරාස්" සද්දෙත් එක්කම.. හිත උඩින් වගේ.. කළු ගලින් ආරුක්කු හැඩයට හැදුන ගොඩ නැගිලි ඒ වෙලාවට එතනින් පණ ඇතිව ගමන් කරන කම ප්‍රාණියා වුණ නිසාවටද මන්දා මා දිහා බලාගෙන ඉන්න බවක් මට දැනෙන්නෙ.. උදේ ඉදන් ඔයාගෙ මූණ හොයලා වෙහෙසෙන ඇස්.. මේ එක දෙක වැටෙන වැහි පොද අතරිනුත් බලාපොරොත්තු වෙනවා..


මේ ගෙවන දුවන කලබලකාරී ජීවිතේ.. වගකීම් දහසක් පිරුණු හිතක් ඔයාගෙ හිත ළඟ වැහි ළිහිණියෙක් වගේ සතුටින් පියාඹලා  ඔය හිත් අහස පුරාවට ආදරයෙන් තුරුළු වෙන්න,  හරියට ආරක්ෂක පියාපතක හෙවනක වගේ ඒ උණුසුමේ තුරුල්වෙලා පිනුම් ගහලා ඒ නිවාඩු දවස් ‍එනකල් බලාගෙන ඉන්නෙ පෙරුම් පුරාගෙන.. ඇත්ත කොයිතරම් දුරින් වුණත් ඔයාගෙ එක වචනයකින්.. ඇති ඒ දුරස් බව නැති කරන්න..

සඳුදට ආයෙමත් ඒ කලබල ජීවිතය පටන් ගත්තම.. මේ පුංචි ගමෙන් දහසක් දුර ගෙවාගෙන ඈතට යනවා වගේම.. බස්රියේ හැරෙන වංගුවෙන්ම මට ආයෙ දුවන් එන්න හිතෙන්නෙ ඔයා ළඟට... වෙලාවකට අළුත් හිරුකිරණින් ලා දළු පාට තණකොළ ගොඩට වැටිලා තියෙන ඒ තීරුව දිගේ උදේට යුනියට යන්නෙ නැතිව නැවතිලා නිදහසේ නවතින්න හිතයි... නිදහස් දෙපා ඒ මතින් ඇවිදන්න.. ඒ හැම දේකටම හිත පැරදෙද්දි පාඩම වෙලාවෙදි ටිකකට දුවලා එනවා.. දන්නවා ඉගෙනුම වෙලාවට එහෙමෙහෙ දුවන හිතට ඔයා අකමැති බව.. ඒත්...

මුළු නුවරම පාළු වෙලා
හිතට දැනෙනවා..
මේ වැහි බිඳු කඳුළු එක්ක
නුඹව සොයනවා..
වැහි ළිහිණක් සීත රටක
පියාපතක් සොයනවා..
මේ සුළගින් දුරස් රටේ
කතා කියනවා...


වැහි බිඳ බිඳ එකතුවෙලා හෙමින් සැරේම පාරෙන් එහා මෙහා දුව පනින වතුර පාරවල් රටා මවලා ගෙනියන බොර පාට දිය වැල්.. ඔයාව හොයාගෙන යනවා වගේ.. මං තවත් වැස්සෙ තෙමෙනෙවා.. මේ කඳුළුත් එක්කම.. මම දන්නවා.. මේ වෙලාවට.. ඔයාටත් මාව මතක් වෙනවා අනිවාර්යයෙන්ම..  ඒ හැම හුස්මකම ඔයාගෙ හිතේ මං ඉන්න නිසා බව මං දන්න නිසා.. පැය ගණනක වෙනසත් එක්ක වුණත් ඔයාගෙ මහන්සිය, කැපකිරීම්.. ඒ දේවල් වල වටිනා කමට සමාන කරන්න දෙයක් නැහැ මට.. වෙලාවකට ඔයා මහන්සිවෙලා ඇවිත් මාත් එක්ක කතා කරන්නෙ ඔයාට වැඩිපුර නිදාගන්න තියෙන වෙලාවෙන් බව මම දන්නවා.. කිව්වට අහන්නෙ නෑනෙ ඉතින්.. දඟකාර, අහිංසක හිතක්.. :)
හිනාවෙලා හිටියත්.., දහසකගෙ හිත් හිනැස්සුවත්.. ඔය හිතේ යටින් හංගන දුක මං නොදකිනවා නෙමෙයි.. ඒ වෙලාවට පුංචි හුස්මකින් ඒ දුක නිවන්න ඇත්නම්..

දිය වැල්ලෙන් එකට එතී
රටා මවන ඒ ගමනට
ඔබව සොයන් යන පෙරමග
පාර කියනවා..

සිහිල් පොදේ පුරුදු රුවක්
දෙනෙත් දකින ඒ දවසට
හිනැගෙන නුඹෙ තරු නෙත් යුග
බලාගන්නවා..


මේ වැස්ස දිගේ මඟ බලන ඇස්.. ඔයා කවදාමක හරි එන බවක් දන්නවා..  මේ පාළු නගරය පුරාවට සෙනග ඉඳීවි... මේ හුළඟ වුණත් හමන දිශාවන් වෙනස් කරාවි.. එදාට වැහිබිඳු අහසින් බහින්නෙ නැති වේවි.. ඒ වෙනුවට සුදු හිම රොඳක සීතලක් දැනේවි.. ඒත්.. එකම එක දෙයක්.. 
වෙනස් නොවෙන 
ඔයාගෙ ඔය අහිංසක හිත විතරක්ම.. අරන් එන්න... ඒ හොඳටම ඇති මට...  :)


19 April 2012

ගෙවුණු අවුරුදු පරව ගිලිහුණු

මූණ පිහින කඩදහියකට ගුලිවෙලා මූණට දැනුන සීතල වතුර පොද ඉක්මනටම පිහදගන්න වලංගු නැති අත පයෙන් මම පොර බැදුවෙ ඒ සීතල දරාගන්න බැරි ව හදවත බදාගෙන ඇතුලටම කිදාබැස්ස නිසා..  

"පොඩ්ඩක් ඉන්නවා ඕයි.. තමුසෙ හිතුවද මෙතන අපිට වෙන වැඩ නැහැයි කියලා.."


හිතක , හඬක තෙතමනයක් නැති කටහඬ මගෙ කන් හිල්වෙන්න වචන වලින් තවත් හදවතටම වද දුන්නා.. වචන වලින් විතරක් නෙමෙයි.. දැනුන කම්මුල් පහරින් මං මගේ උත්සහය අතහැරියා... හැම උදේම රාජකාරිය කාලයත් එක්ක පෙරලි කරන "සල්ලි විතරයි" කියලා හිතන අය   අතර ගෙවන ජීවිතයෙ මේ හීතල පුරුදුවෙන්න මං තවම උත්සහ කරනවා.. කරාමයෙන් එන සීතල වතුර වෙලාවක මේ සීත රටේ මුළු ඇගම හිරිවැටෙනවා.. එහෙමත් කෙනෙක් තමයි පහසුවට හදලා තියෙන උණුවතුරෙන් මූණට වතුර පොදක් ඉහින්නෙ..

හැමදාමත් වගේ.. 
උදෑසන නැගිටුවන මේ හරඹ අතර සිතුවිලිවලින් අතරමං වුණ මාව මගෙ දෑස් බිත්තිය දිහාවට අරන්ගියේ හුරු පුරුදු තැනැත්තෙක් දකිනවා වගේ.. 
සිත්තරෙකු තෙලිතුඩගින් සියුම්ව වර්ණවත් වුණ රතු පාටට හුරු තඹ රන් අහසත් තද කොළ පැහැයෙන් පටන් සියුම් මිහිදුමකින් වැසීගත් පොළවත් මැදින් කාගෙවත් අවසරයක් නොගෙන ගිනියම්ව එහෙත් ඇස්වලට වෙහෙසක් නැතිව නිමුණ ගිනි බෝලය දිහා මං බලාගෙන හිටියෙ උදා සිහිල පිනි මතින් විදිමින්.. අළුත් දවසක මං සලකුණු අරගෙනම තාලෙට මාත්‍රා අල්ලන කුරුළු කිචිබිචියෙ හඬ තව තවත් ප්‍රාණවත් වෙමින් අල්ලාප සල්ලාපයේ යෙදුනෙ ඒ දිහාවට මම කන් යොමාගෙන හිටිය බවක් දැනගෙනම  වගේ.. යාන්තමින් බොදව දිගහැරුණ මගේ ඇහිපියන් හෙමින් හෙමින් මගෙ වටපිටාව දිහාවට මාව යොමුකරන්න ගත්තා... මං ඇවිදගෙන ආවෙ පීච් ගස් පෙළක් පාර දෙපැත්තෙම හෙවනකට වැවලා තියෙන තරමක් පටු පාරක් දිගේ.. ලා පාට දළු අතරින් පාර දෙපැත්තෙම පීච් මල් පිපිලා.. පුංචි කුරුළු පැටව් ඒ අතු පතර උඩ පැනගෙන එක සීරුවට හැංගිමුත්තන් කරනවා.. මං ඒ බංකුවක් උඩට වෙලා බලාගෙන හිටියා.. කවුදෝ මන්දා මං එනකල් බලන් ඉඳලා වගේ.. 

මං ස්විටරයට තවත් ගුලි වුණා.. හීතල නොදැනෙන්න.. ඒත් ඒ ඇස්වල උණුහුමට ලංවුණා.. ජීවිතේ උණුහුමක් ලබන්න.. කොයිතරම් නම් ඇසූ දුටු සාක්ෂි තිබුණත් අපේ ජීවිත වල යමක් සිදුවෙන්න තියෙනවනම් අපි නොහිතන විදිහට ඒ දේවල් සිද්ධවෙනවා.. හීන මැව්ව ලස්සන ජීවිත වලින් කී දෙනාගෙද අද ලස්සනට තියෙන්නෙ.. ඒ උණුහුම ‍දරාගන්න බැරි කටුක සීතලකට පෙරලලා ඔහු යන්න ගියේ ආයෙ කවදාවත් නොඑන ගමනක්..

කාලය ගෙවුණා... 
බොහෝදේවල් මතින් ඉතිරි වුණ ප්‍රථිපලත් එක්කම... පුංචි මල් පෙති හුළඟත් එක්ක අංශක 360°ට කැරකිලා බිමට වැටෙනවා බලන් ඉන්න ආස කල ඒ ගහයට... මං ආයෙත් ආවා... තනියෙන් නෙමෙයි... පුංචි අතක සිනිඳු ඇගිලි තුඩු අල්ලගෙන... ඒ අතින් අල්ලගෙන මේ ගහ යටට ඇවිත් මේ බංකුවේ වාඩිවෙලා වැලලුණ අතීතයත් එක්ක චෙරි මල් පෙති රෝස පාටින් හුළගට පෙරලෙද්දි ඒ මතින් සිත්තම් අදින්නට මගෙ හිත පොරකනවා.. හරියට අහසින් බිමට වැටුන සිහින මාළිගා වගේ.. ඒත් ශේෂ වුණ නටබුන් ඒ නටඹුන් පිළිසකර කරන්න මට අඩියෙන් අඩිය ශක්තිමත් පාදම් බදින්න මගෙ හදවත දැනෙන වේදනාවන් තුනීකරන්න අතේ අඟිලි අතර මිරිකගන්න වුණා..

ඒ වෙලාවට මං ඈතක අතරමං වෙද්දි ඒ පුංචි අත්දෙකෙන් මගෙ ඇස් වහන්නෙ හරියට ඒ ලෝකය මං එයාගෙන් හංගගන්නවා වගෙයි.. 

"කොයි..?"
අත්ල මත හැංගෙන පුංචි ගල්කැටයක් හොයන්න දෑත් දිගු කරන්නෙ හුරතලයෙන්.. ඒ කටහඬ මාව නැවතත් මේ ලෝකෙට ගෙනත් දානවා..
මං හෙමින් සැරේ සිනිඳු අත්ල අල්ල‍ගන්නෙ ආදරයෙන්..

ඊ ළඟ වාරේ එයාගෙ.. 

වගකීම් වැඩිවෙද්දි හුළඟත් එක්ක හිනාවුණ ඇයගෙ  ජීවිතය මගෙන් ඈතට ගියේ හරියට මේ පීච් මල් වගේ..යන්නෙ කොහෙදවත් නිනව්වක් නැතිව බදන බදන හුළං රොදට තල්ලුවෙන මල්පෙති වෙලාවකට දෙපා යට පෑගෙද්දි දැනුනෙ දුකක්... ඇයට මාව ටිකෙන් ටික වදයක් වෙන්න පටන් අරන් තිබුණා.. වයසත් එක්ක මගේ දේවල් අමතකවෙන තත්වයක් දැනුනා.. තද නිල් අහසෙ අඩ සඳත් වළාකුලකින් සැඟව ඉකිබිදිද්දි ගෙදරින් මහළු නිවසකට බාරකලේ ලොකු මුදලකුත් ගෙවලා..  නිතර නො ආවත් ඇය ආව දවසට මගේ හැමදාම මඟ බලාගෙන ඉන්න ඇස් වල කඳුළු කොහේ ඉදන්ද මන්දා හදවතින් වාන් දමන්න අමතක කරන්නෙ නැහැ..


"ඒ ඔයාගෙ දුවද..?"


"ඔව්.."


"අඬන්න එපා.. මං මගේ පුතාව දැක්කෙ මෙහෙට ආවට පස්සෙ එකම එක දවසයි.. එයාලා වෙනුවෙන් කැපවුණ ජීවිතයෙ අපි අපේ ගැන හිතුවනම්.. අද එයාලා නොහිටින්න තිබුණා.."


එහෙමත් වෙලාවකට ඒ ජීවිත කතා ඇතුලෙ තියෙන දුක අවසානයේ පිටවෙන සුසුමකින් සැහැල්ලු වෙන්නෙ මේ වාතලයට ඒ බර මුසුකරලා වගේ.. 


දින සති අවුරුදු ගැන දැනීමක් එන්න එන්නම මගෙන් ඈතට ගිහින්.. ඒත් සෙනූගෙ පැමිණිම බලාපොරොත්තුවෙන් ගෙවුණ ඇස් තවමත් මඟ බලාගෙන හිටියෙ වෙලාවකට බොදවුණ ඇස්වලින් ඇය දුවගෙන එන බවක් ඇස් ඉදිරිපිට මවමින්..


මං වගේම අය තව ගොඩක් හිටියා මා දිහා බලාගෙන.. ඒ අයගෙ හදවත් මොනවා කිව්වත් කවදාවත් තමන්ගෙම දරුවෙක්ගෙ වරදක් තොල්වලින් එළියට ආවෙ නැහැ.. ඒ ඇස්වල කඳුළු රහසෙම පියා ගත්තෙ කාටවත් නොදැනේන වගේ.. ලෝකෙට පේන්න හිනාවෙලා හිටියත් මතක්වෙන මතක්වෙන ගානෙ දරු සෙනෙහසින් ඒ දෑස් වල හදේ පිරෙන ආදරය උතුරන්න කාටවත් හංගන්න පුළුවන්කමක් තිබුණෙ නැහැ.. ඒ වෙලාවට මගෙ ඇද ඉස්සරහ තියෙන පින්තූරෙ දිහා මං බලාගෙන ඉන්නෙ ගොඩක් ආසාවෙන්.. ගෙවුණ ජීවිතය දිහා ආයෙත් හැරිලා බලද්දි.. කවමදාවත් හිතුවෙ නැති විදිහට එක නවාතැන්පලක මම නැවතිලා.. ආයෙ ආපසට යන්න බැරි ගමනක ගිමන් නිවන්න..

අදත් එදාවගේම හඳ එළිය කළුවරින් වැහුණ දවසක්.. වීදුරු ජනේලයෙන් යන්තම් මගේ ඇස්වලට හඳ එළිය වැටිලා.. බස්සෙක්ගෙ භයන්කාර හඬක් කන්දෙකට රිංගලා වදදෙන්න ගත්තෙ හුස්ම ඉහල පහල වැටෙන වේගය වැඩිකරන ගමන්..  


"අර ඇ‍ඳේ ඉන්න කෙනාගෙ විස්තර කොහොමද.." මං අහගෙන නර්ස් කෙනෙක්ගෙන් කවුදෝ අහනවා.. අළුතෙන් ආව කෙනෙක් වෙන්න ඇති.. මට එහෙම හිතුණා..


"ආ.. එයාද.. එයාට දැනට තියෙනවා මේ මේ ලෙඩ.. කතා කරන්නෙ නැහැ.. කොටින්ම එයාට ඉක්ටුස් කියන රෝගී තත්වය...  එයාට හෙලවෙන්න බැහැ.. ඒත් අපි කියන දේවල් තේරෙනවා.."


"මෙයා මෙහෙම හිටියට බලන්න ඕනෙනෙ දුව.. මමත් දැකලා තියෙන්නෙ එක දවසයි.. ආරංචිය දැන් රටලු ඉන්නෙ.." ඒ එතන හිටිය තවත් කෙනෙක්ගෙ සහතිකයක් මා ගැන..

හදවතේ උපන්න වේදනාව දරාගන්න බැරිව මං මුළු වෙරම යොදලා කෑ ගැහුවා.. බලාපොරොත්තුවේ එකම කවුළුවත් වැහිලා ගිහින්.. මේ ලෝකෙ මම තනිවුණ හැඟීමක්.. කවුදෝ මාව තදින් අල්ල ගත්තා.. විටින් විට ඇහැරුණ මං වටේ හැම දෙයක්ම මගේ වටේට කැ‍රකෙන බවක් මට දැනුනා.. මගේම දිව, තොල්, ඇහිපිය මට ඔච්චමට හිනා වුණා.. අඳුරක් දැනුනා.. පෙනුනා.. ‍මං දිව්වා ඒ හුළඟ පස‍්සෙන්.. රෝස පාට ඒ පීච් මල් ඇහිදින්න..  

"තව ටික කාලයයි.."


"මිස්... හෙමින් සැරේ ඇස් අරින්න.."


"මාව ඇහෙනවාද.."

 යාන්තමට ඇහුණ කටහඬවල් වලින් හිමින්සැරේ ඇස් ඇරියෙ දැනුන තද ආලෝකයෙන් පියැවෙන ඇස් දෙක වෙහෙසක් දරාගෙන... දිග හුස්මක් ගියෙ නිතැතින්ම.. උස්පහත් වෙන යන්තරේ ඇදෙන තීර්යත්ත රේඛාවන්..  තවමත් ඉහලට පහලට ඇදෙන කෘතිම ස්වසනය දැනෙන්නෙ මගේම හදවතත් දරාගෙන ඇදෙනවා වගේ.. 


වීදුරුවෙන් එපිට වැහි අඳුරක සේයාවක් වට පිටාවම සැඩ සුළඟින් නතු කරන් සිටිද්දී...‍ මං හිටියෙ දවස් ගණනකට කලින් පැමිණි රෝහලේ.. ඇඳ උඩ.. වලංගු නැති අත පයත් එක්ක මං පොරබැදුවෙ පුළුවන් කමකට නෙමෙයි.. 

"කෝ.. තවම නැතිද..?"

හුරු පුරුදු කටහඬක එහාට මෙහාට කල නොහැකි ඇස් වලින් යාන්තමින් ඉස්සරහට ආව ඡායාව, ඇහුවෙ කොහෙදෝ යන්න තියෙන හදිස්සියක වගේ.. ඇස් වලට වැටුණ දිග හෙවනැල්ල යාන්තමට හුරු පුරුදුව මට ලංවුණා..

"අම්මේ..."


මගෙ දුව සෙනූ.. 
මට නැඟිටින්න ඕන වුණා.. ඒත් ගිලුන වචන.. මාව තවත් අධෛර්ය කලා.. අවුරුදු කීයකට පස්සෙද.. ඒ කට හඬ..

"අපේ අර ඉඩමට... අත්සන.. මෙතන.. මෙතන.. මෙතන.." පෙරලුණ පිටු අතරෙ මම මගේ ඇගිලි සලකුණු තියනවා යාන්තමට වගේ දැනුනා..

උඩු හුළඟට ඉව අල්ලන වියළි කොළ හෙමින් සැරේ එහාට මෙහාට ගමන් කල වාහනයක් එක්ක ඉගිල්ලුනේ නොකැමැත්තෙන්ම බිම වැටෙන්න බලාගෙන.. ඒත් ඒ ටික මොහොතකට හරි ඒ පාවෙන කාලයෙදි ලබන සතුට, දකින වට පිටාව කලබල ගමනින් ඉක්මනින් දෑස් ඉස්සරහින් පාවෙන අයවලුන්ගෙ කටහඬවල් , ඉක්මන් ගමනින් යනෙන ඔවුන්ගේ ජීවිත වගේම නැවතීමෙන් ඒ දෙස බලන්නට වුවමනාවක් වුණේ නැහැ. 


මිනිස්සු ඇවිදිනවා.. යනවා එනවා.. කලබලකාරී ජීවිතය තුල මොහොතක ඉඩක් හදවතට.. මනුෂ්‍යත්වය ළඟ නතරවෙන්න.. කොයින්ද වෙලාවක්..
මං ඒ අය දිහා බලාගෙන හිටියා.. තවම ඒ බංකුව උඩට වෙලා.. 


ඒත්....
රෝස පාට පීච් මල් පොකුරක්.. ආයෙත් පීදීගෙන එනවා මං බොදවුණ ඇස්වලින් දැක්කා..

මං ඇස් දෙක පියාගත්තා..!


11 March 2012

෴දයාබර නුඹ නමට෴


සිහිල් දිය කඳුළු මත උණුහුමට වැටෙන සඳ
නෙක රටා මැවෙන කල නෙතු පියා නොදුටු ලෙස
දවටමින් සිනහවක් රැගෙන විත් මුවග හස
සැලෙන පවනක් නුඹ ලෙසින් චාමර පතක

මුවාකර සිනහවට තුහිනයක සිහිල් පොද
ලියූ නුඹ හිත ඇතුලෙ මගෙ නමින් කාව්‍ය ලෙස
දුටුව මා නුඹ නෙතින් තරු ඇසට රටාවක
මගෙ නමින් ලියූ කවි දැක පුදුම හිතුණි මට

හදින් දුර ළඟ පාත සොයන් කවි හිත සැඟව
අමතකව ගිය මාව සොයාගෙන කොහෙ සිට ද?
සිහිල් සඳ එළිය ලැබ කුමුදු මල් පිපෙන කල
දෙනවාද මට ඉඩක් උරහිසේ උණුහුමට...
෴ 

26 February 2012

අතීතයෙන් ~ වර්තමාණයට

පවුලෙ කතා බහ නමයෙන් පසුත් දිග් ගැස්සෙද්දි.. කාගෙ හරි ඇඳකින් ඇදගෙන එන කොට්ටයක් අම්මා ළඟින් තියලා අම්මගෙ තුරුලෙ උණුහුම හොයන දූ සිඟිත්තියක්.. දවසක් පෙර පාසැල් ගිහින් ඇවිත් අම්මගෙම තුරුලෙ නිදා වැටිලා හොර රහසෙම අම්මා ඇ‍දෙන් ගිහින් තිබ්බ ඒ දූ.. දවස් ගණනකින් දැක්කෙ නැති අම්මගෙ තුරුලෙ උණුහුම හෙව්වෙ අම්මව ඇහැරවන්නෙ නැතිව.. පුංචි හිතට දැනෙන්න ඇති.. අම්මගෙ මහන්සිය.. රූපවාහිනය ක්‍රියාත්මක වෙවී තිබුණ මොහොතක අම්මට හොඳටම නින්දගිහින්.. ආදරයෙ උණුහුමට යාන්තමට ඇහිපියාගෙන එන කොට ඇහුණ ශබ්දයෙන් ඇහිපියන් ඇරුණෙ ඒ ශබ්දය පැමිණි දිහාවට.. 

කොළපාට රබර් වත්තක් මැදින් සුදුපාට කාරයක් ගමන් කරමින් ඉදිරියට ඇදෙමින් තිබුණා.. හරිම නිස්කලංක පරිසරයක ඇහුණෙ ඒ මෝටර් රථයේ ශබ්දය.. ඒ තුල හිටියෙ සුදු වේලයකින් සැරසුණ කාන්තාවකුත් කළු කෝට්ටුවකින් සැරසුණ කෙනෙකුත් සහ වාහනය පදවන කෙනා පමණයි.. එක පාරටම මෝටර් රථය නැවතුනේ හිනාවෙමින් සතුටින් පැමිණි ඒ දෙපළගෙම හිනා හඩ නතරකරමින්.. ඒත් එක්කම පරිසරයත් නිශ්ශබ්ද වුණා.. මොහොතකට.. මොනවදෝ කිව්ව රියැදුරුත් කළු කෝට්ටුව හැඳගත් පුද්ගලත් බිමට බහින්නෙ සිදුවී තිබෙන කාර්මික දෝෂය මඟහරවගන්න හිතාගෙන.. පිටුපස ඩිකිය ඇර කතා කරද්දි ඇයත් බිමට පනින්නේ කිසිම දෙයක් ගැන නොහිතමින්.. ඇය දකින්නෙ සමච්චලයට හිනාවෙන රියදුරුත් ඇයත් සමඟ පැමිණි කළු කෝට්ටුව හැඳි පුද්ගලයත් ඔහු අතේ ලොකු පිහියකුත් සමඟ.. ඇය අනතුරක බයෙන්..!

ඒ දර්ශණය ඇසගැටිලා කාලය සතියක් ගෙවෙන්න ඇති.. ඒ දූට ලැබෙනවා තාත්තගෙ යාළුවෙකුගෙන් රෝසපාට ගවුමකුත් රත්තරන්පාට ගවුමකුත්.. තෑගි විදිහට.. තාත්තගෙ යාළුවගෙ පවුලට හිටියෙ පුතාලා දෙදෙනෙක් පමණයි.. මේ නිසාම මේ දූට ඒ අය ගොඩක් ආදරෙයි.. දූ පුංචි කාලෙම ඒ  වගේ දිලිසෙන ගවුම් වලට ආසා කලා.. දවසක් පාන්දරක අම්මා ඇහැරලා අර රෝස පාට ගවුම ඇයට අන්දවලා හැඩ බලනවා.. පාන්දර ඇහැරුණ නිසාත් වට පිට කිසිදෙයක් දකින්න බැරිනිසාත් ඒ දූට වාහනය පිටිපස අසුනෙ නින්ද ගිහින් ආයෙ ඇහැරෙන්නෙ අම්මගෙ කටහඬින්.. මල් වලින් සරසණ.. කොණ්ඩෙ සකසන.. ‍තැනක... ඒ  දූටත් ලස්සන මල් කිනිත්තකින් කොණ්ඩෙ සරසලා.. මල් කූඩයක් අතට දෙනවා.. එතන හිටිය නැන්දලා.. දූගෙ අම්මයි තාත්තයි බලාගෙන ඉද්දි ඒ දූයි සුදු වේලයකින් සැරසුණ නැන්දියෙකුයි තව අක්කියෙකුයි සුදු කාරයකට නැගෙනවා..

එතැන සිට මේ දූ පිටුපස අසුනෙ දනගහගෙන  හොයන්නෙ අම්මවයි.. තාත්තගෙ වාහනයයි.. මැවෙන්නෙ... ඒ දර්ශණය.. ඒ දැක්ක සුදු වේලය.. කොළ පාට රබර් වත්තක් මැදින් වැටුණ දුඹුරු පැහැති පටු මාවත දිගේ ඉස්සරහට ඒ දූ හිටිය කාරයත් ඇදෙද්දී.. ටික ටික ඇස් බොදවෙනවා.. හිත ගැස්සෙනවා.. "දූ අර එන්නෙ අම්මයි තාත්තයි.." නැන්දිලා කියන කියන වාරයක් ගාණෙ ඈත බලාගෙන ඉකි ගහන්න ගන්නවා.. එහෙම දෙයක් නොදකින වාරයක් ගාණෙ එන්න එන්නම ඇඩීම වැඩිවෙනවා.. කාටවත් එතැන තේරුම් ගන්න බැරිවුණ හිත.. "දැන් මාව මරයි.. දැන්.. දැන්.." බයෙන් බලන්නෙ ඉස්සහ රියැදුරු දිහාවත් පිටුපස වීදු‍රුවෙන් ඈතත්..

අන්තිමට ගිහින් නතරවෙන්නෙ සෙනඟින් පිරුණු ශාලවක.. දූ ළඟට ආවෙ ඒ වයසෙම ඒ උසම පුංචි පුතෙක්..

"පුතේ.. නංගිත් එක්ක ඉස්සරහට යන්න.." කවුදෝ නැන්දියෙක් කියනවා.

ඒ පුංචි පුතා අතේ තිබුණෙ මල් වැලක් එතුව වේවැලක්..! හිනාවෙන්ම අතින් අල්ලගත්තෙ අඬලා හෙම්බත් වුණ ඒ දූව.. හරිම පරිස්සමින් පියවරත් එක්ක ඉස්සරහට... ශාලව තුල යන්නට තිබුණ පාර අවසන් වුණේ ලස්සනට හදලා තිබුණ උස් තැනකින්..කාගෙන්වත් නවතින්න විධානයක් නොවුණ නිසා තවත් පියවරකින් එතැනට තැනුන පඩිපෙලට අඩියක් තියන්න යනකොටම කවුදෝ මන්දා කෑ ගැහුවා පිටිපස්සෙන්.. "මෙහෙට එන්න මෙහෙට එන්න".. අතර මගදි ගත්ත ෆොටෝ එකකින් ඇස්වලට වැදුනෙ ‍ෆ්ලෑෂ් එළියක්.. ඇස් නිලංකාරවෙන්න..


රූපවාහිනියෙ අහම්බෙන් ඇස දුටුව දෙයින් හිත බයෙන් ගැහුණ.. එදා ඇහිපිල්ලම් යටින් දැක්ක දර්ශණයෙ නිළියව තවම මතක.. ඒ නිසාම අතීතයේ දේවලින් ආයෙ කවදාවත් මේ වගේ වරදක් වර්තමාණයේ දී ඉදිරි පරම්පරාවකට නොවෙන්න... ලස්සන දවසක, පොඩි එකෙක්ගෙ පොඩි එකියක්ගෙ මූණ නරක් නොවෙන්න..  ඒ පුංචි හදවත් ආදරයෙන් ආරක්ෂා කරන්න  අද දසුන්වලින් රූපවාහිනියෙ... 

එදා... ඒ දූව අතින් අල්ලගෙන තව තඩ්ඩෙන් පොඩ්ඩෙන් පෝරුවට නගින්න ගිය පුතු , අද ලෝකෙම හොඳම වාහන නිපදවන එක්තරා ආයතනයකින් ලංකාවට ඒ වාහන ගෙන්වන තැන ඉහළ නිලයක් දරණ තැනැත්තෙක්..  
එදා...  මූණ ඇඹුල් කරන් කෑ ගැහුව හේතුව අද වෙනකල් කවුරුවත් දන්නෙ නැති.. රත්තරන් පාට ඒ පුංචි ගවුම  අදින්න බැරිවුණ.. තවමත් එදා මතකයන්ගෙන් ඇන්ද රෝස පාට ගවුමෙන් එකම එක මතකයක ෆොටෝවක් ගෙදර තියෙන...
අද සීතලේ නාඳුනන රටක කටුකන දූ.. 
මම
නඳූ... :)



23 February 2012

පරිත්‍යාගය

ළුවර මුල්ලකට වෙලා විටින් විට ඔච්චමට හිනාවෙන අහසෙ තරු දිහා මට බැලුණෙ පුරුද්දට වගේ... අවටින් ඇහුණ සංගීතය කන්දෙකෙන් රිංගලා කෙලින්ම බදාගත්තෙ හදවත.. අනවසරෙන්ම එළියට එන්න ඔන්න මෙන්න තිවුණ ඒ කඳුළු නවත්තගත්තෙ ඒ කඳුළු එළියට පෙනේවි කියලා හිතාගෙන.. උගුරෙ හිරවුණ කටුවක වේදනාවෙන් මම බලාගෙන හිටියෙ වීදුරුව දිහා.. නිවි නිවි පත්තුවෙන පාට විදුලි ලාම්පු වල හෙවනැලි අපි දෙන්නගෙම මූණුවලට වැටුණෙ, බලාගෙන හිටිය අයට ප්‍රකෘතියෙන් කිසිවක් කියන්න පුළුවන් හැගිම් මවලා නෙමෙයි.. ඒ වැටෙන පාට වලින් හදවතේ හරිම පාට කියන්න පුළුවන් වුණානම්... අපේ හිත්වල තිබුණ සිතිවිලි වචන වලට පෙරලන්න පුළුවන් වුණානම්... කවදාවත් ජීවත් වෙන එක මේ තරම් අමාරුවෙන එකක් නැහැ එහෙනම්... එකපාරටම කොහෙදෝ ඉදන් අමතකවෙලා වගේ දුවගෙන ආව සීතලට ඇ‍‍ඟේ හිරිගඩු ඇහැරවද්දී... අපි දෙන්නම වීදුරුව හිස්කලේ තරඟයට වගේ..


චන්දරේගෙ මූණෙ ඇඳුණෙ හිනාවක්.. හදවතේ තියෙන සතුටත් එක්ක හිනාවෙන හිනාවක්.. ඒ හිනාව මීට අවුරුදු ගණනකට කලින් මගෙන් අතුරුදහන් වුණ ඒ අතීතයේ හිනාව.. උඩතට්ටුවේ සිටන් පියගැටපෙළ දිගේ සුදු ඇදුමකින් මල්කළඹකුත් සමඟ මගෙ මූණ දිහා බලාගෙන පහළට බහින සුරංගනාවිය.. ඒ මූණෙ තිබුණෙ දුකද සතුටද කියන්න මං අතරමං වුණේ ජීවිතේ පළවෙනි වතාවට මා දිහාවට පාන කුසලානයකින් මගේ මූණෙ හැඩ බලනවා වගෙයි.. කවුදෝ ඒ දර්ශණ පටයට පිවිසිලා ජයග්‍රාහී පීත්ත පටියත් එක්ක කුසලානය අතට ගනිද්දී අවටින් ඇහුණ සුබ පැතුම් එක්ක මං මඟ නතරවුණේ තරඟයකදි වැරදිලා ප්‍රචාරය වුණ ජයග්‍රහයකයගෙ හඬ සවන් වැකුණ ගාණට දුකත් ලැජ්ජාවත් සමඟ... ප්‍රකෘතියට... දිනාගන්න බැරිවුණ ඒ ආදරය කවුදෝ කෙනෙක් ජයගද්දි.. මං හිටියෙ බොදවුණ ඇස්වලින් ඒ දිහා බලාගෙන.. හැමෝම ඇවිත් සුබ පතද්දි මං ඈතට වෙලා බලාගෙන හිටියෙ හැගීම් වචන වලට පෙරළගන්න පරිවර්තකයෙක්වත් නැතිව... හැමෝගෙම සුදු විලද අහුරු ආශිර්වාදයට බයෙන් පැනලා ගිය මතක සමනල්ලු තවමත් මගෙ හදවත ඇතුලෙ එළියට එන්න බැරිව හිරවෙලා.. මං ආයෙමත් හිස්වුණ වීදුරුව පුරවගෙන උගුරක් උ‍ගුරෙන් පහතට හලාගත්තෙ ඒ බයටවත් උන් ටිකව නතරකරගන්න.. ඒත් උන් සැහැල්ලුවෙන් පියාඹන්නෙ මේ වගේ වෙලාවට බව මං අවුරුදු ගණනක ඉදන් දන්නවා.. ඒ උයනෙ පාලකයා විදිහට..


"හෙට ප්‍රියන්වදාගෙ උපන්දිනේ.. 
මං හොඳ තෑග්ගක් තවම හොයනවා මචං.." 


එක පාරටම ආව මුහුදු රැල්ලක සද්දෙ මගෙ කනට ඇහුනෙ චන්ද්‍රේගෙ හදවතේ බරත් අරගෙනම පිට වුණ සුසුම මැදින් හීනියට ඇහුණෙ "මාව බේරගන්න" නොකියා කියන මැලවුණ කටහඬ හීන් කෙඳිරියක් ගාණට.. කීකරුකරන් හිටිය සමනල්ලු ඒ මේ අත ආයෙත් ‍විසිරෙන්න ගත්තෙ සිහිනයක අතරමං කලා වගෙයි.. මෙච්චර වෙලා වීදුරුවෙ ගිනිපාට වතුරට ගිලිලා තිබුණ මගෙ ඇස් දෙක එසවුණෙ නොදැනම.. 


ඔව්.. මුළු හිතම ආදරෙන් පිදුව මගෙ ආදර ප්‍රියන්වදාගෙ උපන්දිනේ හෙට.. කවදාවත් දෙන්න බැරිවුණ ඒ පුංචි තිළිණය තවමත් යන යන තැන තනිරකින කාර්යාල බෑගයේ.. අවුරුදු ගණනක මතක එක්ක.. හිතට දැනුනෙ මහ තනිකමක්.. බදාගෙන හිටිය මම මගේ කියන මතක... මේ අවුරුදු ගණනට දෙන්නට කවුරුත් හිටියෙ නැති.. මතකය විතරක්ම රිදවන ඒ තිළිණය..


"මේක තියාගනින්.. ඕක දෙන්න දැන් මට කවුරුත් නැහැ.. හිටිය අයත් යන්න ගිහින්.."


චන්ද්‍රේගෙ හිතෙන් ඉපැදුන කඳුළු ගිලෙන්න ඔන්න මෙන්න තිබුණ රතු ඇස් වසාගෙන අවර්ණ කඳුළු කම්මුල් හරහා අඳුරේම ගලාගෙන යද්දී ඒ මුහුණ මගෙන් සඟවන්න මගේ මිත්‍රයා අසාර්ථක උත්සහයක යෙදීසිටියෙ වැටුණ පාට ලාම්පු එළි ඒ කඳුළු වලට වෙනස් අරුත් එකතුකරනවා බලන් ඉන්න බැරිවද.. නැතිනම්.. ඒ කඳුළු වල අවර්ණබව මම විනිවිද දකිවිද කියලා බයෙන්ද මම දන්නෙ නැහැ.. 


බලාගෙන ඉන්න මුළු ලෝකයම කියාවි මේ ආදරයේ පාට බව.. 
එත්.. ඒත්..  කාටවත් නොපෙනෙන පාට ලාම්පු වලට නිරාවරණය නොවෙන හිත ඇතුලෙන් පටන් අරන් ගලන කඳුලක පාට..? හඳුනගන්න..

15 February 2012

~මාවතේ අපි~ අළුත් මාවතක අළුත් මාවතට


බ්ලොග් අවකාශයේ ජීවිතය බෙදාගන්න
 යළුවන්ගෙ අදහසින් පොහොනිව 
අළුත් මාවතකට මං තැනුණ...
වැඩකඩොලු,බාධක, මල්, දුක් කඳුළු සිනහවන් මැද පහුකරන් යන 
ජීවිත මාවතේ....
හෘද බ්ලොග් හිත මිතුරු මිතුරියන් ඔබ හැමදෙනාගෙම ත්වැලින් 
අළුත් මාවතකින් අළුත් මාවතකට
ගමන්කරන්නට 
එන්න
~ මාවතේ අපි ~
බ්ලොග් අඩවියට..