19 April 2012

ගෙවුණු අවුරුදු පරව ගිලිහුණු

මූණ පිහින කඩදහියකට ගුලිවෙලා මූණට දැනුන සීතල වතුර පොද ඉක්මනටම පිහදගන්න වලංගු නැති අත පයෙන් මම පොර බැදුවෙ ඒ සීතල දරාගන්න බැරි ව හදවත බදාගෙන ඇතුලටම කිදාබැස්ස නිසා..  

"පොඩ්ඩක් ඉන්නවා ඕයි.. තමුසෙ හිතුවද මෙතන අපිට වෙන වැඩ නැහැයි කියලා.."


හිතක , හඬක තෙතමනයක් නැති කටහඬ මගෙ කන් හිල්වෙන්න වචන වලින් තවත් හදවතටම වද දුන්නා.. වචන වලින් විතරක් නෙමෙයි.. දැනුන කම්මුල් පහරින් මං මගේ උත්සහය අතහැරියා... හැම උදේම රාජකාරිය කාලයත් එක්ක පෙරලි කරන "සල්ලි විතරයි" කියලා හිතන අය   අතර ගෙවන ජීවිතයෙ මේ හීතල පුරුදුවෙන්න මං තවම උත්සහ කරනවා.. කරාමයෙන් එන සීතල වතුර වෙලාවක මේ සීත රටේ මුළු ඇගම හිරිවැටෙනවා.. එහෙමත් කෙනෙක් තමයි පහසුවට හදලා තියෙන උණුවතුරෙන් මූණට වතුර පොදක් ඉහින්නෙ..

හැමදාමත් වගේ.. 
උදෑසන නැගිටුවන මේ හරඹ අතර සිතුවිලිවලින් අතරමං වුණ මාව මගෙ දෑස් බිත්තිය දිහාවට අරන්ගියේ හුරු පුරුදු තැනැත්තෙක් දකිනවා වගේ.. 
සිත්තරෙකු තෙලිතුඩගින් සියුම්ව වර්ණවත් වුණ රතු පාටට හුරු තඹ රන් අහසත් තද කොළ පැහැයෙන් පටන් සියුම් මිහිදුමකින් වැසීගත් පොළවත් මැදින් කාගෙවත් අවසරයක් නොගෙන ගිනියම්ව එහෙත් ඇස්වලට වෙහෙසක් නැතිව නිමුණ ගිනි බෝලය දිහා මං බලාගෙන හිටියෙ උදා සිහිල පිනි මතින් විදිමින්.. අළුත් දවසක මං සලකුණු අරගෙනම තාලෙට මාත්‍රා අල්ලන කුරුළු කිචිබිචියෙ හඬ තව තවත් ප්‍රාණවත් වෙමින් අල්ලාප සල්ලාපයේ යෙදුනෙ ඒ දිහාවට මම කන් යොමාගෙන හිටිය බවක් දැනගෙනම  වගේ.. යාන්තමින් බොදව දිගහැරුණ මගේ ඇහිපියන් හෙමින් හෙමින් මගෙ වටපිටාව දිහාවට මාව යොමුකරන්න ගත්තා... මං ඇවිදගෙන ආවෙ පීච් ගස් පෙළක් පාර දෙපැත්තෙම හෙවනකට වැවලා තියෙන තරමක් පටු පාරක් දිගේ.. ලා පාට දළු අතරින් පාර දෙපැත්තෙම පීච් මල් පිපිලා.. පුංචි කුරුළු පැටව් ඒ අතු පතර උඩ පැනගෙන එක සීරුවට හැංගිමුත්තන් කරනවා.. මං ඒ බංකුවක් උඩට වෙලා බලාගෙන හිටියා.. කවුදෝ මන්දා මං එනකල් බලන් ඉඳලා වගේ.. 

මං ස්විටරයට තවත් ගුලි වුණා.. හීතල නොදැනෙන්න.. ඒත් ඒ ඇස්වල උණුහුමට ලංවුණා.. ජීවිතේ උණුහුමක් ලබන්න.. කොයිතරම් නම් ඇසූ දුටු සාක්ෂි තිබුණත් අපේ ජීවිත වල යමක් සිදුවෙන්න තියෙනවනම් අපි නොහිතන විදිහට ඒ දේවල් සිද්ධවෙනවා.. හීන මැව්ව ලස්සන ජීවිත වලින් කී දෙනාගෙද අද ලස්සනට තියෙන්නෙ.. ඒ උණුහුම ‍දරාගන්න බැරි කටුක සීතලකට පෙරලලා ඔහු යන්න ගියේ ආයෙ කවදාවත් නොඑන ගමනක්..

කාලය ගෙවුණා... 
බොහෝදේවල් මතින් ඉතිරි වුණ ප්‍රථිපලත් එක්කම... පුංචි මල් පෙති හුළඟත් එක්ක අංශක 360°ට කැරකිලා බිමට වැටෙනවා බලන් ඉන්න ආස කල ඒ ගහයට... මං ආයෙත් ආවා... තනියෙන් නෙමෙයි... පුංචි අතක සිනිඳු ඇගිලි තුඩු අල්ලගෙන... ඒ අතින් අල්ලගෙන මේ ගහ යටට ඇවිත් මේ බංකුවේ වාඩිවෙලා වැලලුණ අතීතයත් එක්ක චෙරි මල් පෙති රෝස පාටින් හුළගට පෙරලෙද්දි ඒ මතින් සිත්තම් අදින්නට මගෙ හිත පොරකනවා.. හරියට අහසින් බිමට වැටුන සිහින මාළිගා වගේ.. ඒත් ශේෂ වුණ නටබුන් ඒ නටඹුන් පිළිසකර කරන්න මට අඩියෙන් අඩිය ශක්තිමත් පාදම් බදින්න මගෙ හදවත දැනෙන වේදනාවන් තුනීකරන්න අතේ අඟිලි අතර මිරිකගන්න වුණා..

ඒ වෙලාවට මං ඈතක අතරමං වෙද්දි ඒ පුංචි අත්දෙකෙන් මගෙ ඇස් වහන්නෙ හරියට ඒ ලෝකය මං එයාගෙන් හංගගන්නවා වගෙයි.. 

"කොයි..?"
අත්ල මත හැංගෙන පුංචි ගල්කැටයක් හොයන්න දෑත් දිගු කරන්නෙ හුරතලයෙන්.. ඒ කටහඬ මාව නැවතත් මේ ලෝකෙට ගෙනත් දානවා..
මං හෙමින් සැරේ සිනිඳු අත්ල අල්ල‍ගන්නෙ ආදරයෙන්..

ඊ ළඟ වාරේ එයාගෙ.. 

වගකීම් වැඩිවෙද්දි හුළඟත් එක්ක හිනාවුණ ඇයගෙ  ජීවිතය මගෙන් ඈතට ගියේ හරියට මේ පීච් මල් වගේ..යන්නෙ කොහෙදවත් නිනව්වක් නැතිව බදන බදන හුළං රොදට තල්ලුවෙන මල්පෙති වෙලාවකට දෙපා යට පෑගෙද්දි දැනුනෙ දුකක්... ඇයට මාව ටිකෙන් ටික වදයක් වෙන්න පටන් අරන් තිබුණා.. වයසත් එක්ක මගේ දේවල් අමතකවෙන තත්වයක් දැනුනා.. තද නිල් අහසෙ අඩ සඳත් වළාකුලකින් සැඟව ඉකිබිදිද්දි ගෙදරින් මහළු නිවසකට බාරකලේ ලොකු මුදලකුත් ගෙවලා..  නිතර නො ආවත් ඇය ආව දවසට මගේ හැමදාම මඟ බලාගෙන ඉන්න ඇස් වල කඳුළු කොහේ ඉදන්ද මන්දා හදවතින් වාන් දමන්න අමතක කරන්නෙ නැහැ..


"ඒ ඔයාගෙ දුවද..?"


"ඔව්.."


"අඬන්න එපා.. මං මගේ පුතාව දැක්කෙ මෙහෙට ආවට පස්සෙ එකම එක දවසයි.. එයාලා වෙනුවෙන් කැපවුණ ජීවිතයෙ අපි අපේ ගැන හිතුවනම්.. අද එයාලා නොහිටින්න තිබුණා.."


එහෙමත් වෙලාවකට ඒ ජීවිත කතා ඇතුලෙ තියෙන දුක අවසානයේ පිටවෙන සුසුමකින් සැහැල්ලු වෙන්නෙ මේ වාතලයට ඒ බර මුසුකරලා වගේ.. 


දින සති අවුරුදු ගැන දැනීමක් එන්න එන්නම මගෙන් ඈතට ගිහින්.. ඒත් සෙනූගෙ පැමිණිම බලාපොරොත්තුවෙන් ගෙවුණ ඇස් තවමත් මඟ බලාගෙන හිටියෙ වෙලාවකට බොදවුණ ඇස්වලින් ඇය දුවගෙන එන බවක් ඇස් ඉදිරිපිට මවමින්..


මං වගේම අය තව ගොඩක් හිටියා මා දිහා බලාගෙන.. ඒ අයගෙ හදවත් මොනවා කිව්වත් කවදාවත් තමන්ගෙම දරුවෙක්ගෙ වරදක් තොල්වලින් එළියට ආවෙ නැහැ.. ඒ ඇස්වල කඳුළු රහසෙම පියා ගත්තෙ කාටවත් නොදැනේන වගේ.. ලෝකෙට පේන්න හිනාවෙලා හිටියත් මතක්වෙන මතක්වෙන ගානෙ දරු සෙනෙහසින් ඒ දෑස් වල හදේ පිරෙන ආදරය උතුරන්න කාටවත් හංගන්න පුළුවන්කමක් තිබුණෙ නැහැ.. ඒ වෙලාවට මගෙ ඇද ඉස්සරහ තියෙන පින්තූරෙ දිහා මං බලාගෙන ඉන්නෙ ගොඩක් ආසාවෙන්.. ගෙවුණ ජීවිතය දිහා ආයෙත් හැරිලා බලද්දි.. කවමදාවත් හිතුවෙ නැති විදිහට එක නවාතැන්පලක මම නැවතිලා.. ආයෙ ආපසට යන්න බැරි ගමනක ගිමන් නිවන්න..

අදත් එදාවගේම හඳ එළිය කළුවරින් වැහුණ දවසක්.. වීදුරු ජනේලයෙන් යන්තම් මගේ ඇස්වලට හඳ එළිය වැටිලා.. බස්සෙක්ගෙ භයන්කාර හඬක් කන්දෙකට රිංගලා වදදෙන්න ගත්තෙ හුස්ම ඉහල පහල වැටෙන වේගය වැඩිකරන ගමන්..  


"අර ඇ‍ඳේ ඉන්න කෙනාගෙ විස්තර කොහොමද.." මං අහගෙන නර්ස් කෙනෙක්ගෙන් කවුදෝ අහනවා.. අළුතෙන් ආව කෙනෙක් වෙන්න ඇති.. මට එහෙම හිතුණා..


"ආ.. එයාද.. එයාට දැනට තියෙනවා මේ මේ ලෙඩ.. කතා කරන්නෙ නැහැ.. කොටින්ම එයාට ඉක්ටුස් කියන රෝගී තත්වය...  එයාට හෙලවෙන්න බැහැ.. ඒත් අපි කියන දේවල් තේරෙනවා.."


"මෙයා මෙහෙම හිටියට බලන්න ඕනෙනෙ දුව.. මමත් දැකලා තියෙන්නෙ එක දවසයි.. ආරංචිය දැන් රටලු ඉන්නෙ.." ඒ එතන හිටිය තවත් කෙනෙක්ගෙ සහතිකයක් මා ගැන..

හදවතේ උපන්න වේදනාව දරාගන්න බැරිව මං මුළු වෙරම යොදලා කෑ ගැහුවා.. බලාපොරොත්තුවේ එකම කවුළුවත් වැහිලා ගිහින්.. මේ ලෝකෙ මම තනිවුණ හැඟීමක්.. කවුදෝ මාව තදින් අල්ල ගත්තා.. විටින් විට ඇහැරුණ මං වටේ හැම දෙයක්ම මගේ වටේට කැ‍රකෙන බවක් මට දැනුනා.. මගේම දිව, තොල්, ඇහිපිය මට ඔච්චමට හිනා වුණා.. අඳුරක් දැනුනා.. පෙනුනා.. ‍මං දිව්වා ඒ හුළඟ පස‍්සෙන්.. රෝස පාට ඒ පීච් මල් ඇහිදින්න..  

"තව ටික කාලයයි.."


"මිස්... හෙමින් සැරේ ඇස් අරින්න.."


"මාව ඇහෙනවාද.."

 යාන්තමට ඇහුණ කටහඬවල් වලින් හිමින්සැරේ ඇස් ඇරියෙ දැනුන තද ආලෝකයෙන් පියැවෙන ඇස් දෙක වෙහෙසක් දරාගෙන... දිග හුස්මක් ගියෙ නිතැතින්ම.. උස්පහත් වෙන යන්තරේ ඇදෙන තීර්යත්ත රේඛාවන්..  තවමත් ඉහලට පහලට ඇදෙන කෘතිම ස්වසනය දැනෙන්නෙ මගේම හදවතත් දරාගෙන ඇදෙනවා වගේ.. 


වීදුරුවෙන් එපිට වැහි අඳුරක සේයාවක් වට පිටාවම සැඩ සුළඟින් නතු කරන් සිටිද්දී...‍ මං හිටියෙ දවස් ගණනකට කලින් පැමිණි රෝහලේ.. ඇඳ උඩ.. වලංගු නැති අත පයත් එක්ක මං පොරබැදුවෙ පුළුවන් කමකට නෙමෙයි.. 

"කෝ.. තවම නැතිද..?"

හුරු පුරුදු කටහඬක එහාට මෙහාට කල නොහැකි ඇස් වලින් යාන්තමින් ඉස්සරහට ආව ඡායාව, ඇහුවෙ කොහෙදෝ යන්න තියෙන හදිස්සියක වගේ.. ඇස් වලට වැටුණ දිග හෙවනැල්ල යාන්තමට හුරු පුරුදුව මට ලංවුණා..

"අම්මේ..."


මගෙ දුව සෙනූ.. 
මට නැඟිටින්න ඕන වුණා.. ඒත් ගිලුන වචන.. මාව තවත් අධෛර්ය කලා.. අවුරුදු කීයකට පස්සෙද.. ඒ කට හඬ..

"අපේ අර ඉඩමට... අත්සන.. මෙතන.. මෙතන.. මෙතන.." පෙරලුණ පිටු අතරෙ මම මගේ ඇගිලි සලකුණු තියනවා යාන්තමට වගේ දැනුනා..

උඩු හුළඟට ඉව අල්ලන වියළි කොළ හෙමින් සැරේ එහාට මෙහාට ගමන් කල වාහනයක් එක්ක ඉගිල්ලුනේ නොකැමැත්තෙන්ම බිම වැටෙන්න බලාගෙන.. ඒත් ඒ ටික මොහොතකට හරි ඒ පාවෙන කාලයෙදි ලබන සතුට, දකින වට පිටාව කලබල ගමනින් ඉක්මනින් දෑස් ඉස්සරහින් පාවෙන අයවලුන්ගෙ කටහඬවල් , ඉක්මන් ගමනින් යනෙන ඔවුන්ගේ ජීවිත වගේම නැවතීමෙන් ඒ දෙස බලන්නට වුවමනාවක් වුණේ නැහැ. 


මිනිස්සු ඇවිදිනවා.. යනවා එනවා.. කලබලකාරී ජීවිතය තුල මොහොතක ඉඩක් හදවතට.. මනුෂ්‍යත්වය ළඟ නතරවෙන්න.. කොයින්ද වෙලාවක්..
මං ඒ අය දිහා බලාගෙන හිටියා.. තවම ඒ බංකුව උඩට වෙලා.. 


ඒත්....
රෝස පාට පීච් මල් පොකුරක්.. ආයෙත් පීදීගෙන එනවා මං බොදවුණ ඇස්වලින් දැක්කා..

මං ඇස් දෙක පියාගත්තා..!


49 comments:

  1. අනේ අම්මෝ පපුව මොකක්ද වෙලා ගියා වගේ දැනෙනවා..

    ReplyDelete
    Replies
    1. එහෙමනම් සතුටුයි.. ඔයත් කතාව බලාගෙන ඉදලා තියෙනවා.. :)
      ගොඩක් ස්තූතියි නංගියෝ.. :)

      Delete
  2. ලස්සනයි. හදවතට මහා බරක් දැනුණා!

    ReplyDelete
    Replies
    1. හදවතට දැනුන ඒ පණිවිඩයේ බර කවදාවත් අමතක නොවේවි..!
      ස්තූතියි සහෝ. ඔබට.. :)

      Delete
  3. නිර්මාණය මාර ගති...හොඳට ලියල තියෙනව...අදමයි මේ පැත්තෙ ආවෙ......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිතහොඳ පිස්සා..
      ආයුබොහෝ වේවා ඔබට..!! :)

      Delete
  4. අම්මෝ අක්කේ මේ කතාවනම් විශිෂ්ටයි. මගේ ඇස් වලින් කඳුළු පැන්නා...

    "අපේ අර ඉඩමට... අත්සන.. මෙතන.. මෙතන.. මෙතන.."

    මේ වගේ කාලකන්නි ළමයි

    ReplyDelete
    Replies
    1. හිත්වල ඇස්වල කඳුළුක් වත් පිරෙන්නෙ නැතිව මේ දේවල් කරන ළමයි ඉන්නවා ‍නංගියෝ..
      පණිවිඩයක් ලැබුණනම් සතුටුයි ජීවිතයටම.. :)
      ගොඩක් ස්තූතියි නංගියෝ..!!!

      Delete
  5. අම්මෝ අක්කේ.. මාරයි මේ කථාව නම්.. අනේ මන්දා මෙහෙම ළමයිනුත් ඉන්නවනේ ඕනේ තරම්..

    ReplyDelete
    Replies
    1. ඔව් නංගියෝ.. මේ අපේම කාලෙ ලෝකෙ කොතැනක හරි සිද්ධවෙන දෙයක්..
      ස්තූතියි නංගියෝ..!!! :)

      Delete
  6. අම්මා කෙනෙක්ගෙ මහා මෙරක් වන් ආදරේ ඉස්සරහ ළමයින්ගෙ ලෙංගතුකම වැලි කැටයක් වගේ..

    කාලෙකට පස්සෙ..

    ReplyDelete
    Replies
    1. //අම්මා කෙනෙක්ගෙ මහා මෙරක් වන් ආදරේ ඉස්සරහ ළමයින්ගෙ ලෙංගතුකම වැලි කැටයක් වගේ..//
      වටින සාරංශයක් රූ..

      හිහිහී.. ටික කාලයක් නිවාඩුවක් ගත්තා..
      ස්තූතියි රූ.. :)

      Delete
  7. ජීවිතේ තව එක් පැතිකඩක් ගැන කිය උන කතාවක්.. සංවේදියි.. මේ කළු සුදු තේමා වලට මම කොච්චර ආසද කියලා අමුතුවෙන් නන්දුට කියන්න ඕන නෑනේ..

    ReplyDelete
    Replies
    1. කළු සුදු තේමා පටන්ගත්ත කෙනා ලිවීම නතරකොලැයි කියලා ආරංචියක් ආවා.. බලන්න ඕන ඒ පැත්තට ගිහින්.. :)
      ස්තූතියි දිනේෂ්..

      Delete
  8. ඇයි අපිත් එක්ක මෙච්චර සෙල්ලම් කරන්නේ. අපේ හිත් මෙව්ව වෙනවා කියලා හිතෙන්නේ නැද්ද..

    ජයෙන් ජය !

    ReplyDelete
    Replies
    1. එහෙම හිත් මෙව්වා වෙන්නෙ නැති අයත් ඉන්නවා සෑමො.. :(

      ස්තූතියි මේ පැත්තට ගොඩවැදුනට.. :)
      ජය වේ..!

      Delete
  9. ලියපු ශෛලීය නම් හරිම අපූරුයි.... හිත පතුලටම කා වදිනව...

    ReplyDelete
    Replies
    1. ලැබුණනම් දෙයක් හිතට.. සතුටුයි.. :)
      ගොඩක් ස්තූතියි සහෝ.

      Delete
  10. මේ වගේ ළමයින්ටත් කවදාහරි මේ ඉරණමම අත්වෙයි .

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම ගිම් අක්කේ..
      ස්වභාවධර්මයෙන් ඒ දේ වලක්වන්න කාටවත්ම බැහැ..
      ගොඩක් ස්තූතියි දහසක් වැඩ අතර මේ පැත්තට ගොඩවැදුනට.. :)

      Delete
  11. හම්මියෝ...ඇඩෙනවනේ.....ලස්සනට ලියලා තියනවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගොඩක් තරූගේ ලෝකය.. :)

      Delete
  12. ෂෙහ්...නියමයි...සුපිරියි...විශිෂ්ඨයි...වැදුනා ඉහ මොලේටම

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සහෝ. :)
      හිතට දැනුනම්.. සතුටුයි සාර්ථකත්වයට..

      Delete
  13. //"අපේ අර ඉඩමට... අත්සන.. මෙතන.. මෙතන.. මෙතන.." පෙරලුණ පිටු අතරෙ මම මගේ ඇගිලි සලකුණු තියනවා යාන්තමට වගේ දැනුනා..//

    සාර්ථක ඉදිරිපත් කිරීමක් නන්දු, සුබ පැතුම්!

    ජීවිතයේ නොයෙකුත් කාල වකවානු ගැන සිතුවම් මවන ලිවීමේ රටාව ලස්සනට හසුරවා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඩීන් අයියේ..
      පුංචි උත්සහයක්...! :)

      Delete
  14. Replies
    1. ස්තූතියි ගොඩක් පුංචි කුමාරිහාමියේ.. :)

      Delete
  15. ඔහොම තමයි.. දෙමාපියෝ දරුවන්ට තියන ආදරේ දරුවන්ගෙ හිත්වල දෙමාපියන්ට නැහැ.. ඒක තමයි ලෝක ස්වභාවය. තමන්ගෙ දෙමාපියට සළකපු මනුස්සයෙකුට, තමන්ගේ දරුවන්ගෙන් නොසැළකුම් ලැබෙන්නෙ හරි කළාතුරකින්.

    හොඳ ඉදිරිපත් කිරීමක් නන්ඳු.. ජීවිතේ ඒ ඒ අවදිය ලස්සනට ගලපලා තියනවා. මෙගේ හිතත් මෙව්වා වෙලා ගියා..

    ReplyDelete
    Replies
    1. වෙලාවකට ජීවිතේ පුදුමයක්..! දැන් දැන් අහන්න දකින්න ලැබෙන්නෙ අපි හිතන පතන දේවල් නෙමෙයි සහෝ.
      බ්ලොග් කියවන, ලියන කාගෙවත් අතින්.. මේ වගේ දෙයක් සිදුනොවන බව සංවේදී බවෙන් මට කියන්න පුළුවන්.. සතුටුයි ඒ ගැනම.. :)

      ස්තූතියි මේ දිරිගැන්වීමට..! :)

      Delete
  16. දෙසැරයක් කියවල තේරුම ගත්තා.දෙමාපියන්ට සලකන්නේ නැති දරුවන්ට මේ ජීවිතේදිම තමන්ගේ දරුවොත් ඒ විදියටම සලකනවා..

    ReplyDelete
    Replies
    1. හිහිහී.. ලිවීමේ රටාවේ පොඩි පොඩි අවුල් තිබේ..
      අනිවාර්යයෙන්ම.. වපුරන දේ අස්වැන්නෙන් ලැබෙන්නෙ අයියේ..
      ස්තූතියි මේ පැත්තට ගොඩවැදුනට.. :)

      Delete
  17. හිතට වැදුන කතාවක්....නියමයි

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සහෝ. :)

      Delete
  18. හරිම ලස්සනට ලියල තියෙනවා..හොඳ නිර්මානයක් නන්දු..අන්තිම ටික කියවද්දි මගේ ඇසුත් බොඳ වුනා..සුපිරියි..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අක්කෙ..
      මේ දිරිගැන්වීමටත් මේ පැත්තට ගොඩවැදුනටත්..!!! :)

      Delete
  19. හරිම ලස්සනයි ම‍ගේ අක්කියෝ.. දැනුනා පුදුම විදියට.අවුරුදු ගණනාවක කතාවක් සීමිත වචන ප්‍රමාණයකින් ලස්සනට කියලා තියෙනව.

    ReplyDelete
    Replies
    1. කාලයත් එක්ක ටිකක් සටනක් දෙන්න වුණා.. එයාලගෙ ජීවිත ගැන ලියද්දි..
      ස්තූතියි නංගියෝ..:)

      Delete
  20. හොඳ වෙලාවට කතාව ඉවර උනේ. තව පොඩ්ඩෙන් මගේ ඇස් වලටත් කඳුළු එනවා..

    //මිනිස්සු ඇවිදිනවා.. යනවා එනවා.. කලබලකාරී ජීවිතය තුල මොහොතක ඉඩක් හදවතට.. මනුෂ්‍යත්වය ළඟ නතරවෙන්න.. කොයින්ද වෙලාවක්..//

    කලබලකාරී ජීවන රටාවත් එක්ක දරුවන්ට තමන්ගේ දෙමව්පියන් එක්ක ගත කරන්න කාලයක් නැහැ. ඒත් එයාලට අමතකයි එයාලගේ දෙමව්පියෝ එයාලා වෙනුවෙන් කොයි තරම් කාලයක්, ශ්‍රමයක්. ධනයක් කැප කළා ද කියල. යථාර්ථවාදී නිර්මාණයක්.. ජය!

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලියෝ.. අද ගෙවන , ගෙවෙන ජීවිත වලට දෙමාපියන්ව මතක්වෙනවනම්.. ඒ දෙමාපියනුත් දරුවනුත් ගොඩක් වාසනාවන්තයි..!!!
      ලියන එක ලියන්නම එපැයි.. හිතේ කඳුළු ඇසට නොඑන්න.. :)

      Delete
  21. පුදුම ලස්සනයි.. මගේ ඇස් වලට කඳුළු ආවා...

    ReplyDelete
    Replies
    1. :(
      ස්තූතියි තාරා.. :)

      Delete
  22. හිතට මොනවදෝ උනානේ...

    ReplyDelete
    Replies
    1. මං කතාව තුලින් දෙන්න උත්සහ කල.. හිතට පණිවිඩයක් ලැබිලා..
      ස්තූතියි සහෝ. :)

      Delete
  23. මං ඇස් පිය ගත්ත ගොඩක් ලස්සනයි

    ReplyDelete
    Replies
    1. හා හා.. ඇස් අරින්න.. :D
      ස්තූතියි සචිත්..! :)

      Delete
  24. කතාවෙ මොකක්දෝ හුරු බවක් දෑනුනා..හරිම ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. හුරුබවක්..! ලිවීමේ රටාවෙ වෙන්න ඕනි..
      ස්තූතියි දම්මි.. :)

      Delete