23 February 2012

පරිත්‍යාගය

ළුවර මුල්ලකට වෙලා විටින් විට ඔච්චමට හිනාවෙන අහසෙ තරු දිහා මට බැලුණෙ පුරුද්දට වගේ... අවටින් ඇහුණ සංගීතය කන්දෙකෙන් රිංගලා කෙලින්ම බදාගත්තෙ හදවත.. අනවසරෙන්ම එළියට එන්න ඔන්න මෙන්න තිවුණ ඒ කඳුළු නවත්තගත්තෙ ඒ කඳුළු එළියට පෙනේවි කියලා හිතාගෙන.. උගුරෙ හිරවුණ කටුවක වේදනාවෙන් මම බලාගෙන හිටියෙ වීදුරුව දිහා.. නිවි නිවි පත්තුවෙන පාට විදුලි ලාම්පු වල හෙවනැලි අපි දෙන්නගෙම මූණුවලට වැටුණෙ, බලාගෙන හිටිය අයට ප්‍රකෘතියෙන් කිසිවක් කියන්න පුළුවන් හැගිම් මවලා නෙමෙයි.. ඒ වැටෙන පාට වලින් හදවතේ හරිම පාට කියන්න පුළුවන් වුණානම්... අපේ හිත්වල තිබුණ සිතිවිලි වචන වලට පෙරලන්න පුළුවන් වුණානම්... කවදාවත් ජීවත් වෙන එක මේ තරම් අමාරුවෙන එකක් නැහැ එහෙනම්... එකපාරටම කොහෙදෝ ඉදන් අමතකවෙලා වගේ දුවගෙන ආව සීතලට ඇ‍‍ඟේ හිරිගඩු ඇහැරවද්දී... අපි දෙන්නම වීදුරුව හිස්කලේ තරඟයට වගේ..


චන්දරේගෙ මූණෙ ඇඳුණෙ හිනාවක්.. හදවතේ තියෙන සතුටත් එක්ක හිනාවෙන හිනාවක්.. ඒ හිනාව මීට අවුරුදු ගණනකට කලින් මගෙන් අතුරුදහන් වුණ ඒ අතීතයේ හිනාව.. උඩතට්ටුවේ සිටන් පියගැටපෙළ දිගේ සුදු ඇදුමකින් මල්කළඹකුත් සමඟ මගෙ මූණ දිහා බලාගෙන පහළට බහින සුරංගනාවිය.. ඒ මූණෙ තිබුණෙ දුකද සතුටද කියන්න මං අතරමං වුණේ ජීවිතේ පළවෙනි වතාවට මා දිහාවට පාන කුසලානයකින් මගේ මූණෙ හැඩ බලනවා වගෙයි.. කවුදෝ ඒ දර්ශණ පටයට පිවිසිලා ජයග්‍රාහී පීත්ත පටියත් එක්ක කුසලානය අතට ගනිද්දී අවටින් ඇහුණ සුබ පැතුම් එක්ක මං මඟ නතරවුණේ තරඟයකදි වැරදිලා ප්‍රචාරය වුණ ජයග්‍රහයකයගෙ හඬ සවන් වැකුණ ගාණට දුකත් ලැජ්ජාවත් සමඟ... ප්‍රකෘතියට... දිනාගන්න බැරිවුණ ඒ ආදරය කවුදෝ කෙනෙක් ජයගද්දි.. මං හිටියෙ බොදවුණ ඇස්වලින් ඒ දිහා බලාගෙන.. හැමෝම ඇවිත් සුබ පතද්දි මං ඈතට වෙලා බලාගෙන හිටියෙ හැගීම් වචන වලට පෙරළගන්න පරිවර්තකයෙක්වත් නැතිව... හැමෝගෙම සුදු විලද අහුරු ආශිර්වාදයට බයෙන් පැනලා ගිය මතක සමනල්ලු තවමත් මගෙ හදවත ඇතුලෙ එළියට එන්න බැරිව හිරවෙලා.. මං ආයෙමත් හිස්වුණ වීදුරුව පුරවගෙන උගුරක් උ‍ගුරෙන් පහතට හලාගත්තෙ ඒ බයටවත් උන් ටිකව නතරකරගන්න.. ඒත් උන් සැහැල්ලුවෙන් පියාඹන්නෙ මේ වගේ වෙලාවට බව මං අවුරුදු ගණනක ඉදන් දන්නවා.. ඒ උයනෙ පාලකයා විදිහට..


"හෙට ප්‍රියන්වදාගෙ උපන්දිනේ.. 
මං හොඳ තෑග්ගක් තවම හොයනවා මචං.." 


එක පාරටම ආව මුහුදු රැල්ලක සද්දෙ මගෙ කනට ඇහුනෙ චන්ද්‍රේගෙ හදවතේ බරත් අරගෙනම පිට වුණ සුසුම මැදින් හීනියට ඇහුණෙ "මාව බේරගන්න" නොකියා කියන මැලවුණ කටහඬ හීන් කෙඳිරියක් ගාණට.. කීකරුකරන් හිටිය සමනල්ලු ඒ මේ අත ආයෙත් ‍විසිරෙන්න ගත්තෙ සිහිනයක අතරමං කලා වගෙයි.. මෙච්චර වෙලා වීදුරුවෙ ගිනිපාට වතුරට ගිලිලා තිබුණ මගෙ ඇස් දෙක එසවුණෙ නොදැනම.. 


ඔව්.. මුළු හිතම ආදරෙන් පිදුව මගෙ ආදර ප්‍රියන්වදාගෙ උපන්දිනේ හෙට.. කවදාවත් දෙන්න බැරිවුණ ඒ පුංචි තිළිණය තවමත් යන යන තැන තනිරකින කාර්යාල බෑගයේ.. අවුරුදු ගණනක මතක එක්ක.. හිතට දැනුනෙ මහ තනිකමක්.. බදාගෙන හිටිය මම මගේ කියන මතක... මේ අවුරුදු ගණනට දෙන්නට කවුරුත් හිටියෙ නැති.. මතකය විතරක්ම රිදවන ඒ තිළිණය..


"මේක තියාගනින්.. ඕක දෙන්න දැන් මට කවුරුත් නැහැ.. හිටිය අයත් යන්න ගිහින්.."


චන්ද්‍රේගෙ හිතෙන් ඉපැදුන කඳුළු ගිලෙන්න ඔන්න මෙන්න තිබුණ රතු ඇස් වසාගෙන අවර්ණ කඳුළු කම්මුල් හරහා අඳුරේම ගලාගෙන යද්දී ඒ මුහුණ මගෙන් සඟවන්න මගේ මිත්‍රයා අසාර්ථක උත්සහයක යෙදීසිටියෙ වැටුණ පාට ලාම්පු එළි ඒ කඳුළු වලට වෙනස් අරුත් එකතුකරනවා බලන් ඉන්න බැරිවද.. නැතිනම්.. ඒ කඳුළු වල අවර්ණබව මම විනිවිද දකිවිද කියලා බයෙන්ද මම දන්නෙ නැහැ.. 


බලාගෙන ඉන්න මුළු ලෝකයම කියාවි මේ ආදරයේ පාට බව.. 
එත්.. ඒත්..  කාටවත් නොපෙනෙන පාට ලාම්පු වලට නිරාවරණය නොවෙන හිත ඇතුලෙන් පටන් අරන් ගලන කඳුලක පාට..? හඳුනගන්න..

15 February 2012

~මාවතේ අපි~ අළුත් මාවතක අළුත් මාවතට


බ්ලොග් අවකාශයේ ජීවිතය බෙදාගන්න
 යළුවන්ගෙ අදහසින් පොහොනිව 
අළුත් මාවතකට මං තැනුණ...
වැඩකඩොලු,බාධක, මල්, දුක් කඳුළු සිනහවන් මැද පහුකරන් යන 
ජීවිත මාවතේ....
හෘද බ්ලොග් හිත මිතුරු මිතුරියන් ඔබ හැමදෙනාගෙම ත්වැලින් 
අළුත් මාවතකින් අළුත් මාවතකට
ගමන්කරන්නට 
එන්න
~ මාවතේ අපි ~
බ්ලොග් අඩවියට..

11 February 2012

ජීවන සයුරු රළ | Wave of Life


දෑස් මායිම පසුකරගෙන යන සෙනඟ මැද්දෙන් ඇය ඉදිරි පියවර තැබුවෙ අසිහියෙන්.. තැබූ බලාපොරොත්තු වල වේදනව දෑස්වලින් කඳුළු බවට හැරී කම්මුල් දිගේ ගලාගෙන යද්දි, පසුකර යන සෙනඟ අතර තෙරපී ඇය බිම වැටෙන්න ගියේ වරක් දෙවරක් නොවෙයි...

"සඳූ..."

ඇයට හුරු පුරුදු කටහඬකින් සෙනග අතර ඇගේ නම මුමුණනවා ඇහුණත්.. ඒ කාගෙදැයි හඳුනගන්න ඇයට මතකයක් තිබුණෙ නැහැ... ඒ හඬ ඈතින් ඇසෙන්ට ඇසෙන්නට ඇයව තව තවත් සෙනඟ අතරින් ඈතටම රැගෙන ගිය දෙපා නතර වුණේ, ඉමක් නිමක් නොපෙ‍නෙන මුහුද අසල... වෙරලේ රැඳි ඇයගේ පියමං සලකුණු මුහුදු රැල්ලෙන් පිස දැමුවේ ඇයට තම තුරුලට එන්නට ආරාධිත පාවඩ එලමින්.. ඇගේ දෙපා උණුහුම සොයමින් තව තවත් ඇදුනෙ මුහුද දෙසට..  සුදු රැළිමතින් වෙරළට'විත් පෑ හිනාව ඇයව තමාගෙ දෙසට නතු කරගන්න මුහුදු රළට හැකිවුණත් ඒ හිනාවම ආපසු හකුලගන්න ඉක්මන් වුණේ ඇයව තවත් කෙනෙකුගේ දෑතකට බාරදීලා..

***********************************
"ඔයාට මතකද සඳූ... මං වුණ පොරොන්දුව.. මං කවදාවත් ඔයාව තනිකරන්නෙ නෑ.."
පැතුම් සඳුනිගෙ අතින් අල්ලගෙන පුංචි මුදුවක් ඇගේ ඇඟිල්ලක රඳවන ගමන් කතා කලේ ඇගේ ඒ දි‍ලිසෙන ඇස් දිහා බලාගෙන..

"මං දන්නවා පැතුම්.. අපි සිහින මැව්ව අද අපේ ලස්සනම දවස.. අර බලන්න හැමෝම අපි දිහා බලාගෙන ඉන්නවා.."
විවිධ මල් වර්ගයන්ගෙන් සැරසුණු ශාලාව දෙසට තම නෙත් යොමු කරන ගමන් ඇය කිව්වෙ පැතුම්ගෙ අතේ එල්ලිලා.. ඒත් ඇය දුටුවෙ ශාලාව මැද ඔහු එනතුරු බලාහිදින තවත් කෙනෙක්.. හීනාවීගෙන ඔවුන් එන මඟ බලාහිදින හැටි..

"පැතුම්... කවුද ඒ.. මං මීට කලින් එයාව දැකලා නැහැනේ.."

"එයාව Marry කරලා මං රට යනවා සඳුනි.." සඳුනිගෙ අත අතඅරින ගමන් පැතුම් අත දිගුකලේ ඒ යුවතිය වෙතට..

"පැතුම්..?"

"පැතු... ම්..."

 ඇය කොපමණ අත දිගුකලත් පැතුම්ගේ අත මානයටවත් ලංවිය නොහැකි සේ පිටුපා ගිය ඔවුන් දෙසට ඇය තව තවත් දිවයන්නට උත්සහ කලා...

"ඳූ.. සඳූ..."

අර පුරුදු කටහඬ ආයෙමත්... ඇ‍ගේ පසුපසින්..
ඇය හෙමිහිට ඇස් ඇරියෙ ඒ හඬ හිමි කෙනාව දකින්න.. හුරුපුරුදු රුවක් එක්ක ඇය ඉදිරිපිට සිටිය රුව අඳුරගන්න ඇයව අරන්ගියේ යාන්තමින් පාසැල්කාලේ ඊට සමාන රුවකට.. 

"මතකද මාව.. ඔයගෙ ක්ලාස් එකේ හිටිය සිසිර..."

පුංචි හිනාවකුත් එක්ක ඇයට මතක් වුණේ පාසැල් කාලය.. සඳූගෙ හිත කොයිතරම් ගන්න සිසිර උත්සහ ගත්තත් ඇගේ හිත තිබුණෙ පැතුම් ළඟ.. අවුරුදු ගණනක ඒ ආදරයේ දුක්බර නැවතුමේ මතකය ගැන වාතලයට මුසුවුණේ ඇගේ හිතෙන් නික්මුණ සුසුම් පමණයි...

"මට සමාවෙන්න සිසිර.. ඒකාලෙ ඔයා මං බලාපොරොත්තු තියාගෙන හිටියෙ පැතුම් ගැන.. එයා නැති ලෝකයක් ගැන මං කවදාවත් හිතලා තිබුණෙ නැහැ... " ඇගේ ජීවිත කතාවෙ හැමදෙයක්ම ඇය සිසිර සමඟ පවසද්දි ඒ දිහාවට නිහැඬියාවෙන් අහන් හිටියෙ සිසිර..

"කවුරු අතිනුත් වැරදි වෙනවා.. ඒ ජීවිතේ හැටි සඳූ.. ජීවිතේ තියෙන්නෙ අපිට ඕන වෙලාවට අතහැරලා දාන්න නෙමෙයි.. ජීවිතේ ජීවත්කරවන්න.. බලාපොරොත්තුවලින්.."

"ඔයා දැන් මොකද කරන්නෙ..?" අවුරුදු ගණනක වෙනස් වුණ ජීවිතවල සිසිරගෙ පාසැල් කාලෙ තිබුණ හීන ගැන මතක්වුණ සඳූ ඇහුවෙ ඒ හීන කාලයත් එක්ක වෙනස්වෙලා ඇති බවක් හිතාගෙන..

ආදරයෙන් රකින හදවතක් මෙන් පුංචි උයනක් මැද තිබුණ නේවාසිකව ප්‍රථිකාරකරන රෝහලක්වෙතට ඇය පා තැබුවෙ තරමක චතිකයකින්.. පුංචි කතාබහ, හිනාවන් අතරින් ඇවිදින්න බැරි මල්වෙනුවට එහා මෙහා පියාඹන සමනල රංචු ඒ පරිසරයට එක්කලේ පුංචි හුළඟකින් පාවෙන මල්පෙති වගේ ශාන්ත බවක්.., පිරිපුන්බවක්..

"සඳූ ඔයාට පේනවද අර සතුටෙන් සැහැල්ලුවෙන් හිනාවෙන පුංචි දුවක්.."

"අනේ ඇත්තමයි.. කොයිතරම් හුරතල් ළමයෙක්ද.. ඒත් ඇයි එයා මෙහේ..?" සඳූ ඇහුවෙ පුදුමයෙන්..

"එයා උපතින්ම හදවත් රෝගියෙක් සඳූ.. තව අවුරුදු පහකින් හයකින් පුළුවන් ඒ සමනල් පැටික්කිව හොඳකරන්න.. ඔපරේෂන් එකකින්.. එතකල් එයාව අපි ආදරයෙන් බලාගන්නවා.."

ඇය රෝහලෙන් ඉවතට ඇදුනෙ පහත් කරගත් හිසින්.. ඒ වගේම ලැජ්ජාවකින්.. ඇයට මැවුණෙම රෝගවලින් ගත ඔත්පල වුණත් හිතෙන් සිනාසෙන ඒ පුංචි මල් කැකුළු..

"ඔයාට දැන් තේරෙනවා නේද සඳූ.. ඔයා නැතිකරගන්න හැදුවෙ කිසිදෙයකින් අඩුපාඩු නැති.. කිසිම වටිනාකමකට සම කරන්න බැරි ජීවිතයක් බව සඳූ..." සිසිර ඇහුවෙ ඈත බලාගෙන කල්පනාකරන සඳූගෙන්.. 

"මට තේරෙනවා සිසිර.. අපි ජීවත්වෙලා හිටියොතින් මිසක් නැතිකරගන්න ජීවිතයෙන් මේ ලෝකෙ කිසිදෙයක විසදුමක් අපිට හොයන්න බැරිබව.."

*******************************

උරහිසට බරවෙලා ඈත මුහුද දිහා බලාගෙන ඉන්න ඒ සඳවතියගේ මූණට පුංචි පවන් රොදකින් දඟකරන කෙස්රොද සිසිරට මතක්කලේ අතීතය.. සුදුගවුමට දිග කොණ්ඩකරල් දෙක ගෙතුණ ඇගේ කෙස්.. ඔහු එදා වගේම ආදරයෙන් බලාගෙන උන්නා..

"සඳූ.."

"ම්ම්ම.. "
ඇහෙන නොඇහෙන ගණනට ඇය කෙඳිරුවේ ලොකු කල්පනාවකින්..

"මොනවද කල්පනා කරන්නෙ..?" හීනියට මුවපුරා ඇඳුනු හිනාවෙන් සිසිර ඇහුවෙ ඒ දිලිසෙන ඇගේ ඒ ඇස් දිහා බලාගෙන..

"අපේ ජීවිතත් හරියට මේ මුහුද වගේ නේද සිසර..? ජීවිතේ කොයිතරම් දේවල් අපෙන් ඈතට යනවද..? ළඟට එනවද.. දැවටි දැවටි අපි අසලම ඉන්නවද.. හරියට මුහුදෙ රැළිවගෙ... " සඳූ කිව්වෙ තමා අසල ඉන්න ආදර සෙල්රුව දිහා බලන්...

අද ඒ පුංචි ආදර කැදැල්ලෙ අවුරුදු ගණනක ආදරයේ මතක සැමරුම් දවස.. ඒ ආදර මතක සැමරුමේ ලොකුම තෑග්ග තෑගි කලේ මේ ලොවේ තවත් ජීවිතයක් පිබිදෙන්න... ඒ.. පුංචි දරුවකුගෙ හෘද සැත්කමකට අවශ්‍ය මුළු මුදලම...


නෙක රටාමවමින් ක්ෂිතිජයේ ගිලෙන හිරුත් සමඟ කැදලිවලට යන කුරුළු රංචුත් සමඟ සිසිරගෙ අතැඟිලි අතර ඇගේ අතැඟිලි රඳවගත් ඇය නැවතත් හැරිලා බැලුවෙ රැළිපිට රැළිමතින් සුබ පතන නිල් සයුර දිහා.. සැහැල්ලු හිනාවෙන්.. :)

01 February 2012

පුංචි කැකුළිට..


වසන්තය අත වනන සරත් සෘතුවෙන් ඇරඹ
සීත හිම සුළං මග ඇවිත් හිරිගඩු පිපෙන
වසාගෙන දෙනෙත් තද කළුවරක දිවි ගෙවන
කැකුළියෙ පුංචි නුඹෙ සුවඳ ගැන දන්නවද..?

සිනිඳු පෙති මත දැවට සිහින් තෙලිතුඩක හද
ගෙනත් නෙක පාට හැඩ නු‍ඹෙ වතට ගැලපෙනම
සඟවගෙන හිරු රැසින් නිසා දිලිසෙන රුවට
කවුද කියන් දැමුවෙ ඒ තහංචිය හිතට..?

සුසුම් ළඟ දැවට වෙලා කඳුලක මිතුර
බලා අවටින් සිරිය තවත් පා නොහකුලගෙන
පිපෙන් නුඹ සිනහ වත තවත් එක් හදට නොව
සිනාසෙන වසන්තෙක ප්‍රාර්ථනා අහසකට..!!!