17 May 2013

වීරත්වයේ මතක අහුරු..


කාලයේ මං තලා යට
හුදෙක් සැඟව ඉසිඹුලන
වීරත්වයේ මතක අහුරු
පිටු පුරා‍වෙන් පැන
ධජයට බැඳුන...
එකම රුධිර ඝණයට..

වතුර ලුණු රසට
නිතැතින් එකතු වී ඇසට
හැඟුමන් මතින්
සුසුම් ගිනි සිඹින
ඈත
වන්නියට වී..


ලය රිද්ම
ගැයෙනුවස් තාලයට
නුඹ නොදැක්කත්
ඇසෙන්නැති
වියළි උඩු හුළගේ..
යාතිකා
එදා..

බොහෝ පැතුමන් දරාන..
ලෙසින්
එකම
සොහොයුර..!

වෙසෙස් ගරු බුහුමනින්..
සැතප නිහඬව..
නිවාඩුව... ගම් බලා..
ළබැඳියන්
හෙළන දුක්
ගුණ වරුණ
නොඅසාම..

අහිමිව..

බෙදනු බැරි ජයටැඹ
මුසපත්ව
පෙන්වමින
සත් මඟුල්
ඉච්ඡාවෙන්..
ඔවුන්
අද..


එදා
කළුවර
වසන්තය
එලැඹූ..
අඳුරම රළු දෑතට
අද බලකරන
නුඹට..

කියුබ් ගණනින්
වැඩි නැතිද බර..?
                  දරාගන්න හදවතට..!


04 March 2013

ගන්දි | An odor § 01


නුහුරු රටේ අළුත් පාසැලට පැමිණි මුල්ම දවසෙ, ඇයට ලැබුණ ආගන්තුක සත්කාරය..!
පන්තිකාමරය තුල මිතු මිතුරියන් නමින් ඇමතීමට නොහැකි ඔවුන් තැබුවෙ ඒ නම ඇයට. තිබුණ වටකුරු ඇසුත්, ඔවුන්ගෙන් වෙනස් වූ කළු හමත්, එයටම ආබරණයක්ව ඝණව වැඩුණ කළු දිග කෙස්වැටියෙන් ‍කරල් දෙකකට බෙදුන කොණ්ඩයත් ඔවුන්ගෙ හිත් සොරාගත්තත්, ඊට වඩා ඔවුන් බයවුණේ වෙනත් භාෂාවන් චතුරව කතා කරන ඔවුන්ගෙ මව්භාෂාව ඉගෙනීමට පැමිණි ඇයව භාර ගැනීමට..

පාසැලේ ප්‍රධාන ආචාර්යය තුමාගේ උණුසුම් පිළිගැනීමෙන් එතුමා විසින්ම පන්තිකාමරය තුලට එක්ක යද්දි... දකින්න බලාපොරොත්තු වුණත් ළමුන් 35ක් පමණ හිටියෙ 12-14 දෙනෙක් පමණයි.. එක බංකුවට දෙන්නා බැගින්.. දෙපසට වෙන්න බංකු බෙදා තිබුණා. පළවෙනි අවුරුද්දෙ සිට පස්වන අවුරුද්ද දක්වා යන්නට ඇති මේ ගන්දි ආසම විෂය උගන්වන පාසැලට ඇයව ඇතුලත් කරගත්තෙ එරට ළමුන්ට වුණත් පොදු ඇතුලත් වීමේ කිසිම විභාගය ලියන්නට නොදීමෙන්...! ගන්දිගෙ මව් රටේ ඉගෙන ගත් විෂයනුත්.. ඇයගේ වයසත් ප්‍රධාන මහාචාර්ය තුමා ගේ තීරණයෙන් ඇයව ඉන්දවූයේ 3වෙනි වසරට..!  

මුල් කාල පරිච්ඡේදය එරට මව් භාෂාව පුරා දිවෙද්දි කැරකිල්ල නොහැදි බේරුණේ.. අනිත් අය මූණවල් හකුල ගනිද්දි.. තම බෑගය තිබූ පුටුවෙන් බිමට අරන් ඇයට වාඩිවෙන්න ඉඩ සැලසූ ලෙයෝ නිසා. 
ලෙයෝ... රන්පාට කෙසුත්, සුදු කණ්ණාඩියකුත් එක්කම ටිකාක් මහත, ඒත් හරි නිහඬ බවක් තිබුණා.. හිනාවකුත් එක්කම.. හැබැයි නිතරම කටේ චුයින්ගම් හපමින්..!

"ඔයා ළඟ ගඳයි..!"

ඒ පන්තියෙම පිරිමි ළමුන් ආකර්ශණය කරගෙන ඉන්න සබ්‍රි.  ඒ... ගන්දිගෙ රටටම පමණක් ආවේණික වුණ විශේෂ කුළුබඩු සුවඳ නිසා... ගන්දි නමේ පටන්ගැන්ම එතැන...!

"ලෙයෝ..මේ අන්තිමට තියෙන නම මොකද්ද කියවගන්න බැරි ?"

ලෙයෝ ලියලා තිබුණ ඒ පන්තියෙ ගැහැණු ළමුන්ගෙ නම් ලිස්ට් එක.. මතක සැමරුමක්ව ජනෙල් පඩිය උඩ..

"ඒ අළුතින් ආව කෙනාගෙ නමනෙ..!"

"එයාව බැහැ අපේ කණ්ඩායමට ගන්න. මේ බිත්තියෙ ලියලා තියෙන නම කපන්න.!"

 ඇය එතනින් අහකබලාගෙන ගියත්.. ගන්දිට දැනුනෙ හිතට දුකක්..!

පොත්ලිස්ට් එක ලෙයෝ ලියලා දුන්නා.. අච්චුපොත් සියල්ලම මුදල් ගෙවා පොත් සාප්පුවෙන් මිලදී ගන්න ඕන වෙනවා. ඒ මදිවට පහසුකම් ගාස්තුත්. ඒත් විනාඩි 10ක පා ගමනින් ළඟාවෙන ගෙදටත් පාසැලත් ගැන ඇය කොයිතරම් සතුටුවුණාද කිව්වොත් ඇඳක්වත් නැතිව මෙට්ට‍යෙ පමණක් නිදියන ඇය උදෙන්ම අවදිව පාඩම් කලා. ෆයිනස් කොළ සුවඳ පිරුණ, කුරුළු කිචිබිචියෙන් පිරුණ ඒ හැම උදයකම, ගන්දි සුබ උදෑනකට සුබ පැතුවෙ හදවතින්ම සතුටින්..!


"ඔයාටත් දෙන්නද චුයින්ගම්.."

"හා ගොඩක් ස්තූතියි..!"

ඒ දෙවෙනි දවස.. මව් බස කාලපරිජ්ජේදයදි..

"ෆ්‍රන්චුල්ලි...!" (කාටවත් කරදරයක් නැති දැරිවි) 
මේ ගුරුවරුන් ඇයව හැඳින්වුව නම..!

ෆ්රේ මහාචාර්ය තුමිය ඇයගෙ නම කතා කලේ ‍බැඳලා තිබුණ කෙටි කොණ්ඩයත් කෙලින් කරන් කණ්ණාඩිය යටින්..

ඇය පුරුද්දටම පුටුවෙන් හිට්ටවුණා..

කට පෙන්වා මොවද කිව්වත් ෆ්‍රන්චුල්ලි‍ට  එය තේරුමක් නැහැ. ගන්දි හිතුවෙ දිග නම කියාගන්න බැරිව ෆ්රේ තුමිය අමාරුවෙ වැටිලා කියලා. ඒත් ඊයෙ පාසැලට එද්දි හිටියෙත් මෙතුමිය නිසා ඇය ටිකක් ‍‍වෙලා තේරුම් ගන්න උත්සහ කලා..

"නෑ..!"

"චුයින්ගම් එක විසිකරවා.. වහාම..!"

සැහැල්ලිට බැලුණෙ ලෙයෝ දිහා...
ඇය මුකුත් නොදන්න ගාණට කට නොහෙල්වා ඉන්න අපූරුව..!

අපරාදෙ..! 
ලෙයෝනම්  දවසම හපන, කෑමට පසුත් ඒකම කටේ දාගන්න... ඒත් ගන්දිට විනා. 5ක්වත් කපා රස උරාගන්න බැරිවුණ චුයින්ගමය...!

එදා දවසම ගන්දි නම් හිටියෙ මූණ රතුකරන් බිමට හරවගෙන.. ආයෙ චුයින්ගම් නම් පන්තියේ කටේ තියන්නෙ නැහැයි හිතාගෙන.

"සැහ්.... හැ..ල්..ලී..ඊහ්.. ත්‍යා...යා... ග්..ය...."

හැම කාලපරිඡේදයකටම එන ආචාර්යය තුමන්ලට නම් ලකුණු කරද්දි හිරවෙන ඇයගෙ නම ලඟට එනකල් පන්තියම බලාගෙන ඉන්නෙ. හිනාවෙන්න...! ඒ අසරණ කොකෝවා ලෙලිවුණ මූණත්.. කණ්ණාඩිය උඩින් පන්තිය සිසාරා හෙළන ඒ බැල්මත් ගන්දිට නම් මාස ගණනක් විඳින්න සිද්ධ වුණා. නම දිග වැඩිකමිනුත්.. එ නිසාම ආචාර්ය තුමන්ලා ඇයට ෆ්‍රන්චුල්ලි හෝ සැහැල්ලි කියන්න පුරුදු වුණා.

විනය ගරුක බව, කීකරු කම, හැදියාව කොටින්ම එ රටේ හැදියාවට වඩා ඔවුන් තව අවුරුදු දහසකින්වත් බලාපොරොත්තු විය නොහැකි හැදියවක් ඇය තුලින් දකිද්දි ගුරුවරු මේ අපූරු ළමයාගෙ වෙනස දැක්කා. ඔවුන් ඇයට ආදරය කලා.  ඇය වෙනුවෙන් වෙනම පන්ති පැවැත්තුවා. භාෂාව පුහුණු කිරීම වෙනුවෙන්.. හැකි හැම උත්සහයක්ම ඔවුන් දැරුවා. එ රටම ළමුන් එළියට බැස ගුරුවරු මාරු කරන ලෙසටත්, නිවාඩු දිනයන් වැඩි කරන ලෙසටත් උද්ගොෂණය කරද්දි.., ගන්දි පමණක් පාසැල් විත් මුළු දවසම ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්ත දවස් තිබුණා.. ඔවුන් ඒවා ඉවසුවෙ රවාගත්ත බැල්මෙන්..

"ඉතින් සැහැල්ලි.. කියන්නකො ඔයාලගෙ රට ගැන.."

"අපිට කවදාවත් හිම නැහැ. මෙහෙ දකිද්දි ආසයි.."

"ඒ අතින් ඔයාලා කොයිතරම් වාසනා වන්තද.. මං අහලා තියෙනවා.. ඔයාලගෙ රට ගොඩාක් ලස්සන බව.. දවසක ප්‍රසන්ටේෂන් එකක් කරන්න.."

"හොඳයි ආචාර්යතුමි..!"

ඒ දයාබර ගුරුදෙගුරුන්ගෙ හිතවත් වචන...!

ඒත්..

එකම පන්තියෙ මිතු මිතුරියන්ගෙන් එන්න එන්නම පීඩන වැඩිවෙද්දි සැහැල්ලු ගෙදර ගිහින් ඇඬුවෙ වරක් දෙවරක් නෙමෙයි. දෙමාපියන් කොයිතරම් හිත හැදුවත් තවදුරත් පාසැලට ඒ පන්තිකාමරයට ගිහින් මුහුණ අනිත් අයගෙන් වහගෙන පහල් කරන් ඉන්න ඇය කැමත්තක් දැක්වුයේ නැහැ. ඒ විතරක් නෙමෙයි තමාට හුරුපුරුදු යහළු යෙහෙලියන්ගෙන් ඈත්ව නුහුරු නුපුරුදු අයගේ ඇසුරකට ඇය විවෘත වුවත් ඇයව අඩුම තරමෙ පිළිගත්තෙ ලොයෝ විතරයි. කණ්ඩායම් ක්‍රියාකාරකම්.., ක්‍රීඩා වලට ගන්දි ආස වුණත්.. පන්තියෙන් ඇති මෙ තත්වෙ උඩ ගන්දි ඔවුන්ට තමාගෙන් කරදරයක් නොවෙන්න වග බලාගත්තා. පාසැලෙන් සංවිධානය කෙරෙන අධ්‍යාපනික චාරිකා වුවත් ඇයට නිහඬවම යන්න වුණා. ගුරුවරු ඇයත් සමග හැකි හැමවෙලාවෙම කතා කලත්... ඒ පුංචි හිතට දැනුනෙ මහ ලෝකයක මැද කළු තිතක්ව තනිවූ හැඟීමක්.

මේ දේවල් මතින් පීඩනයක් ලබද්දී.... ඇය ඉගෙනීම අතහැරියෙ නැහැ. ගන්දිගෙ තනිනොතනිය මැකුවෙ පොත්. ඇය ආදරයකරන්න පටන් ගත්තා.. හැමදාම ඇය එනතුරු මඟ බලන පාඩම් පොත් වලට.. ඇය පෙම්වතා කරගත්තා... පත්තරවල කතුවකි පරිවර්තණය කලා. නිල පොත් දවසගානෙ පරිවර්තණය කලා. රූපවාහිනියෙ යන ළමා නාට්‍ය ඇය තේරුම් ගන්න උත්සහ කලා. නොතේරුණ වචන ඇය ශබ්ධ කෝෂයෙන් බලා පරිවර්ථනය කලා. නිහඬවම යන අධ්‍යාපන චාරිකා තුලින් ඇය කණ්ඩායමේ පසුපසින්ම ගොස් ඔවුන් නොදැක්ක, කන්කෙඳිරි ගාමින් යන ගමන... ගන්දි වටපිට නිදහසේ නිරීක්ෂණය කරන්න ගත්තා. ඇය පොතේ පතේ දැනුමත් සමඟ ඇයගේ මනසත් ඇසුත් අවදිව තියාගත්තා. 

පන්තියේ හොඳම ළමයා වුණේ ඇය එහෙම..!
සමහරුන්ට ඇයව නිතරම සිනහ මුහුණින් සිටින සැහැල්ලු චරිතයක් ලෙස පිටතට පෙනුනත්, ඇයගෙ සැඟවුණ ජීවිතය එය.! ඇය විටෙක දෙවෙනි වුණේ පන්තියේ හැමෝම කොපි කරන ලෙයෝට විතරයි.. අවංකවම කොපි නොකර ඇය ‍දවසක් ලෙයෝටත් වඩා ලකුණු ගත්ත එක ගැන ලෙයොත් ටිකෙන් ටික වෙනස් වෙන්න ගත්තෙ ගන්දිට හිතාගන්න බැරිවුණ විදිහට..

එරට ඇයගෙ වයස, ඇයගෙම පන්තියෙ අයට ගන්දිගෙ ඒ දියුණුව තවත් ඒ බව දරා ඉන්න බැරිවුණා.  ඇය ගැන විවිධ කේලම් ආචාර්ය්‍ය තුමන්ලාට ඔවුන් පැවසූවත් ඔවුන් නොවෙයි ඒ එකක්වත් ගණනකට ගත්තෙ. ඒත් අන්තිමට ලෙයෝ ඉන්න තැන වෙනස් කලා. ලෙයෝව සාබ්‍රීගෙ මේසයට ගත්තෙ.. සාබ්‍රී ගෙ පෙරපාසැල් සිටම ‍යාළුවා වුණ කටකාර මාරිකත් එක්ක තරහාවෙලා. 
ගන්දි ඒ මේසයේ තනිවුණා.

ලොකු කණ්ණාඩි දෙකක් දාන පන්තියේ විකට චරිතෙ රඟ පාන දාස් , ඉස්සරහට ආව දත් දෙක මැදට පෑන් බටයක් තියලා කෙළ පිබිද්දිත් ඇය ඒ දිහා හිනාවෙලා බලා හිටියෙ නිවට කමටද නැතිනම් ඉවසීමටද දකින්න කාටවත් උනන්දුවක් තිබුණෙ නැහැ.

භාශාවෙ අමාරු වචනයකදි හිර වුණ ඇයට කවදාවත් නැතිව සැරෙන් කතා කලෙ ඇය මුළු හිතින්ම ආදරය කල එරට භාෂා ආචාර්ය්‍යය තුමිය..ෆ්රේ..! ගන්දි හැඬුම නවත්තගන්නට කොයිතරම් වැරගත්තත් හිතේ වේදනාව ඇස් ඇතුලෙන් පැනලා දෝරගැලුවෙ..., "කවදාවත් කිසිම කෙනෙක්ව ආයෙ හදවතින් විශ්වාස නොකරමි" යන දේ හිතේ තියාගෙන.. මුළු පන්ති වලම ගුරුවරු කලබලයෙන් ඇය ළඟට ඇවිත් කාරණය අහද්දි ඇයට උත්තර දෙන්න සිදුවුණේ විදේශ එහෙත් චතුර භාෂාවෙන්. ඇය ගෙදර ගියේ කිසිම දෙයක් නොවූ ගාණට වුණත් හිත ඇතුලෙ තිබුණ වේදනව දෙමාපියන්ටවත් ඇය පෙන්වුයේ නැහැ.

<හෙට එනවා නේද අනිවාර්යෙන්ම..
ෆ්‍රේරේ තුමිය ගොඩක් බයවෙලා..>

දුරකථනයට ආ කෙටි පණිවිඩය ලෙයෝගෙන්..

ඒත් තැලුණ හිත සුවපත්කරන්න ඒ දේවල් වලින් බැහැ. පහුවදා ඇය පාසැල් ගියෙ නැහැ. ඒ මුළු ජීවිත කාලෙටම එකම එක දවසක් පමණක් පාසැල් නොගිය එකම අවුරුද්ද..!

තුන්වෙනි අවුරුද්දෙ අන්තිම විභාගය ඉතිරි අවුරුදු දෙක ගෙවන්නෙ කොහොමද යැයි තීරණය වන මායිමක්. හවස පන්ති හැම විෂයකටම පැවැත්වූවා. මේ කාලෙදිම ඇය ආසාවෙන් බැලුව නාට්‍යකුත් විකාශය වුණේ කොයිම මොහොතකවත් නිනව්වක් නැති ඇයගෙ හිතට දුකක් දීලා. ඇය ආසාවෙන් හදබැඳගත් එය කිඳුරියන් ගැන කතාවක්..! භාෂාව ගැන වගේම පාළුවෙන් හිටි ඇය ඒ තුල ජීවත් වෙන්න ගත්තත් හවස උපකාරක පන්තිය නිසා ඇයට ඒ ආසාව ට තිතක් තියන්න වුණා යැයි ඔබ සිතනවද..? නැහැ. ඇය හවස 2.00ට පටන් ගන්නා උපකාරක පන්තියට 1.30ට පාසැල ඇරීමෙන් පසු ගෙදර ගොස් පාන් පෙත්තකුත් බඩට දාගන්නා ගමන් 3.00ට විකාශය වන ඒ කතාව රෙකෝඩ් වන්න දාන්නෙ 4.00ට ගෙදර විත් ඒ කොටස වෙන්කර නැරඹීමට. සමහර දවසක ඇයට පැය බාගයකින් පරිඝණකයේ වැඩසටහන් නැවත ස්ථාපිත කර  දමන්නත් වුණා යම් යම් දෝෂ නිවාරණයට..!

 ඒ කොහොම වුණත් ඇය තනිකමෙන් ජය ගත්තා. ඒ විතරක් නෙමෙයි ඒ තීරණාත්මක තීරණයෙනුත්..! එරට , ඇයගෙ පන්තියෙම ඇය සමඟ විභාගයට ලියූ ළමුන් දෙ තුන් දෙනා අසමත් වෙද්දී ඇය... ඊළඟ වසර දෙක එම පාසැලේම ඉගෙනුම ලබන්න වාසනාවන්ත වුණා...!

ගන්දිගෙ ජීවන පාථය වුණේ එරටට පැමිණි කාලයේ විකාශය වුණ ළමා නාට්‍යක දෙබසක්..!  බාල්තො..! වෘකයෙකු සහ බල්ලන් අතර කාටූනයක්..! බල්ලන් අතර සිටින වෘකයෙකුයැයි කොන්කරන ඇයට යහළුවෙකුමෙන් ඉගැන්නූ වටින දෙය...

"මට උඹට යමක් කියන්න තියෙනවා බාල්තො..!"

"එක බල්ලෙකුට මේ ගමන තනියෙන් කරන්න බැහැ. ඒත් සමහර විට....
එක වෘකයෙකුට...! පුළුවන්..!"

ඔව්...! ඇය වෘකයෙක් වුණා...!

ඇය දු-ගන්දියක් වේවි ද...? 
      ඇය සු- ගන්දියක් වේවිද..?


ඊ ළඟ කොටසට...!

25 February 2013

රෝස මලින් ආචාරය..!

දෙකම්මුල් සීතලෙන් හැකිලෙන
දුර ගමනකට මඟ බලමින් 
තවමත්.. 
එදා සෙනෙහසින් 
රැදි දෑස්..
තනිනොකර වමතින්..!

යැපෙන දිවිමත
තවත් එක් දවසක්ව
ඒ සීත
නොසලකා
පරවියන්
ඔහු වටා රොක්ව..

කුසගිනි නිවන 
පාන්..
කැබලි ගෙන
සිනාවත පුරවගෙන
ඔහුත් ඇයත්
පවුල් ගණනක
කුසගිනි
පිරිමසන...

ඇය 
ආදරබරව.. 
ඝණ රෙදි දවටමින්
ගෙල වට..
වයසට 
ඔච්චම් කරන
සීතලෙන් 
ඔහුව 
සුරකින..

කිරි සුවඳ..
පාට
කොණ්ඩයෙන් 
සඟවගෙන
එහා මෙහා 
යකඩ කටු ගිලුණු
ඉරුණ ඩෙනිමෙන්
උස් පාවහන්
මතින්...

ආඩම්බර
රතු රෝස මල් 
දැක
තවමත්
තරුණ..!
නෙත් සතරකින්
අහිංසකව
සිනාවිය..
උතුම් වූ හදවතින්..!
සැබෑ
ආදරය දරාගෙන..!

නිමිත්ත- හිම සීතලෙන් වැසුන පෙබ.14 දින බස්නැවතුම් පලේ බරාදයට වී දුරගමනකට පෙරාතුව මහළු දෙමහල්ලන් කුසගිනි නිවන්නට තිබුණ පාන්කැබලි ඔවුන් වටා රොක්වෙන පරවියන් වෙනුවෙන් සතුටින් දැමීමූහ.. ඒ ඉදිරිපිටින්, ආදරවන්තයන්තයගෙන්/ආදරවන්තියගෙන් ලැබූ තෑගි, රෝස මල්ගෙන උජාරුවෙන් එහා මෙහා යන තරුණ ජීවිත දැක 
ඒ දිහා බලාසිටි මට මෙසේ සිත්විය..
සැබෑ
ආදරය නම් මෙයැයි..!

14 February 2013

රෑ දුරු රට රැඳි තනිකම..

 ඈත කඳු එහා මෙහා නොපෙනෙන මීදුමකින් වැහෙන්න පටන් අරන්...  ඇඟිලි තුඩු තව තවත් සීතලෙන් රිදුම්දෙද්දී..උණුහුමෙන් ගුලිවෙන්න ස්විටරයෙ තුරුල සොයායමින්.. මනාලියකගේ වේලයෙන් ඉහිරෙන මුතු පොකුරක් හුළඟින් එහාට මෙහාට නළවන, පහළින් ඇති පහන්කනුවෙ එළිය වැටී දිලිසෙන හිම වරුසාවන් මවන දසුන් තුන්වෙනි මහලේ සිටින මගෙ හිතට කියාගන්න බැරිවුණ අමුතුම හැඟීමක් එකතුකරයි.. කොයිතරම් හිත මිතු මිතුරියන් සිටියත්, තාක්ෂණය කොයිතරම් දියුණු වුණත්.. මේ  වෙලාවට ලැපයේ තිරයත් මා දිහා බලා සිටින්නේ කොයිතරම් පාලුවකින්ද.. වෙලාවකට එකම මි‍තුරෙක්වත් පේන්න ඉන්න නැතිකොට.. ඒ හැමදෙයක්ම ඉනද්‍රජායකින් නොපෙනී ගොස් ඇතැයි සිතෙනවා..

හිත වෙනදටත් වඩා හීතලෙන් හිරි‍වැටෙන්නෙ සෘණාංකය වැඩි නිසාම නෙමෙයි. අවුරුදු ගණනක තනිකම ඉවසුවත් තමාවෙනුවෙන් තව කෙනෙක් ඉන්නබව දැන දැනත් ඒ ආදරයේ ළඟ නැති අඩුපාඩුවේ හිඩසටයි මේ.. වෙලාවකට හදවතේ ගැඹුරටම පැන ඒ තනිකම හිත රිද්දන්න වැඩි වෙලා නොයන බව ඔබටත් අත්දැකීම් ඇති. රටින් දුර බැහැර ඉන්නා ප්‍රියයන්ගෙන් ඈත්ව සිටින්නට වන්නා වූ කාලය සෑම විටම ඒ ආදරය නැති අඩුපාඩුවම මහා තනිකමක් සේ දැනෙන වග මා මෙන්නම ඔබත් විටෙක අත්දැකීම් මත පිළිගන්නවා ඇත.

එතෙක් මෙතෙක් පරතෙරක් වන් වූ බවක් කිව නොහැකි සාගර ගැඹුර තෙක් දිවෙන සිතිවිලි කල්පනාවන්, විටෙක විහඟුන් සේ සිත් අහසින් ආවරණය වන්නාවූ ක්ෂිතජ නිම්නය තුල දෙපියාපත් විදා සැරිසරති. සැහැල්ලුවෙන්ද.. තවත් විටෙක රංචු වශයෙන්ද බොහෝමයක් විට දෙමලිච්චන්ගේ කිචි බිචියෙන්ද එකින් එක පරයමින් ගොස්.. මේ හැමටම සිතිවිල්ලක් ව මනැස නිරතුරු අයැදින පිළිලක් වන්ව නිතැතින් සිත් මඬල මධ්‍යට ගොඩවදින ඒ අතීතය.. ඈල වැල් පාලමක පැද්දෙන රිද්මයෙන් හදවතට සමීපකරන්, මේ සීත රෑ නිදිවර්ජිතව යහනේ තබන්නේ නිතැතිනි. බොහෝ වෙහෙසකර දවසේ නිමාව, විටෙක රිදුම් දෙන මස්පිඬු අතරට වඩා තනිකමෙන් මිරිකෙන හදවත දරුණුය.. 

එහෙත්.. ගතකල සුන්දර අතීතය මත තව තවත් අනාවක බලාපොරොත්තු මූදු සතක දුර සිට නැවත නැවතත් දළුලමින්.. මතක ලුහු බඳීයි. ආදරණීය වදන්.., උණුසුම් චුම්බනයන්, හදවතින්ම දකින්න මඟ බලන විටෙක ළඟ මෙන් ඇසෙන මනසේ රැඳි ඒ හිනාවන්.., නොනිදි සිත් යහන මත රහසේම විටෙක උණු කඳුළු සගවති. අතීතයත් වර්තමාණයත් අනාවකත් අතර දෝලනය වන්නා වූ පරතෙරක නොනිමි කල්පනා දුරස්වූ පෙම්වතුනට උරුමවූවකි.

එකිනෙකාට තුරුළුව පියැඹූ, උණුහුම විදි විහඟ පෙම් යුවලගේ සිහින සොයා  සිහින තොටුපලින් පෙම් රැහැනින් දුරස් වීමේ අවසාන දසුන නිතර මතකයෙ මැවෙයි. සිහින සොයා ගුවන්තොටුපලින් දුර රට ඉගිලෙන පෙම්වතුන්ගේ  භාෂාවට රචයකා විසින් මෙමෙ යෙදුම කෙතරම් ලබැඳි කොට ඇද්ද.... 
ඒ... සිහින එකතු කරන සහ ආදරය කෙටිකලකට වුව වෙන්කරන තොටුපල "සිහින තොටුපලයි."

රෑ දුරු රට මේ..
හිම වරුසා.. සීත පාලුවේ…
මූදු සතකින් ඈත දේසේ
මා තනිවේ..
කල්පනා ලෝ පෙම් දැහැනේ
ක්ෂිතිජ නිම්නයේ
රෑ තනි යහනේ…
දෑත වෙන්වී පෙම් විහඟුන්
සිහින තොටුපලේ
රාත්‍රි යාමේ..
රෑ දුරු රට මේ..


සීත පාළු රැයකදි කෙතරම් වෙහෙසව සිටියත් කන්දෙකින් කාන්දුව හදවතේ කල්පනාවන් බැඳ තබාගන්නා පණ්ඩිත් අමරදේවයන් තරම් ගීතයක භාව ප්‍රකාශය කළ හැකි ගායකයෙක් නොමැති තරම්. මේ ගීතයේදී පද පෙළට සහ ගීතයේ අරුතට ගැලපෙන්නට අමරදේවයන්ගේ හඬ තුල මහා තනිකමක්, දැනෙන පාළුවේ ගැඹුරත් කියාපායි. ආදරය, දුරස්බව සහ තනිකම එකට යාකොට සැදි සරල පබැඳු‍ම් කිහිපයකින් ඉතාම සංවේදී පණිවුඩයක් හදවත පත්ලටම දෙන්නට අජන්තා රණසිංහයන් සමත් වී ඇත. දුක සහ තනිකමට වඩාත් සමීප සංගීත භාණ්ඩයන් වන බටනලාව සහ සිතාරය මනාව යොදාගැනුමෙන් සරත් දසනායකයන්ගේ සංගීත නිර්මාණය ගීතයේ අරුත තව තවත් ඔපදමන්නට සමත්වී ඇත.

දුරු රටක තනිකමක් වූ සීතල පාළුවෙන් බැඳි ඒ ආදරණීය මතකයන්.. යළි යළිත් ආවර්ජනය කරනු වස් නිදි නොමැති විටෙක අන්තර්ජාලයද ආදරයට බකට් බාල්දි අඳින කල.. පෙර කිසි කලක හිත නොනැවතුණ මේ ගීතය එවූ.. මා මේ ගීතය තුලින් දකින දයාබර නුඹ නමට..
මේ පිදුම.

08 February 2013

අසංතෘප්ත වටිනාකම

කවියාට, සංගීතඥයාට 
කලාකරුවට..
ජීවිතයේ රස ඔවුන් සිතූ සේ 
නොලැබෙනකල්
සොයයි එය..
එයින්ද නොනැවත
තබායන්නට සලකුණක් 
දිවි පුරාවට
අසංතෘප්තව
හිමිකරගැනුමට 
තමාට පමණක්ම..
එහෙත්
බොහෝ සියුම්
හසරැල්ලක් වුවද 
සුළඟින් කිතිකැවෙන
හදවතින්
 අරුත් පබැඳුම්
ජීවිතය පුරා
ලියැවෙන..
වටිනවා බොහෝ..
දුහුවිලි
ස්පර්ෂවන එහෙත් 
නොදැනෙන
කෘතිම 
මිනිසුන්ට 
වඩා...
ඒ 
රස නහර ඇත්තන්..!

02 February 2013

වියැලුන කොළ..

එහා මෙහා යනෙන මිනිසුන් වාහන අතර මැදිව ඉදිවුණ උස ගොඩනැගිල්ලෙ කවුළුවෙන් මං පහල බලාගෙන හිටියා. ඒ ශබ්ද කන් දෙකින් රිංගල ආයෙත් වා තලයට මුහු වුණත්.. හිස් බවත්, තනිකමත් මාව තනි‍නොකරන්න කතිකා කරගෙන. 

මට යම් දෙයක් මඟ හැරුණා.

මොකද්ද..? අවුරුදු ගණනක ඉඳන්.. මම තවම හොයනවා.  මේ පාළු, මකුළුවන්ගෙන් වවුලන්ගෙන් , මීයන්ගෙන් පිරුණ ලැගුම් හලක පාවෙමින්.. මං ඒ ගැන හිත හිත ගෙවුණ කාලය ගැන මට නිනව්වක් නැහැ. ඒත්.. යම් දෙයක් ඇවිත් ආපසු යනවා..

ගීතයක්, ස්ථානයක්..? පොතක්.. පොරොන්දුවක්..!

ඔව් පොරොන්දුවක්..!

ඒත්.. කාටද..? කොහෙදිද..? කවදද..? 

මං උත්සහ කලා.. මේ යනෙන අය අතර මතක් කරන්න.. ඒත් මගෙ කට හඬ ඒ අයට අහන්න උවමනාවක් නැති හැටි..! උදේ ඉඳන් කඬියො කෑවා වගේ මුමුණ මුමුණ ගිහින් රෑට හතර පයිනුත් යන උන්..! මං වගේම තව අය හිටියත් අපි අතරට තව අය එකතුවුණත් එයාලත් එයාලගෙ කල්පනාවෙ.

"එලිසබෙත්..! එලිසබෙත්..!"

ග්‍රීස්මයේ වියලුණ ගස්වල අන්තිම කොළයත් හැලෙන්නට කලියෙන්ම දුවගෙන ආව ඒ සීත හුළගෙ තැවරිලා තිබුණෙ ඈතින් හුරු පුරුදු කට හඬක්..! ඒත් වියළිව.. අපහැදිලිව..! මං ඒ හුළං පොදට ඉවකලා. මේ රාත්‍රියෙ තිබුණෙ හරි අමුත්තක්.. කියාගන්න බැරි, පහදගන්න බැරි. ඒත් කවදදෝ හුරු පුරුදු සුවඳක්..! මං ඒ දිගේ දිගටම ගියා.. 

මේකප් දැම්මත් වටවෙලා හිටිය හුරු පුරුදු මුහුණවල් අතරෙ මං දැක්කෙ දුකක්ද සතුටක්ද..? මට හැඟීම් නැතිවෙලා..ද.. නැතිනම් ඒ මූණුවල තිබුණෙ සතුටක් ද..? මං ඇතුළු වුණේ කවුළුවෙන්.. රෝහලකට..!කවුදෝ ඇඳක දිගාවෙලා මගෙ නම මුමුණනවා..  මං ඇඳ ළඟට ගිහින් එඹිලා බලද්දි ඔහු මා දිහා බලාගෙන අමාරුවෙන් හිනාවුණා..! 

"මගෙ එළිසබෙත්..!"

"ඔයා ආව එහෙනම්.. ඔය වගේ දිලිසෙන්නෙ.. ඔයා කොහොමද ඔච්චර සුදු වුණේ..! මට පේනවා.. ඔයා මං එනකල් බලාගෙන ඉන්නවා.. සුදුම සුදු පාට එළියකින්.. මතකද කිව්වා ඔයා එනකල් බලාගෙන ඉන්නවා කියලා.. ඔයා මාව දාලා යද්දි.. මං එනකල් යන්න එපා කියලා.. ඇයි මං ළඟට එන්න මේ තරම් පරක්කු වුණේ එළිසබෙත්..! එහෙනම් ඔයා පොරොන්දුව ඉටුකලා..!"

21 January 2013

රකුසන් පුද දී මිනිසුන් සැනසෙනවා..



2012 අවසානවුණේ මේ විශ්වයේ යම් යම් වෙනස්වීම් තොගයක් කරලා කියලා අමුතුවෙන් පිළිගන්න , මතක්කරන්න දෙයක් නැහැ. පිළිගත්තත් නැතත් මනුෂ්‍යයින්ගෙ සිතුම් පැතුම්, මේ ස්වභාව දහම නරක අතටම ව්‍යපර්ය්‍යාසයන්ට යටවෙලා ඉවරයි. එකම මුට්ටියේ බත් බාගයක් ඉදෙද්දි අනිත් අත අමුවෙන වර්තමාණය ගැන බොහෝදෙනා අනාවැකි කිව්වෙ අද ඊයෙක නෙමෙයි. කළු කපුටොත් සුදුවෙලා ඉන්න කාලෙ මෑත භාගයේ පහල වුණ තමා බුදුවරුන් යැයි කියාගන්නා අයගෙ පෙලහර අපි ඇස් පනාපිට දැක්කත් ඇස් කන් වහන් ඉන්න අය ඒ ‍දිහාවට ඇදෙන හැටි පුදුමයෙන් බලාගෙන ඉන්න අපිට සිද්ධවුණා. රටක වගකීමක් දරන්නට අවශ්‍යය මාධ්‍යක් වුණත් ඒවෙනුවෙන් නිහඬපිළිවෙත් රකිද්දි එයට එරෙහිවෙන්න අපේ ශක්තිය මුදල් වලින් යටවුණාද..? 

කාලෙක ඉදන් ලියන්න හිතාගෙන හිටියත් ජාතිවාදයත් ආගම් වාදයත් සැරටම නැගලා ගිය පහුගිය ටිකේ මේ ගැන නොලියා හිටි එක හොඳයි කියලා හිතුණත් අද කවියක් කතාවක් ලියලා අත්දෙක බැඳගෙන ඉන්න හිත දුන්නෙ නැහැ. ලියන්නෙ අවංකවම හිත කලකිරීමෙන්. ජාති වාදයක්වත් ආගම්වාදයක් නිසානම් නෙමෙයි..! මිනිස්සු මේ තරම් පිරිහෙන්න ග්‍රහයො මාරුවුණේ කතාවෙලාවද, සාම ගිවිසුමක් ගහලවද අද ඊයෙක නම් නෙමෙයි. තමාගෙම කිරිකැටියා දෙමාපියන්ගෙම අත්වලින් අවසන් හුස්ම හෙලද්දි, ආදරයෙන් බැ‍ඳෙන පවුල්-පන්සල් ප්‍රේතයො යක්ෂණියො වෙලා දඟලද්දි, තාක්ෂණයෙ දියුණුවත් එක්ක අපිට අපිවම අමතකවෙද්දි.. ලෝකෙ විනාසෙ කිය කිය ස්වභාව ධර්මය විනාශවෙනකල් කට ඇරගෙන බලාගෙන හිටිය අයට අමතක වුණා, තමාගෙ හිත පිරිහීමෙන් මේ ලෝකෙ විනාශය වෙලා ඉවරයි කියලා. 

මනුස්සයෙක්ගෙ හිත සුවපත් කරන්න, මනුවර්ගයට යහමග පෙන්වන්න එදා යම් කිසි ධර්මයක්, ආගමක් නියෝජකයන් ‍ඒ කටයුත්ත ඒ යුතුකම හරි හැටි ඉෂ්ථ නොකරන්න අද අපිට ශ්‍රී ලංකාව කියලා ඉතිරිවෙන්න ගියේ මනුස්සකමින් කෘෂව ගිය කාන්තරයක්. ඔවුන් දේශපාලනය කලේ නැහැ ඒ තත්වය රැක ගන්න. මුදල් හම්බකලේ නැහැ මඩි ගහගන්න. දානයකට වඩිද්දි මට ඕනා ඩෙසට් එකට මේවා මේවා ඕනෙ කිව්වෙ නැහැ. රට ජාතිය ආගම වෙනුවෙන් හැම පන්සලකම හැම දේවස්ථානයකම අත්වැල් බැඳගත්තා. පන්සලින් පූජකතුමන්ලත් දේවස්ථානයෙන් හාමුදුරුවරුත් බිහිවුණ සමාජයක් අපිට තිබුණා. ඇත්ත බෞද්ධ රටට විවිධ බලපෑම් එල්ලවුණා. හින්දු ආගම ආවා. එයින් කොටසක් ජීවත් වුණා. දෙමළ අය ආවා. ඒත් ඔවුන් හැමදෙනාටම එක අරමුණක් තිබුණා. ඒ මේ මං මියැදෙන රට කියලා. ඒ ඉස්සර. ඒත් දැන් එකිනෙක්කෙනා තලාගෙන තමා අනිත් කෙනාට වඩා උසස් බව කියාගන්න තියෙන තරඟයෙන් අන්තිමට උරුම වෙන්නෙ කාටද මොනවද..? 

ශ්‍රී ලාංකිකයන් බොහෝදෙනෙක් අද වෙද්දි ජීවත් වෙන්නෙ වෙනත් රටවල. විදේශ ශ්‍රමිකයන් නමින්.  ඉස්සර පවුල් රුකක් ගත්තම එතනින් විදේශ ගතව තිබුණෙ ඉතාමත් අඩු පිරිසක්. වර්තමාණෙ ඒ තත්වෙ වෙනස්. ‍රට නොගිය පවුලක කෙනෙක් හොයාගන්න අපහසු තරම්. ඉතින් ඔවුන් වෙනුවෙන් ධර්මය ප්‍රචාරය කරන්න ඒවෙනුවෙන් ඇපකැප වෙන්න මේ වෙනත් රටවලට යන පූජ්‍ය පක්ෂය ගැන දැන් දැන් අහන්න දකින්න ලැබෙන්නෙ කලකිරෙන දේවල්. ඉතාලියෙ මිලානෝ නඟරයේ පන්සල් 3 නම් ජනතාව හදුන්වන්නෙ වෛරාරාමය, දූෂ්‍යාරාමය සහ ක්‍රෝධාරාමය විදිහට.අනෙක් පන්සල් වල හාමුදුරුවන් විරසකයි. ඔවුන් වඩින පිංකමකට දානකයක අනිත් අය වඩින්නෙ නැහැ. අද වෙද්දි බණ දේශනාව දෙන්නෙ එන පවුල් 10කවත් ප්‍රශ්න ටාගට් කරගෙන. ඒ කියන බණ අහලා හාමුදුරුවන්ට දුක කියාගෙන එනකොට ඒ කෙනාව යටත් කරගන්න ඔවුන්ට පුළුවන්. විශේෂයෙන් පිරිමිකෙනා වරදෙහි බැඳිලනම් ඒක තවත් ලේසියි. ළඟට ලංකරන් ඔහුව යහපතට ගන්නවා වෙනුවට.. "ඕවා මහත්තයෝ නෝනට නොදැනෙන්න කරන්න තිබ්බනෙ" කියන තරමටම ඔවුන් ධාන්‍යට සම වැදිලා. දුක කියන්න දුක අහන්න කවුරුත් නැතිවෙනකොට වඳින්න යන දේවාලෙම ඉහේ කඩාගෙන වැටිලා උදව් ඉල්ලා කෑ ගහද්දි තවත් ඒමතටම බර දාන්න එයාලා හරි කැමති. බරපතල අසනීපයක් වුණත් රෝහලකට ඇවිත් සුවදුක් අහනවාවෙනුවට මාසෙකට ආධාර අර කරදරේ වැටුණ අයගෙන් ඉල්ලන්න තරම් අද පූජ්‍යය පක්ෂයට හිතක් ලැබුණෙ කොහොමද කියලා අහන්න දෙවියොත් පඬුපුල් ආසනේ මහපොළවට විසික්කරලා පාර්ලිමේන්තුවෙන් ආසනයක් වෙන්කරන්ද කියලත් සැකයි. කොයිතරම් විලාප ඇහුනත් නෑසුන ගාණට ඉන්න.

 අද අහන්න දකින්න ලැබෙන්න එදා ගරුකමින් රැකගත් චීවර විකුණන බොහෝ ගරු පක්ෂපාතව කතා කරන්න බැරි පිරිසක්. යාචකයන්ට චීවරය අන්දවලා පාරක් පාරක්ගානෙ අහවල් පන්සලේ හාමුදුරුවො දැන් අසාධ්‍යයි කියලා සල්ලි එකතුකරන තරමටම එදා තොටගමුවෙ රාහුල හිමියන් හිටිය බෞද්ධ දේශය අද මේ තත්වයට වැටෙන්න හේතුවුණේ කාගෙ අනුහසින්ද කියන්න තේරුම් ගන්න අමාරු වුණත් රටක නීතිය සදාචාරය මරල හැංගුව හංගලා මැරුවද කියල දන්නෙ ඒ වගකීම් දරණ "උත්තමයන්" ම තමයි. අද වෙද්දි රට ඇතුලෙ විතරක් නෙමෙයි රටින් පිටත් අණවිණ කොඩිවිණ කරන්න සිංහලයො පෙළඹිලා. ඒ තවත් කෙනෙක්ගෙ දියුණුව දරාගෙන ඉන්න බැරිව.  හාමුදුරුවො පූජ්‍යපක්ෂෙ අය මෙහෙම කරද්දි අද ඉතාලියෙ බෞද්ධයන් පන්සලක පිංකමකට, සහබාගිත්වය ‍විතරක් නෙමෙයි පන්සලක්වත් පෙන්වන්න පවා බැරි මට්ටමකට ඇවිත්. 

පහළවුණ බුදුවරුයැයි කියාගන්නා අය වෙනුවට දැන් දැන් සුජාතා මෑණිවරුනුත් පහලවෙන්න අරන්. මේ කියන්නෙ අර රටේ වෙන දේවල් වහන්න ඔළුව කන්න පෙන්වන මෙගා ඩෙගා නාට්‍යවලින් ඔළුව පුරවගෙන ඒ දිහා කන්න නැතත් බලාගෙන ඉන්න අය මනසින් දුර්වලව උජාරුවෙනවා කියන එක. ඔය පහල වුණායැයි කියාගන්න හාමුදුරු කෙනෙක් ලස්සන ගෑණු ළමයෙක්ට කියලා තියෙනවනෙ "ඔයා මෙහෙ ඉපදෙන්න ඕන කෙනෙක් නෙමෙයි. බුදුහාමුදුරුවන්ගෙ කාලෙ හිටිය කෙනෙක්ය ඔයා. දිව්‍ය අප්සරාවක්" ය කියලා. අනේ ඉතින් ඒ දැරිවි දැන් ස්කයිප් හරහා ධර්මය දේශනා කරනවා. පිටරට ඇත්තියන්ට. වෙනත් රටවලට ඉන්න තම නෑදෑ හිතමිතුරන්ටත් ඒ මඟට යොමුකරගන්න උත්සහා ගන්නවා. කරදරයකට මුහුණ දුන්නාම ඔවුන් අල්ලගන්න දුර්වලම තැන එතැන. පවුල් ප්‍රශ්න අතර ‍දෝලනය වෙද්දි හිතේ තියෙන දුක් ඔවුන්ට සුවකරන්න හරි රුසියො ඔවුන්. බලාගෙන..! මුදල් වලින් ඔබගෙ ප්‍රශ්න විසඳාවි ඒත් මුළු ජීවිත කාලෙ විතරක් නෙමෙයි තව පරම්පරා ගාණක් යනකනුත් ඒ වරද ඔබ පසු පස ඒවි. රටේ ධර්මය පි‍රිහෙද්දි මූලධර්මවාදීන්ට නැගිටින්න හොඳ තෝතැන්නක්. එකක කියයි බෙහෙත් බොන්න බෑ ලෙඩකට කියලා. තව කියයි රුධිරපාරවිලනය (ලේ දීම) තහනම් කියලා. මනුස්සයො පරිනාමය වෙලා ඒ දේවල් මිනිස් මො‍ළයෙන් හොයාගත්තෙ තව ජීවත් වෙන්න මිසක මැරෙන්න නෙමෙයි. 

අපි මහලොකුවට අපි ලංකාවෙ කිව්වට විදේශරටකට ගිහින් අපේ රටේ සියයට ගණනක් ඉන්නෙ බෞද්ධයන් කිව්වට ඒ ගිහියන් කරන වැඩ අහන්න දකින්න ලැබෙනකොට.. ලෞකික ජීවිතයෙ එක අතකුයි ගිහි ජීවිතයෙ තව අතකුයි තියාගෙන ඒ ගෙවන ජීවිතයට දෙන නම මොකද්ද. දුකයි පිරිත් පැන් උතුරන්න ගාථාවක් කියාගන්න බැරිව රීමේක් කරලා හරි, ට්‍රැක් පැන පැන වටාපතේ පිටිපස්සෙ ලියාගෙන ඇවිත් දේශනාව දෙනකොට. මොළගෙඩි කල්පනාකලොත් පහුගියටිකේ විවිධ ආගම්වලට බැන්නට අපි අපිටමයි මඩුවල්ගෙන් තලාගන්න ඕනෙ කියලා තේරේවි. කොටියා කොටියමයි වගේම.. සර්පයා සර්පයමයි. ඒකා කිරිබිව්වත්.. කැලේ මාරුවුණාට පුල්ලි එහෙම්මමයි. උන්ව ගෙනල්ලා කිරිපොව්වත් ඒකා මැරිලා ඉපදුනේ නෑනෙ. සෝවාන් ඵල නෙලුව මාර්ගඵල ලබාගත්ත කිසිම තැනැත්තෙක් උඩ පනින්නෙ නෑ මට මේක කරන්න පුළුවන් අරක කරන්න පුළුවන්කියලා. ඒ අය කවදාවත් වාසි ප්‍රයෝජන මත ඒ දේවල් ප්‍රදර්ශණය කරන්නෙ නැහැ. ප්‍රසිද්ධ ජීවිත ගත කරන්නෙ නැහැ. උඩපැන්න අය කලේ මොකද්ද කියලා රටේ ලෝකෙ සිද්ධවෙන දේවල් ගැන ඇහැ කන තියාගෙන ඉන්න අයට අරුමයක් නෙමෙයි. සල්ලිවලින් අන්ධවුණ, ලෝක සැප වීණා නාදවලින් බිහිරිවුණ අලින් ෆේස්බුක් ස්කයිප් මාර්ගයෙන් දැන් විවිධ ආගම් , ධර්ම ප්‍රචාරණය ‍ජයටම යනවා. මූලධර්මවාදීන් වෙනත් ජාතිකයන් දැන සිංහල ඉගෙන ගෙන ගෙදරින් ගෙදරට ගිහින් අපේ අයව ඇදගන්නවා. නිකන් නෙමෙයි මුදල් වලින් , ප්‍රශ්න වලට විසඳුම් වලින්. අද ළමයි වෙනත් ආගමක දෙමව්පියො තවත් ධර්මයක.

මනුස්සයො කොයිතරම් මායාවෙන්, අන්ධ කරලද කියන්න වර්තමාණයෙ සංගණනය කරන්න බැහැ. තමාට නොතේරෙන්න බුද්ධියෙන් නොපෙනෙන්න තරමටම ඔවුන් ඔබවත් මාවත් යොදාගනිවී.. තමන් අදහන ආගම , ධර්මය හරියට අදහන්න. විශ්වාසයෙන්.. මඩේ හිටෙව්ව ඉන්නවක් වගේ එහාට මෙහාට නොවැනෙන විදිහට. මේ තරඟකාරී විඩාබර අර්ථිකය එක්ක දුවන මේ ගමන ඔබට බොහෝදේ මඟ හැරේවි. පවුල.. ඒ වටිනාම ඒකකය රැකගන්න.. ‍දරුවන් එක්ක එක වේලක් හරි එකට ඉඳගෙන කෑම කන්න. තමාට තියෙන එක ප්‍රශ්නයක් හරි දෙමාපියන් එක්ක බෙදාගන්න.. නැතිනම් ඉස්සරහට අම්මා තාත්තා අඳුරන්නෙ නැති සමාජයක් අපිට ඉතිරිවෙලා ඒකටත් ඇඟිල්ල දික්කරන්න තවත් කෙනෙක්ට. 


පරිස්සම් වෙන්න ඔබව යහමඟට ගන්නත් අයහපතින් රවටන්නත් යොමුකරන්නත් චීවරයට, ලෝගුවට පුළුවන්. ඉස්සර අපිට කියන්න වුණේ සුළු පිරිසක් විතරයි මේ දේවල් කරන්නෙ කියලා. ඒත් අද වෙද්දි කියන්න සිද්ධවෙලා සියයට දශම ගණනක් හැර පූජ්‍ය පක්ෂයේ අය මේ විදිහ බව. විශ්වාස කරන්න තමාව හෘදසාක්ෂිය..! ඔය පොරවන් ඉන්න, ඇඟලාගෙන ඉන්න බැටළු හම්වල යට වෙලා දිව්‍යලෝක පෙන්වන්න ඉන්න රකුසන්ට වඩා ඔබ දිව්‍යලෝකය, ස්වර්ගය දකීවි මේ ලොව තුලම..! 

සයුරේ පැන්තොට සොයමින් වැලපෙනවා
කතරේ කෙම්බිම දකිමින් රැවටෙනවා..
දිලිසෙන දියරැළි මාලා
නෙත පුරවානෙක මායා
මිනිසුන් සැමදා සිහිනෙක සැතපෙනවා..

ගමනේ මං පෙත දවසක නිමවෙනවා
ලද දේ කල කී දේ හිත හඬවනවා..
නිවැරදි හැම සඟවාලා 
වරදට මල්දම් දාලා
රකුසන් පුද දී මිනිසුන් සැනසෙනවා..

රන් හිරුමඬලින් සිහිලස අයදිනවා
පුන්සඳ පහනෙන් උණුසුම අයදිනවා
ලෝකය බිහිවූදා සිට අරුමෙකි මිනිසා
ගිරිහිස ඉඳුවර සොයමින් ලතැවෙනවා..

ගායනය-එඩ්වර්ඩ් ජයකොඩි
පබැදුම-බන්දුල නානයක්කාරවසම්
තනු- රෝහණ වීරසිංහ