26 December 2011

උණුසුම් හිම පිහාටු..

"We wish you a Merry...
Merry Mer..."


කරට අත දාගෙන යාන්තමට පියවීගෙන යන මත්වුණ ඇස් වැනි වැනී සුදු හිම මතුපිට එහෙට මෙහෙට පා සටහන් වලින් රටා මවපු නදීෂගෙත් යාළුවන්ගෙත් දෑස් ඉදිරිපිට ති‍බුණෙ තමන්ගෙම ලෝක විතරයි.. ඉගෙන ගන්න අතර අතිරේක රැකියාවක් කලත් මාසෙ අන්තිමදි වටේටත් ණයවෙන යාළුවන්ට.. අදි මදි නොකරන්න කවදත් තමන්ගෙම මුදලින් සලකන නදීෂට යාළුවන්ගෙන් ලෝකය පිරිලා හිටියේ තමන්ගෙ 'ඉටු දෙවි' නදීෂ කියලා හිතාගෙන හිටිය පිරිසක් එක්ක.. 


සාක්කුවේ කොයිපැත්තෙන්ද ඇහුණු දුරකතන‍ය වෙරිමතින්ම අතට ගත්තු නදීෂ ඒ දිහා බැලුවෙ ඕනාවට එපාවට..


Calling >>>Home<<< 


"ෂ්... වහගන්නවලා ඔය කට.. ගෙදරින් කතා කරන්නෙ.. මාට්ටු වුණොත් උඹලගෙ දෙවියට වීසා කැන්සල් හරී..."
යාළුවන්ගෙ දිහාවට හැරැණු ඔහු අතින් සන් සලේ විකාරයෙන් දොඩවන යාළුවන්ට..


"හ හලෝ..."


"පුතේ.. අද නිවාඩුද පුතාලට..? දැන් රෑට කෑවද පුතේ.."


"අ.. අම්මේ.. ඔව් අම්මේ.. මේ.. මං පස්සෙ ගන්නනම්කො.. මං වැඩක ඉන්නෙ.."


"පුතේ ඔයා අසනීපන්ද.. කට හඬ වෙන..."


කී.....


තවත් දේවල් කියන්නට කලින් විසන්දි කල දුරකතනයෙන් ආව හඬ දිහා බලාගෙන හිටිය නදීෂ හිනාවුණේ කට කොනකින්.. 


"තාත්තේ.. මට පිටරටක කැම්පස් එකකට යන්න ඕනෙ.."


මීට අවුරුදු හතරකට කලින් තාත්තගෙ ඉස්සරහා මූණ නමාගෙන කිව්ව හැටි නදීෂට මතක් වුණේ නිතැතින්.. තමන්ගෙ ජීවිතේ අනාගතය හදාගන්න.. අනිත්වුන්ට වඩා ඉස්සරහින් ඉන්න.. පිටරටක තියෙන තාක්ෂණයත් එක්ක මෙරටට ගැලපෙන්න.. නදීෂට ඕන වුණා.. මොනම විදිහකින් හරි එතැනට යන්න.. හොඳට ඉගෙන ගන්න.. තමන් එක්ක එකට ඉගෙන ගත්තු යාළුවෝ වගේ ලොකු ලොක්කො වෙන්න..
මේ බවක් අම්මට කිව්ව දවසෙ ඇස් දෙකේ පුරවන් හිටිය කඳුළු වෙනතකට හැරිලා රහසෙම පිහදාගත්ත හැටි නදීෂ දැක්කෙ නැතත්.. ඇස්වල තිබුණ තෙතමනය හංගගන්න එකම පුතාගෙ බලාපොරොත්තු වෙනුවෙන් අම්මට බැරිවුණ බව දැක්ක නදීෂට ඒ බවක් හිතන්න එදා ඉස්පාසුවක් තිබුණෙ නැහැ...


"උඹව ඔච්ර දුරකට ඇරලා අපි මෙහෙ සැනසිල්ලෙ ඉන්නෙ කොහොමද පුතේ.. කාත් කවුරුවත් නැතිව.. උඹයි අපියි දෙගොල්ලොම තනිවෙනවා.. අපිට ඉන්නෙ උඹ විතරයි.. අනික ඒ තරම් ගාණක්...! අපි කොහෙන් හොයන්නද පුතේ.. තාත්තට කිව්වද මේ ගැන.."


කොතරම් හිත හදන්න උත්සහ කලත්.. නදීෂ මැව්ව ලොකේම තව තවත් ඈතට ඉගිලුණා..


"අම්මගෙ එකම පුතා වෙනුවෙන් වියදම් කරන්න බැහැ එහෙනම්..! හොඳයි එහෙනම් මං හොයාගන්නම්කො.."
එදා උදෙන්ම ගෙදරින් පිටවුණු නදීෂ රාත්‍රියේ නිවසට එන විට තාත්තගෙ රැල් බුරුල් මැද තවත් පියවරක් ඉදිරියට ඔසවගන්න බැරිව දෙපා නතර වුණා ඔහුට මතකයි..


"උඹ කාටවත් ණය වෙන්න ඕනෙ නැහැ.. මේ ටික තියාගනින්..!"


අතට ලැබුණ මුදලින් නදීෂ ඉගිලුනේ මුහුදු උඩින්.. නවාතැන් ගත්ත තැන සිට විශ්වවිද්‍යාලයට කිලෝමීටර් ගණනක් ගෙවන්න තිබුණත් සුළු මුදලකට හෝ ලැබුණ මේ නවාතැනේ සිට නදීෂ තමන්ගෙ අනාගතේ පියවර මනින්න ගත්තා.. කාත් කවුරුවත් නැතිව තනිවුණ ඔහුට හිටියෙ ඒ රටේම යාළුවො රොත්තක්.. වියදම් වැඩි වෙද්දි නදීෂ රැකියාවක් හොයාගත්තත් ඒ මුදල් සතියෙ මුල සිට අනිත් අත බලන විට ජීවත් වෙන්න මදිවුණත්.. නදීෂගෙ නිවසින් එවන මුදල් ඔහුව තව තවත් පොහොසතෙක් කලා.. යාළුවන්ගෙන්..!


තම පුතාගේ අනාගත සිහිනය වෙනුවෙන් තම සන්තකව ඉතිරිවුණ වහල උගස්කර බැංකුපොතේ තිබුණ අන්තිම සතයත් අතට ගත් තාත්තා ඒ බවක් හැමෝගෙන්ම සැඟවූ බවක් නදීෂ දැනගනිද්දී... ගේ දොර සින්න වෙන්නට යන බව දන්වන ලියුම් ගෙදරට එන්න පටන් අරන්... ඒත් නදීෂට ඒ වගකට උත්තර බඳින්න වෙලාවක් තිබුණෙ නැහැ.. කාලයත් එක්කම නදීෂ යා‍ළුවොත් එක්ක පන්තිවලට සහභාගීවීම මඟ හැරියා.. තමන්ගෙ හීන මත්වුණු වතුරෙන්.. පිච්චෙන දුමෙන් හළුකරලා අහසට හරින්න පුරුදු වුණා.. සීතලට දැනෙන තනිකමට එයින් තවත් මි‍තුරෙක්ව හෙව්වා..


"සුබ නත්තලක් පුතා..!!"
නදීෂ කල්පනාවෙන් වීසිවෙලා යාළුවො රොත්ත මැදට වැ‍ටුණෙ ඒ හඬින්.. තමන් දිහා කරුණාවෙන් බලාගෙන හිටිය දෑස දිහා නදීෂ බැලුවෙ ඇස් පුංචි කරලා..


"සුබහ්..! හ්ං සුබ කොහෙද අන්කල්.. ඕන් නත්තල් නම් තියෙනවා... යනවා යන්න.. සුබහ්ං චමින්ද.. හූ..... හූ... හූ..."
සද්දෙට හිනාවුණ යාළුවන්ගෙන් ඇසුණ කවට වදන් ගණනකටවත් ගත්තෙ නැති ඒ වයසක පුද්ගලයා නදීෂගෙ පිටට තට්ටුවක් දාගෙනම සීත හිමේ නදීෂගෙ යාළුවො පසුකරන් ආව මඟ දිගේ නොපෙනී ගියා..


"වරෙන් බං යන්න.. තව හිම වැස්සකට කලින්.. පාරෙ හිටියොත් අයිස් කුට්ටි තියෙයි හෙට.."
නැවතත් වාරු කරගත් යාළුවො තමන්ගෙ ලෝකයෙම පාවෙමින් කටට එන වචන කෑලි අහුල ගනිමින්.. සැහැල්ලුවෙන් ඉදිරියට පය තිබ්බත් අඩි දහයකට වඩා වැඩි නැති පියවරින් ඇහුණු කන්බිහිරි කරවන ශබ්දයෙන්.. හතර අත කැරකෙන මනසින්.. දෑසට එල්ල වූ තද ආලෝක එළියෙන් යාන්තමට වෙව්ලන ඇස්වලින් නදීෂ දැක්කේ තමන්ට මොහොතකට කලින් සුබ පැතුව.. යාන්තම් හිනාවක් මුහුණේ රැදුණු ඒ වයසක පුද්ගලයව..


ඇස් දෙක හෙමින් අරින්නට වෙර දරද්දී.. අවටින් පෙනුන සුදු පැහැති ආලෝකය නැවතත් ඇස් දෙක පියවන්නට උත්සහ දරණ බවක් දැනුනත්.. නදීෂට ඕ‍න වුණේ තමන්ගෙ හිසට මෙච්චර බරක් දැනෙන දේ මොකද්ද කියලා බලන්න..  හතර අත ඇස් කරකවලා බැලුවත් තවමත් තමන් ඉන්න තැන අඳුරගන්න නදීෂට බැරිවුණා.. අන්තිමට මතක ඇති සියළු දේ එකින් එකට පෙලගස්වන්නට උත්සහ ගත්ත නදීෂට පසුගිය රාත්‍රියේ සීත හිම මැද්දෙන් යාහළුවන් සමඟ පැමිණි ගමනත්.. කරුණාබර, හුරු පුරුදු මහළු මිනිසාගේ සුබ පැතුමත්.. දෑසට එල්ලවූ ආලෝකයෙන් රිදුම් දෙන්නට වූ සිරුරත් ඔහුට රූප පෙලක් මෙන් මැවුණා.. උදව් ඉල්ලලා කෑ ගහන්න ගත් උත්සහය ව්‍යාර්ත වුණේ නදීෂගේ තොල් යන්තම් හෙලවෙමින්... තමන්ගෙ අතට දැනුනු උණුසුම් සුසුම් රැල්ලකින් යාන්තමට ඔළුව හරවලා බැලුව නදීෂ දැක්කෙ තමන් දිහා බලාගෙන ඉන්න ඒ කරුණාබර ඇස්..!


"පුතාට දැන් කොහොමද.. තවම ඔළුව රිදෙනවද.."
 නිවුන හඬින් තම දුක සැප විමසන මේ මිනිසාගේ වදනින් වගේම සාත්තුවෙනුත් නදීෂගේ තුවාල ක්‍රමයෙන් සුව අතට හැරෙමින් තිබුණා.. ‍නදීෂව බැලීමට රෝහලට පැමිණෙන එකම නෑදෑයා වගේම එකම හිතවතා වුණේ මේ වයසක පුද්ගලයා විතරයි..


"අහ්.. නදීෂ හොඳින් නේද.. මං පස්සෙ කතා කරන්නම්කෝ.. දැන් වැඩක්.."


තම යහළුවන්ගේ විසන්දි කරන දුරකතන වලට කොතරම් උත්සහ කලත් සම්බන්ධ කරගැනීමට නොහැකිවුණ නදීෂට ඇතැම් විට ලැබුණෙ මෙවැනි ප‍්‍රතිචාර.. ගෙවීමට නොහැකිව ඉතිරි වූ හිඟ මුදල් හේතුවෙන් නවාතැනින් නදීෂව පිටමං කර තිබුණා..


රෝගීන් බලන වෙලාව එනතෙක් නොඉවසිල්ලෙන් ඉන්න නදීෂට එදා ඔරලෝසුවේ කටු ගෙවුණෙ ඉබි ගමනින් වගේ.. මාස ගණනක් කූඩුවක හිරවුණ කුරුල්ලෙකුට නිදහස ලබන අද දවස... බලාපොරොත්තුව හුන් නදීෂ තවමත් බලාගෙන ඉන්නෙ මෙච්චර කලක් තමා ලඟම හිටි ඒ කරුණාබර දෑස් දකින්න.. ඇතුළුවන දොරෙන් මතුවෙන දෑස් අතර හොයන ඒ පුරුදු රුව වෙනුවට කුඩා පාර්සලයක් අතැතිව තමා දෙසට එන වෛද්‍යවරයාගේ දසුන නදීෂගෙ හිතට ගෙන ආවේ කුතුහලයක්...


"ඔයාට දැන් හොඳටම හොඳයි.. ගෙදර යන්න පුළුවන්.." නදීෂව පරික්ෂා කර බැලූ වෛද්‍යවරයා අවසන් නිගමනය ප්‍රකාශ කලා..


"ඩොක්ටර්.. මාව බලන්න ආව අර සීයා එනකල් මට ඉන්න පුළුවන්ද..? එයා මට ගොඩක් උදව් කලා.."


"අහ්..! තව ටිකකින් මට අමතක වෙනවා.. මෙන්න මේ පාර්සලේ ඔයාට දෙන්න කියලා තිබුණා.."
ඔහු අත රැදි ඒ කුඩා පාර්සලය නදීෂගේ අතට පත් කල ඔහු යන්න ගියා..


මෙ‍පමණ කලක් නදීෂට අමතකව තිබුණු  දෙයක් නැවත සොයන ‍ලෙසින් ඔහු ඉක්මනින් දුරකතනයේ යතුරු පුවරු මත තම ඇඟිලි ගෙන ගියා... ඇමතුමට එහා කොනෙන් ගලාගෙන ආවෙ තමාට අමතක වුණ අමතක කරන්නට උත්සහ ගත්ත ඒ කට හඬ..


"හෙලෝ.."


"අම්මේ... "
බොඳව ගිය ඇස්වලින් කඳුළු කැට කඩාගෙන වැටෙද්දී.. තමන්ගෙ හඬින් ඒ ඇමතුම ගෙවීගිය අවුරුදු ගණනට නදීෂගෙ හදවතට අද තරම් ලබැඳිව කතා කල දවසක්.. ඔහුට මතක්වුණේ නැහැ..


"මගෙ පුතේ.."


"අම්මයි තාත්තටයි සුබ අළුත් අවුරුද්දක් වේවා.. අම්මගෙ පොඩි පුතාගෙන් මේ අවුරුද්දට වටි..."
ඉතිරිය කියාගන්නට තවත් වචන ඔහුගේ දිවග නැත.. රෝහලේ කවුළුව එපිටින් පියඹන හිම පිහාටු අතරින් ඉදිරියම ඇදුණ නදීෂ ඉතිරිව තිබුණ මුදලුත්, තමාගේ ගුවන්බලපත්‍රයත් රැගෙන ඉක්මන් ගමනෙන් ලංවුණේ... ගුවන් තොටුපලට.. ඒ ඔහුගෙ ජීවිතේට ඒ කරුණාබර දෑස් වලින් ලැබුණ ලොකුම තෑග්ගත් අරගෙන..
ඒ.... තමන්ගේ එකම පුතා එනතුරු පෙරමඟ බලා හිඳින අම්මගෙයි තාත්තගෙයි දයාබර වදනක් හිතේ ගුලිකරගෙන..!


‍වයසක මනුෂ්‍යයා ගැන යමක්..

සමහරවිට ඒ අපේ යටි හිත වෙන්න පුළුවන්.. සමහර විට අපේ ජීවිත වලට අහම්බෙන් ගොඩවදින අමුත්තෙක් වෙන්න පුළුවන්.. සමහර විට අවුරුදු හතරක් තිස්සේ ණය බරින් නිදහස්වෙන්නට තමන්ගෙ ජීවිතේ දියවෙනකල් ගත කල නදීෂගෙම පියා වෙන්නත් පුළුවන්.. ඒ ගැන තීරණය ඔයාලට බාරයි.. :)

------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මේ මගේ දෙවෙනි කෙටි කතාව.. 
අඩුපාඩු ඇත්නම්.. වෙනස්විය යුතු තැන් තිබේනම් පෙන්වා දෙන්න යාළුවනේ.. සතුටින් බාරගන්නවා.. :)

14 December 2011

කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා.... උලලේනෝ....

අදට සති 2-3කට කලින් අපේ ගෙදර එක ජනෙල් වීදුරුවක හරි අපූරු සටහනක් තිබුණා.. මේ වීදුරුව එළියට නිරාවරණය වෙන්නත් ඇතුලතින් වෙනම ලී පියනකින් වහන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නෙ.. සීතල ඇතුළු නොවෙන්න.. 
හිතන්න පුළුවන්ද මේ සටහන මොකද්ද කියලා.. 

ඈ.. මොකද්ද... නෑ නෑ..

නාලා නැති බ්රේක් නැති බස්සෙක්ගෙ සටහනක්..! 

ඈහ්.. මොකද්ද ඒ අප්‍රබ්‍රංසෙ..?

 සිද්ද වෙලා තිබුණෙ එළියෙ තියෙන විදුලිපහනෙ ආලෝකය වීදුරුවට වැටිලා , එතනින් පියෑඹුව බස්සගෙ ඇහැට මේ වීදුරුවට වැටුණු ආලෝක පරාවර්තණය වී යන එනමං නැතිවීම.. වීදුරුවෙ වැදුන බස්සගෙ ඇගේ තියෙන අළු එහෙම්මම වීදුරුවෙ ලකුණුවෙලා තිබුණා.. අත්තටු දෙකේ පිහාටු, වැසුන ඇස්, හොට.. 
ඊයෙ රෑත් ඔය දේ නැවතත් සිද්ධ වෙලා තිබුණා.. කොයිතරම් උත්සහ කලත් සුදුපාට කොළයක් තියලා ඡායාරූපයක් ගන්න, වැඩේ අසාර්ථකයි.. අර අළු බිම වැටෙනවා.. ඔය පහල පින්තූරෙ වගේ තමයි මේ බකමූණා සටහන් වෙලා තිබුණෙ.. (හැප්පිලා තියෙන හැටියට මේ බකමූණටනම් දැන් තාරකා මණ්ඩල පේනවා ඇති) 

ඔය බස්සා නිසා බකුසු කතාවකින් පටන් ගත්තත් මේ කියන්න යන්නෙ බකමූණු පවුලට අයිති ඈත අතීතයේ ඉදන්ම බයක් , කුතුහලයක් උපදවන්න සමත් ලංකාවෙන් වද වෙලා යන කෙනෙක් ගැන.. මේ ගැන ලියන්න මතක් වුණේ බස්රේඩියෝවෙ ප්‍රචාරය වුණ ගුණදාස කපුගේ මහත්මයගෙ ගීතයක් ඇහුණ වෙලාවෙ.. උලලේ‍නෝ.. කිව්වට මෙයා ලේනෙක් නම් නෙමෙයි ඕන්...මෙයා කුරුල්ලෙක්...
පැරැන්නන්ගේ මතයක් තිබුණා උලලේනා කෑ ගහනවා ඇහුණොත් ඒ දේ හරිම මූසලයි කියලා.. ඒ.. මේ කුරුල්ලා  කෑ ගහන්න පටන් ගන්නෙ අමුතුම විදිහට.. හරියට ස්ත්‍රීයකගෙ ගෙල මිරිකන හඩෙන් මර ළතෝනි හඬට ගොඩක් සමාන අදෝනවක් හඬින් තමයි රාත්‍රී කාලයේ කෑගහන්නෙ.. දවල් කාලෙට කැලෑවෙ අඳුරු සහිත තැන්වල හැංගිලා රාත්‍රීයෙදී තමයි මෙයා පියාසර කරන්නෙ... ඔය බියකරු හඬ ගොඩක්ම හඬින් කෑ ගහන්නෙ මේ කුරුල්ලන්ගෙ අභිජනන කාලයේදීලු.. ඒ අප්‍රේල් - මැයි අතර මාස ‘උලලේනීය’ ගේ ප්‍රකට විලාපය වනපෙතේ නින්නාද වන සමය විදිහට තමයි හඳුන්වන්නෙ.. මුළු ගමකම කන් බිහිරි කරවන්න සමත් ශබ්දයක් තමයි මේ උලමා හඬන්නෙ.. ඒ මතයට තවත් පාදක වුණ හේතුවක් තමයි උලලේනාගෙ හඬ ඇහුනොතින් කෙනෙක්ගෙ වියෝවක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන බව ඔවුන් විශ්වාස කලා..

ඒ වගේම මේ කුරුල්ලගෙ හඬළතෝනිය වැහි ආසන්න බවට පෙර නිමිත්තක් බවත් ගැමියන් විශ්වාස කලා.. ඒ විශ්වාසයන් ගමේ ඇත්තෝ කවි කර මෙසේ කීවෝ ය.

“උලලේනියේ හැඬුවට රෑ මරු ඒද
හිමිදිරියේ හඩින් වැහිපල කීවාද
තුන්යාමයේ තුන් දින වහලේ හඬඳ
නගණ්ඩියේ ගැබ මරුවට කැප වෙයිද”


රාත්තිරි කාලේ උලමා ගේ ළතෝනිය වියෝ දුක් මරණය ද, අරුනලු හිමිදිරිය වරුසා ලකුණ ද දින තුනක් තුන්යාමට වහලේ වසා හැඬීමෙන් ගැබ්බර ළඳක ගේ මරණය ද හැඟවූ බව ඉන් කියැවිණි.
උපුටා ගැනීම

උලලේනා අර අමුතු ශබ්දය පිටකරන්නෙ කලින් ඩුගු ඩුගු ගාලා මහා භයානක ශබ්දයක් කරලා. ඒ ශබ්දයට ගැමියන් උල ලේනා මිනී බෙරේ ගහනවා කියලා කියනවා. කටහඬ අහන්න භය මිනිස්සු ඌ කෑගහන වෙලාවට කවි වලින් හඬ අහුකරගෙන එක එක මුඛ බන්දන කරනවා කියලා තමයි ගැමි ව‍හරේ තියෙන්නේ.

උල ලේනයි උල ලේනයි තෝද බොල

නාඩ ඉන්ඩ තොට වරමක් දුනිද බොල
අනද මහ නිරිඳු පටියෙන් බැන්ද බොල
මෙතේ බුදුන් බුදු වෙනකං නාඩ බොල


කවිය උලලේනගෙ කට බඳින්න පාවිච්චි කරපු වස් කවියක්. ඉස්සර මිනිස්සු උලලේනෙක් අඬලනකොට ඔය කවිය කියලා ඌට මුකවාඩමක් දානවලු. ඒත් ඒක පව්කාර වැඩක් කියලා බොහෝ ගැමි ජනයා ඒ ක්‍රමය භාවිතා කලේ නැතිලු.

උල ලේනා, උල ළිහිණියා , යක් කුරුල්ලා යන නම් වලිනුත් හඳුන්වන්නෙ මේ එකම කුරුල්ලා තමයි.. කුරුලු ලොවේ දී ‘උකුසුබකමූණා’ වශයෙන් ද හඳුන් වන මෙකී පක්ෂියා, ‘මාමුහුණු’ කුලයට අයත් මෙරට ලොකුම කුරුල්ලා ද වෙනවා. වනය පුරා සක්මන් කරන යක්ෂ සමූහයක් එකට එක් වී නඟන හූ හඬක් හා සම වූ හූවක් නංවන උලලේනාට ‘යක් කුරුල්ලා’ ය යන නම පටබැඳීම සැබැවින්ම යෝග්‍යයි. මෙම කුරුල්ලන් කෘමීන්, මීයන්, ගොළු බෙල්ලො, සමහර විශේෂයන් මත්සයින් තම ආහාරයට ගන්නවා..

උ‍ලලේනා පිළිබඳ විශ්වාස තවමත් අප සමාජයේ ඉතිරි වී තියෙනවා වගේම ඔවුන් පිළිබඳ විවිධ ජනප්‍රවාදත් තවමත් ඉතිරිව තියෙනවා.. මේ මට අහන්න, කියවන්නට ලැබුණු ජනප්‍රවාදයන්...

එක්තරා කාන්තාවක් දීගෙක ගිහින් පුතෙක් ඉපදුනාට පස්සේ ස්වාමියා ඔවුන්ව දාලා ගියාලු. පස්සේ දරුවයි අම්මයි තමන්ගේ දෙමාපියන්ගේ ගෙදර ගිහින් කාලයක් ඉන්නකොට ජීවිත අමාරු කම් නිසා තවත් විවාහෙක ගියාලු. ඒ විවාහයේ දරුවනුත් හම්බවුනාලු. ගෙදර අළුත් ස්වාමියා පෙර විවාහ‍යේ පුතත් එක්ක ජන්මන්ත වෛරය් තිබිලා තියෙන්නේ.

ගැමි කාන්තාවක් වුනාම හරිම වැඩ, ඉතින් මේ වැඩ හැමදේම කරලා හවස් වෙලා ගෙදරට එනකම් පළමු කසාදයේ පුතා හැමදාම මග බලන් ඉන්නවලු.

දවසක් කාන්තාව වැඩපල කරගෙන එන්න ගිය වෙලාවකදි මේ අළුත් ස්වාමියා ගෙදර ඉඳලා තියනවා. මේ ළමය ගැන තියන තරහ නිසා ළමයව මරලා කෑලි කරලා උයලා දවල්ට කාලා තමන්ගේ ළමයින්ටත් කන්න දීලා තියනවා.

ගැමි කාන්තාව ගෙදර එනකොට දරුවා වෙනද වගේ ඉස්සරහට දුවගෙන ආපු නැති හින්දා ස්වාමියාගෙන් අහුවම ඔය කොහෙට හරි සෙල්ලමට දුවන්න ඇති කියලා ඒ කතාව මගහැරලා අන්න මම අද මඥ්ඤොක්කා හදලා යාළුවෙක් ගෙනත් දීපු මස්වගේකුත් උයලා තියනවා, කන්න කියලා කිව්වලු.

මේ කිසිදෙයක් නොදන්නා මහන්සිවී ගෙදරට ආපු ඇය කනකොට මිනිස් ඇඟිල්ලක් අහුවුනාලු. ඒකේ තිබ්බ මුදුවක් නිසා මේ තමන්ගේ පුතාවයි මරලා මස්කරලා තියෙන්නේ කියලා තේරුම් අරගෙන දැඩි වික්ෂොපයෙන් හූ තියමින් කෑ ගහ ගහ පොලවේ හැපි හැපි ඔලුවට පපුවට ගහගනිමින් විලාප තියලා. අන්තිමේදි වේදනාව ඉවසගන්න බැරිව හැඳිමිටෙන් ඔලුවට ඇණගෙන මැරිලා තියනවා.

දෙවෙනි ජනප්‍රවාදය තමයි  එකමත් එක රටක ජීවත් වුණාලු නිවුන් සහෝදරියො දෙන්නෙක්..! මේ සහෝදරියො දෙන්නා විවාහවෙලා තියෙන්නෙත් නිවුන් සොයුරන් දෙදෙනෙක් එක්ක.. ලොකු නිවුන් ‍සහෝදරියගේ ගති ගුණ වගේම රෑපයත්, ඇය උයන අහරත් ඉතා ප්‍රණීතයිලු.. මේ ගැන අයියා තම මලනුවන්ට නිතරම ගුණ වර්ණනා කලා.. මලෝ වගේම වැඩිමල් සොයුරියගෙ නැගනියත් තම අක්කා කෙරෙහි දැඩි ඊර්ෂාවකින් පසු වුණාලු.. මේ නිවුන් සොයුරියන්ට දුවලා දෙන්නෙක් ලැබුණා.. වැඩිමල් සොයුරියගේ දුව බාල සොයුරියට වඩා ගොඩක් ලස්සන වුණ නිසා අර ඊර්ෂාව තවත් වැඩි වුණා.. 

දවසක් ඇඹුල අරගෙන යද්දි මේ නිවුන් සොයුරියන් , බාල සොයුරිය වැඩිමල් සොයුරියව ඒදණ්ඩෙන් පහලට තල්ලු කරනවා.. ඉතින් කුඹුරට යද්දි වැඩිමල් අයියා අහනවා අක්කා ගැන.. ඇය ඒ ගැන හරිහැටි උත්තරයක් දෙන්නෙ නැහැ..
නිවුන් සොයුරන් දෙදෙනා බාල සොයුරගෙ බිරිඳ ගෙනාව ඇඹුල බෙදාගෙන කාලා හවස් වෙද්දි ගෙදර ගියත් වැඩිමල් සොයුරිය ආවෙ නැහැ.. මේ ගැන තම දියණියගෙන් විමසූ වැඩිමල් සොයුරාට දැන ගන්න ලැබෙන්නෙ තම මවගේ නැගනිය තම මවත් සමග තිබූ වෛරයයි.. ඒවගේම එදා ඉඳන් මේ වැඩිමල් සොයුරියගෙ දියණියට අර බාල සොයුරිය කන්න දෙන්නෙ නැතිව ගොඩක් තාඩන පීඩන කරාලු.

ඉතින් එදා ඉදන් තම පියාට ඇඹුල අරන් යන්නෙ මේ දුව.. අර ඒදණ්ඩෙන් යද්දි ඉබ්බෙක් ඒ දියණියට අවශ්‍යය සියලුම කෑම බීම සංග්‍රහ කරනවා.. ඉතින් දවසින් දවස මේ වැඩිමල් සහෝදරියගෙ දියණිය ලස්සන තරුණ ගෑණු ළමයෙක් වුණා.. මේ වෙනස දැක්ක බාල සොයුරිය තම දියණියව පිටත් කරලා ඇරිය මේ රහස හොයාගෙන එන්න.. අර ඉබ්බාත් එක්ක කතා කරන හැටි, කෑම බිම වලින් සංග්‍රහ කරන හැටි බලාගෙන හිටිය ඇය මේ ගැන තම මවට කියනවා... හවස ඇය බොරු ලෙඩක් මවාගෙන තම ස්වාමියට කියනවා අර ඒදණ්ඩ යටින් ගලන දොල පාරෙ ඉන්න ඉබි මස් කෑවොත් මිසක් මේ ලෙඩේ සුව වෙන්නෙ නැහැ කියලා.. ඉතින් මේ බව කනට වැටුණු වැඩිමල් දියණියගෙ දුව මේ බව අර ඉබ්බට කිව්වලු..

"කමක් නැහැ.. මාව උයලා කද්දි ඔයාට මස් කට්ටක් ලැබේවි‍.. ඒ මස් කට්ට මේ දොල අයිනෙ ගෙනත් වළලන්න.."

ඉතින් පහුවදා ඇය කියු විදිහටම කලා.. අර මස්කට්ට වලලූ තැන ලොකු අඹ ගහක් හැදුනා.. වැඩිමල් සොයුරියගෙ දියණිය එතනට ආවම ඇයට අතු පාත් කරලා ඒ ඵල නෙලා ගන්න දුන්නත් බාල සොයුරියගෙ දියණියට ඒ ගස ලඟට කිට්ටුවෙන්නවත් බැරිවුණා... ඉතින් මේ බව තම මවට පැවසූ පසු පෙර පරිදිම ඇයට උවමණාවුණා තම රෝගය සුව කරන්නට නම් අර අඹගහේ ලී වලින් ගිනි තපින්න.. මේ බවත් වැඩිමල් සොයුරියගේ දියණිය අර අඹ ගහට කිව්වලු..

"කමක් නැහැ.. මාව කපද්දි නුඹ ළඟට ලී කෑල්ලක් විසික්වෙයි.. ‍ඒ ලී කෑල්ල අරන් ගිහින් අර විලට දාන්න.."

ඉතින් දියණිය ඒ විදිහටම කලා.. මේ විලේ පිපුණා ලස්සන නෙළුම් මලක්.. ඇයට පමණයි මෙය සිපගන්නට පිළිවන්.. ඇය තව තවත් ලස්සන වුණා.. පෝෂණය වුණා..

දවසක් මේ විල අයිනෙන් ගියා ඒ රටේ රාජ කුමාරයා.. ඔහු මේ විලේ පිපුණු ලස්සන නෙළුම් මල දැකලා කඩාගන්න කොපමණ උත්සහ කලත් බැරිවුණ නිසා අඬබෙරයක් යැව්වා මේ නෙළුම් මල කඩලාදෙන කෙනෙක්ව හොයන් එන්න කියලා..

තම සොයුරියගේ දියණියට පමණක් එය කල හැකි බව දන්න බාල නිවුන් සොයුරිය , අර දියණියව අළු තවරලා කාමරයක දාලා සිරකරලා තිබ්බා.. ඒත් එතනින් ගිය අඬබෙර කරුවන්ට තමා ගැන පැවසූ ඇය ඒ නෙළුම් මල කඩා දිය හැකි එකම කෙනා තමා බව පවසනවා..

ඉතින්... අර නෙළුම් මල කඩලා දුන්නට පස්සෙ.. මේ දියණියගෙ රූසපුවෙ ලස්සන දකින රජතුමා.. තම රැජිනය බවට ඇයව පත් කරගන්නවා.. මේ දෙයින් තවත් වෛර කරන ඇගේ මවගේ නැගණියන් ඇයව මරණයට පත්කරන්නට ක්‍රමයක් කල්පනා කරන අතර තුර රජුට යුද්ධයක් සඳහා පිටත්ව යන්න සිද්ධ වෙනවා..
ඔහු පිටත්ව යන්න කලින් ඇය නෙලූ අර නෙළුම දීලා රජුට කිව්වලු..

"මේ නෙළුම මේ වගේම පිපිලා තිබුණොතින් මම ජීවත් වෙනවා.. මේ මලේ පෙති හැලුනොතින් මම ජීවතුන් අතර නැතිවෙයි" කියලා.. ඉතින් රජු යුද්ධයට පිටත් වුණාට පස්සෙ රජමාළිගයට එනවා අර බාල නිවුණ් සොයුරියයි ඇගේ දියණියයි.. නිකන් නෙමෙයි.. නයි බිත්තර දාලා හැදුව කැවුම් අරන්.. අනේ ඉතින් ගොඩක් කාලෙකින් ආව තම මවගෙ නැගෙනියත්, ඇගේ දියණියත් පිළිගත්ත මේ රැජණිය, ඔවුන්ගේ තෑගි බෝග පිළි අරන් ඒ ආහාර අනුභව කරාලු..

මේ අතර තුර රජු යුද්ධෙන් දිනලා එද්දි අර නෙළුමෙ පෙති පරවෙලා.. රජු ඉක්මනට මාළිගට එද්දි රැජින නැහැ.. හොයලා බලද්දි ඇගේ දේහය කසල ගොඩක තිබී හමුවෙනවා.. නාග මුහුණතින්...රජු තම කඩුවෙන් ඇගේ හිස ගෙලෙන් වෙන්කලාට පසු නැවත එය එක් වී ඇයට ප්‍රාණය ලැබුණලු..

මෙපමණ කල් ඉවසූ ඇය.. තම මවගේ නැගෙනියටත්, ඇගේ දියණියටත් රජ මාළිගයේ භෝජන සංග්‍රහයකට ආරාධනා කර , ඇගේම දියණියව පිස දෙනවා ආහාරයට.. තම දියණියගෙ ඇගිල්ලක් තම පිඟානෙහි දකින ඇය හැන්ද ‍ඔළුවෙ පිටුපස ගහගෙන ඒ සෝ දුකෙන් මිය ගියා කියලයි කියන්නෙ..

තවත් ජනප්‍රවාද මෙතනින්...

අදටත් ඒ හැඳිමිටලු උලලේනගේ පෙඳය වෙලා තියෙන්නේ. ඒ වේදනාවලු මහ මූසල විදිහට ඌ පිටකරන්නේ කියලා තමයි ගොඩක් අය කියන්නෙ.. ආර්. එල්. ස්පිටිල් මහත්මයගෙ ලක්බිමේ තවත් යුගයක් පොතේ උලලේනා ගැන ගොඩක් විස්තර තියෙනවා.. ඒ වගේම ජනප්‍රවාදගැනත්... වටින පොතක් ලැබුණොත් කියවලා බලන්න.. :)

උලලේනව ඔය එක එක නම් වලින් හැඳින්නුවත් සාමාන්‍යය ජනවහනෙ හඳුන්වන්නෙ මේ කුරුල්ලව

උලමා..!  කියලා...

දැන් මතක්වුණා නේද.. 
හා හා ඉතින් ඔය කණ්ණාඩියක් හොයන්න දුවන්නෙ.. උලමව බලන්න..! :P

ඔය පහලින් ඉන්නෙ ලංකාවේ සත්තු වත්තෙ ඉන්න උලමා නොවැ.. බලන්න අඳුරනවද කියලා.. :D 

                                                     ඔය ඉන්නෙ උලමා වගේම බලාගෙන..


විශාරද ගුණදාස මහත්මයගෙ "කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා උලලේනෝ " ගීතයත් අහලම බලන්න..

25 November 2011

ස්වේත ගෙත්තම..




සිතුම් කවි රළ පෙලට
ඇවිත් නුඹ ඇතහැරිය
ගෙනත් තව සත් ස්වර
වියයි පද ගැලපුමම...

ගියත් අද දුර ඈත
තබා සුසුමන් හදට
තුරල් කර තනිකමට
කරයි කවි ගෙත්තමම..

නැතත් නුඹ නෙතු ළඟම
තවත් කවි හද ගෙතුව
ස්වේත වර්ණෙන් බැඳුණ
ලියයි තව නුඹ නමම...

24 November 2011

මලක් නොදන්නා නමක්...

සඳ එළියේ චුම්බනයෙන් අළුත පිපුණ සමන් පිච්ච පොකුරු වල සුවඳ හීන් හුළඟට වැදී නාස්පුඩුවට තවත් ලං කලේ මා ඒ දෙසට තව තවත් ඇදගන්නට මෙනි.. තම පිට මත අසුන් ගන්නට සෑදුන නික ගහේ කඳ ආගන්තුක සත්කාර මැනවින් දත් ප්‍රාණි‍යෙක් සේ ‍කොළ වලින් සිහිල් සිනහවක් උණුසුම පෑය...
අදින් වසර ගණනකට පෙර නුඹ ලබා දුන් බලාපොරොත්තු ගොන්නක්ම මේ කොළ පත් වල ලියවී ඇත.. කෙදිනකවත් විඳ නැති නුඹේ හුස්ම සුවඳ‍‍ ලය පුරා ගනුවස්... සුළඟ දිගේ ඉව ඇල්ලුවෙමි.. නැත... එකම පොදක්වත් නුඹ මට ඉතිරි නොකලේය.. නැතිනම් නුඹ සඟවා ගත්තේය..
ආදරය ගැන ඇසූ දුටු නිගමනයන්ගෙන් මගේම ලොවක සිරවූ මම, නුඹගේ ආදරණීය ගල් පහර බාර ගත්තෙ ඒ ලොවෙහි පාදමට තවත් ගලක් මිස වෙනත් දෑසකින් නොවේ..
එහෙත් නුඹ..?
මගේ ගිනිසිළු පිටවන දෑස් හමුවේ.. හිරුසඳුටත් මුවාවෙන්.. මගේ හිතට තව තවත් එඹෙන්නට වැරගත් තරම්.. දහසකුත් කටයුතු අතර ජීවිතය ගෙවෙද්දි.. නුඹ "අකලට පරව යන මලක්" බව දැනගන්නට ලැබුණෙ අහම්බෙන්... වට පිටාව නිශ්ෂබ්ද වුණා වගේ මතකයි.. නොදැනිම කඳුළු බිදු ඇස්වලින් පහලට රූට්ටන්න වුණේ මටත් නොදැනිම.. අරමුණක් නැතිව ගෙවුණ ජීවිතයට නුඹේ ආදරණීය ගල්පහර මගේ ලෝකයේ පවුරු බිඳ ලොකු අදිෂ්ථානයකට පාර කපන්න මුල් ගල වුණා.. නුඹ නොදන්නවට..
මම නුඹ දිහා බලාන වුන්නා.. පාන්දර පටන් නුඹ කඩිසර කුහුඹුවෙක්.. කොළඹ සිට අවසාන දුම්රියේ එන තම සොයුරියව රැගෙන එන්නෙ එතරම්ම මහන්සි වූ පසුත් සොහොයුරු පෙමින්... මටම මා ගැන කලකිරුණා.. නුඹේ ජීවිතය අස්ථීර බව දැන දැනත් නුඹ දවසම දුව පනිද්දී.. අරමුණක් නැති ජීවිතය ගැන මම පසුතැවුණා.. බීරළු කවුළුවෙන් එළියට පැන ‍ගස්කෙළන් අතරින් තවමත් නුඹ නිදි නොමැති බව අඟවන කාමරයේ පහන් එළිය නිමෙන තෙක් මමත් නුඹත් සමග පොත් වල හරි හරියට පීනුවා.. ඒ නුඹ විසින් මට දුන්නු අධිෂ්ථානෙට පාර කපන්න ශක්තිමත් වෙන්න.. ඔව් මං හෙව්වා.. දැනුම, ලැබුවා අත්දැකීම්.., අවුරුදු ගණනක් ගොඩ නැගුණු මගේ ලෝකයේ මං විසින් දාගෙන හිටිය ආදර බැමි ටික ටික ලිහිල් වෙන්න අරගෙන... මේ ටික දවසට... ඔව් නුඹ මාව වෙනස්ම පුද්ගයෙකුට පරිපර්ථණය කරන්න පටන් අරන්.. රෑ නින්දට යන්න කලින් හැමදාම මේ පිච්ච මල් සුවඳත් එක්කම.. නුඹේ කාමරයට දුවලා ගිහින්.. නුඹේ හද ගැස්මට කන තියලා... ඒ හද රිද්මෙ තේරුම පහදගෙන ඔය නලලත සිඹ, සිහිනෙන්ම දුවගෙන එන්න මං කවදාවත් අමතක කලේ නැහැ..
ඒත් නුඹ...? හදිස්සියන්වත් මාව මුණ ගැහුණොත් හිනාවෙන්නෙ මට නෙමෙයි..  බිමට.. දුම්රියේ ඈත කෙලවරක ඇගිලි තුඩින් ඉස්සිලා... කාටවත් නොපෙනෙන්න..  නුඹේ ගල්පාර නිසාම ගෙදර අය නමකුත් පටබැඳලා තිබුණා නුඹට..! නොදන්න ‍නුඹේ නමට ගෙදර අය හැදින්‍නුවෙ ඒ නමින් වුණත්... මගෙ හිතෙන් නුඹට මං කතා කලේ ලෙන්ගතුව පොඩී...නමින්.. 
කාලය ගෙවෙද්දි නුඹේ හැම විභාගයකින්ම නුඹ විශිෂ්ධ ප්‍රථිඵල ගත්තා.. ඇයි නුඹ අරමුණක් දුන්න මමත්.. පා හැකිලීම්, වැටකඩොලු, කටුඅකුලු මතින් අඩිය ඉස්සරහටම යද්දී.. නුඹයි මමයි දැන හෝ නොදැන ගිය භාෂා පංතියට හිටිගමන් නුඹ එන්නෙ නැතිව හිටියා.. එදා ඉදන් මං ටියුට්ස් ගත්තෙ නුඹටත් එක්ක.. සටහන් ලිව්වෙ නුඹටත් එක්ක.. ඒත් හැරෙන පාරෙන්ම තේරුණා වෙනසක්.. නුඹ ගෙදර නැති වගක්.. බලාගෙන හිටියා.. නුඹේ නිවසෙහි ආලෝකයක් නැතිව... දවසක් දෙකක්..? නැහැ.. සති 2යි දවස් එකහමාරක්ම..! ඒත් කවදා හෝ සතුටින් යන්නට පැමිණි තාවකාලික නවාතැනෙන් කඳුළක් බරව සමුඅරගෙන යන්න සියල්ල සූදානම් වෙලා තිබුණ මොහොතක..! නුඹ රෝහලෙන් ගෙදරට එන මොහොත...!
විදේශයකට යන්න වුණේ... වැඩිදුර අධ්‍යාපනයට.. නුඹේ අරමුණ වෙනුවෙන්ම.. නුඹේ දසුනක් ඇස නොගැටෙන, නුඹේ සුසුමක් හඬ නොඇසෙන මානයක වුණත්... නුඹේ හද ගැස්ම මට දැනුණා.. ජය ගන්න හැම විභාගෙම ප්‍රථිඵල නුඹට දන්වන්න මං දුරකථනනාමාවලියෙන් හොයාගත්ත නුඹ ගැන එකම තොරතුර‍... නුඹේ ගෙදර දුරකතනය නාදවුණ හැම මොහොතකම මං වචනයක්වත් කතා නොකලෙ... ඔබේ සොයුරියගෙ කට හඬට... මට පිළිතුරු දෙන්න හිත් සතුටක් නොතිබුණ නිසා.... 
ඔබේ තොරතු‍රු අවුරදු ගණනක් හෙව්වා.. නුඹේ නම ස්කයිප් හරහා ෆේස්බුක් හරහා ඉඩක් ලද හැම මොහොතකම හෙව්වා... නුඹ සැඟවෙලා ගිහින්...! මගෙ හිත කවි ලිව්වා.. පොත් පිරෙන්නම... දවසක නුඹට තෑගි දෙන්න..
ඒ තනිකම එහෙම්මම තියෙද්දි... නුඹ පෙන්නුව පාර කෙලවර මම දැක්ක මගෙ සිහිනෙ උදාකරන්න කාලෙ ඇවිත්... අධ්‍යාපන කටයුතු සියල්ල නිමා කර.. එ රට වෛද්‍යවෘතියේ ඉහලම තැනක් හෙබවීමට.. දිරි දුන්නෙ නුඹේ අර පුංචි ගලින් ගොඩ නැංවූ ශක්තිමත් පාදමයි...!
මම නැවතත් ලංකාවට ආවා.. වෙන මොනවටවත් නෙමෙයි.. අවුරුදු ගණනක් මේ දෙනෙත් හෙව්ව.. නුඹ මඟහැරිය.. මගේ ජීවිතය හොයාගෙන...!
 ඔව්..! මම ආවෙ නුඹේ නිවසට.. හැමදේම වෙනස් වෙලා තියෙද්දි.. නුඹේ විශ්මිත ඇස් මාව අඳුරගත්තා..! නුඹ තාමත් කඩිසර කුහුඹුවෙක්...! හිතේ ශක්තිය නුඹව මිලිනත්වයෙන් ඈත්කරලා..! නුඹේ කටහඬින් සවන් වැකුන පළවෙනි වචන පේලිය..! 

"මේ ඔබෙන් මා ලද නුඹවත් නමක් නොදන්නා නම..!"


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ම, දයාබර තුහින බිඳට ආරාධනා...!!!


_ _වසර _ _ මස _ _ දින _ _ _හී දී‍‍... 
සුබ මොහොතින් 
ජීවිත ආදරයේ මුල් අකුරු කියවන...
 පුංචි පිළිකා රෝහල් මාලිගයේ... ජීවිතයට ආදරයක් නොලද..  දුක්විදින හිත්කැකුළු පොඩියනට
දිය උල්පතෙනි...  දයාබර නුඹෙගෙන් පැන් වදනක්..!!

මීට,
නුඹේම ජීවිතයේ
~තුහින පොකුර~ 
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

කතාව පිළිබද අදහස්, නිවැරදි කිරීම්,යෝජනා වගේම චෝදනත් අවංක හිතෙන් සතුටෙන් බාර ගනිමි.. :)

15 October 2011

අළුත් සෑර් හා ලොකු අයියලාගෙ බස් රැග් - 01

 සිංහලෙන් කතා කරන්න තියා මේ පළාතෙ සිංහල කෙනෙක් දකින්නවත් නැති නාදුනන රටක ඉද්දි, විස්සවිද්‍යාලයට නන්දුට යන්න වෙන්නෙ තනියම‍... සීත කාලෙ පටන් ගන්න ලඟ නිසා බස්එකේ වීදුරු, කවුළු ඔක්කොම වහගෙන තමයි මේ කාලෙට බස් ධාවනය වෙන්නෙ...එයාර්ටයිට්බස් එකේ හැතැප්ම ගානක් දවස ගානෙ ගියත් වංගු 47ක් පහුකරලා ගෙදර ලඟට එද්දි නන්දුට හොඳ ගණන්...  නන්දු ආව බස්එකට ස්කෝලෙ ඇරිලා මගින් ගොඩවුණ ළමයි ගොඩක්ගෙ සෙල්ලම් දැකලා නන්දුටත් නන්දුගෙ පාසැල් බස් එක මතක් වුණා.. හැබැයි මෙහෙ ස්කෝල වල විනය අතින් නම් අන්තිමයි.. ලංකාව ගැන සතුටක් හිතේවී.. ඒ ගැන කියොව්වොතින් නම්.. මං ඒ ගැන වෙනම පෝස්ටුවක් දාන්නම්කෝ.. :) ඔන්න එහෙනම් අළුත් සෑර් හා ලොකු අයියලාගෙ බස් රැග්කතාවට...
-------------------------------------------------------------------------------------------------------------
මතකනෙ අළුත් සෑර්ව.. ඔව් ඔව් අතිවිශිෂ්ඨ කෑම... :D දැන්නම් ලංකාවෙ තියනවද කියනම් නන්දු දන්නෙ නැහැ.. ගොඩක් කාලෙකින් නන්දු ලංකාව පැත්තටනම් ගොඩ බහින්න බැරි වුණා.. ඉගෙනීම් වැඩ කටයුතු නිසාම තමයි... :( මේ කතාව ඔය කෑම හා සම්බන්ධ රැග් කෑමක්.. :D
නන්දු හොස්ටල් ජීවිතෙන් අයින්වෙලා බැස්ටියාගම ඉදන් මුතුපුරට ස්කෝලෙ යන කාලෙ අපිටම කියලා විශේෂ ස්කෝලෙ බස් එකක් තිබුණෙ නැහැ. ඒත් උදේ 6.00ට ගෙදර ඉස්සරහින් යන බස් එකත්.. ස්කෝලෙ ඇරුණම තියෙන පොදු ගමනා ගමන බස් එකත් තමයි අපි හැමෝගෙම ස්කෝල බස්එක.. ඔය උදේට යන බස් එකෙ පළතුරු බීම ඇඩ් එකකුත්, හවසට යන එකේ ටෙලිෆෝන් ඇඩ්එකකුත් තමයි ඇඳලා තිබ්බෙ.. ඒ බස් හැදින්නුවෙත් ඒ නමින්ම තමයි..

බස් එකට අළුතෙන් එන හැමෝටම අනේ අපරාදෙ  කියලා කියන්න බෑ... එක වගේම තමයි ලොකු අයියලා ටික සලකන්නෙ.. රැග් එක අනිවාර්යයි... මං හිතන්නෙ කැම්පස් යන්න ඒ කාලෙ ඉඳන්ම ගත්ත තීරණයක්ද කොයිද.. ඔතනින් ඉතින් දන්න අඳුනන කවුරු හරි හිටියෙ නැතිනම්.. රැග් එක ටිකක් විතර දලුණු වැඩී.. ඇයි ඉතින් කියන දේවල් ඔක්කොමත් දරාගෙන ඉන්න වෙනවනෙ.. නන්දුටනම් ගෙවල් ලඟම අක්කියෙක් හිටියා හොඳවෙලාවට... ඒ විතරක් නෙමෙයි ඉතින්.. නන්දුගෙ අයියත් උසස් පෙළ කරන්න ස්කෝලෙ ගියෙ ඔය බස්එකේම තමයි.. ඔය ලොකු අයියා කෙනෙක් යන ස්කෝලෙටමනෙ නන්දුගෙ අයියත් ගිය... නිසා එයාටනම් රැග් දුන්නෙ නෑලු..

ස්කෝලෙ ළමයි ඉතින් සීසන්නෙ.. බස්එකට පය තියන්න ඕනෙ අනිත් අය ඔක්කොම නැඟලා ෂීට් ඔක්කොම පිරුණට පස්සෙ.. ඔන්න නන්දුත් දැන් අර අක්කිලත් එක්ක පළවෙනි දවසෙ ස්කෝලෙ ඇරිලා සෙනඟ පිරෙනකල් ඉදලා ඇවිත් බස්එකට නැග්ගා..  

මගක් ගියාට පස්සෙ අර ලොකු අයියා කෙනෙක් එනවා සෙනඟ පීරගෙන මේ පැත්තට.. ඔළුව වහලෙට ගෑවෙන්න අපේ බස්එකට හිටියෙ දෙන්නයි.. ඒ ‍එක්කෙකේ තමයි ඔය.. මඟදි හම්බවුණ ෂීට් එකේ ඉඳගෙන අදුරන අක්කිලගෙ ඔක්කොම බෑග් ගොන්න ‍තියාගෙන යද්දි ඉතින් පේන්නෙ බෑග් ගොඩ විතරයි.. (නීතියක් නොවුණත්, යාළුවෙක්ට ඉඳගන්න ෂීට් එකක් ලැබුණොත් බෑග් පැටවීම අනිවාර්යය වේ..) 

"නංගි ඕන් න.ල අයියා (මේ ඒ අයියට දාලා තිබ්බ කෙටි නම.. ඇත්ත නම කෙටි කරල තමාලු ඔය නම)  එනවා.. ඔයා සද්ද නැතිව ඉන්න.." 
මේ මගෙ අඳුරන අක්කා හෙමීට මාව බෑග් ගොඩ අස්සෙන් හොයලා කනට කරලා කිව්ව උපදේසයක්.. අනේ මමත් ඉතින් සද්ද නොකර ඒ උපදේසයම පිළිපැද්දා.. ඔළුව එහෙ මෙහෙ හරවන්නෙ නැතිව.. කීකරු බළල් පැටියෙක් වගේ.. පැත්තට තිබුණ වීදුරුවෙන් එළිය බලාගෙන.. අ‍පිට විරුද්ධ පැත්තට යන ගස්වල සුන්දරත්වය විදගෙනම..

"අහ් දැකලා නැති මූණක්.. නංගි අළුතෙන් නේද.."
 ඉවරයි.. බලන්න ඉතින්.. එකනෙ ඔච්චර උස යන්න එපා කියන්නෙ.. ජිරාෆ් වගේ බෙල්ලත් දිග් කරගෙන... අමාරුවෙන් හුස්ම පොදක් එකතු කරගත්තෙත් මේ බෑග් ගොඩ එහාට මෙහාට කරලා... සිකේ මෙහෙම අයියලා... වට පිටාවෙ සුන්දරත්වය බලන්නවත් දෙන්නෙ නැති හැටි... මමත් ඉතින් කීකරු වික්සෝප මූණක් මවාගෙන‍ නොදන්න ගානට ඒ පැත්ත බැලුවා..

"කෝ කියන්න බලන්න.. ආර්ට් ද ඩාන්ස්ද මියුසික්ද කරන්නෙ.."
 ආර්ට් නම් කලේ... කාගෙ හරි පිටකට කොලයක් තියලා එයාගෙ මූණ අඳින්න ඕනෙ.. මියුසික්නම්.. සිංදුවක් කියන්න ඕනෙ මුළු බස් එකටම ඇහෙන්න.. මේ තමයි එයාලගෙ වැඩ පිළිවෙල... ඩාන්සින්ග් නම් තමයි වැඩේ.. මං කලේ මියුසික්.. ඒත් මෙතන ඇත්ත කිව්වොත් වෙනදේ දන්නවනේ... මෙන්න ඩාන්සින්ග් කියන්න කට හද්දිම.. 

"අනේ බුදු නංගියේ ඩාන්සින්ග් නම් කියන්න එපෝ...!"
 (මේ සෙනඟ අස්සෙ මොන ඩාන්සින්ග්  නෙහ්..! ) අපි අහුවෙයි ඕවට.. අහන්න අකමැතිම උත්තරේ කියද්දි මං අඳුරන අක්කිත් එයාගෙ යාළුවොත් මං කියන්නෙ ඇත්ත කියලා එක හෙලාම කන්ෆර්ම් කරලා මාව ඒ දඩුවමෙන් නම් බේරගත්තා.. 

අළුත් සෑර්ගෙ අතිවිශිෂ්ඨ කෑම... ඔන්න ඔය බිස්කට් තමයි ගේන්න කියලා බාරදුන්නෙ පහුවදාට එනකොට මුළු බස් එකටම.. ඒ දේනම් ඉතින් අළුතෙන් එන  කාටත් අනිවාර්යයි... ඔය අළුත් සෑර් ආවම කාලෙ නෙ.. ඒකයි ඔය.. හැමෝටම දොලදුක.. :D 
අපරාදෙ කියන්න බෑ.. ඩ්‍රයිවර්අන්කලුයි,කොන්දොස්තර අයියටත් මෙයාලා දීලා බෙදාහදාගෙන තමයි කන්නෙ.. එදායින් පස්සෙ නම් හැමෝම එකම පවුලක සහෝදර සහෝදරියො වගේ තමයි.. ඔය බස් එක නැති වුණොත් අපි හැමෝම ප්‍රයිවට් බස් එකක යන්නෙත් එකට තමයි... ඊ ළඟට  බස් එකට අළුතෙන් ආව අක්කියෙක්ට නම් ගේන්න වුණේ අර අළුත් සෑර්ලගෙ චොක්ලට් බ්ස්කට් එක.. 

නංගිලා ද මල්ලිලා ද කියලා නෑ.. දෙගොල්ලොන්ටම රැග් තමයි.. මල්ලිලාටනම් ඉතින් සිංදුවක් අනිවාර්යයි.. ඒ වගේම රැග් කාලෙ ටිකක් විතර දීර්ගයි.. තරහවකට නම් නෙමෙයි.. :) රැග් කාලෙ ඉවර වුණාමනම් ඉතින් මතක් වුණාම ඕවා ගැන කියලා හිනාවෙනවා මිසක් කාවවත් පහතට දාලා කතා කරන්නෙ නැහැ.. ඇයි ඉතින් අනිත් අයත් ඒ වගේම ඒ හෝටලෙන්ම පරිප්පු කාලා තියෙනවනෙ.. :D 

"ජීවිතේ ලස්සනම කාලෙ පාසැල් කාලේ" කියලා ගොඩක් දෙනෙක් නන්දුට පොඩි කාලෙ කිව්වත්... ඒ කාලෙ නන්දු අකමැතිම කාලෙ වුණෙත් පාසැල් කාලෙ.. ඒත් අද.. එදා තිබුණ ඒ සුන්දර කාලෙ ගොඩක් ආදරයෙන් ආවර්ජනය කරනවා... ඒ පහුවෙලා දැනුන පාසැල් ජීවිතයේ සුන්දරත්වයත් එක්ක.. :)

ඈහ් දැන් නන්දුගෙ අයියා කෝ කියලානම් අහන්න එපා.. එයාට මේවට අත දාන්න තහනම්නෙ.. අනික අයියයි මමයි එකම බස් එකේ ආව ගියාට අළුත් නිසා අයියගෙ නංගි බව දැන ගත්තෙ ටිකක් කල් ගිහින්... ඒ දැනගෙනත් ඒකෙනුත් ගැලවීමක් නැති වුණේ මට.. ඒ කොහොමද කියලා ඊ ළඟ කොටසින් කියන්නම් හො‍‍‍ඳේ... :)

01 October 2011

දඟකාරයි හැඩකාරයි සමනළයින් වගේ... ~ පුංචි සමනල් පැටවුන්ගෙ ලස්සන හෙටකට ආදරයෙන්...


"අද අපේ දවස නේද...?" 
"මොන..? අද සෙනසුරාදා නොවැ... අද පංති දවසක්නෙ.. ආයෙ ගෙදර එන්නෙ හවසට..."
 ලස්සන අළුත් දවසක ආරම්භක ඇහිපියට අද තවත් එක් දවසක් විතරක් කරන්න ඉඩ තියන්න එපා... හිරිගඩු පිපෙන සීතලක, පළවෙනි අව්රැල්ලත් එක්ක පිනි වැටෙන දිහා බලාගෙන හිටිය.. ඒ දේ හදවතින්ම වින්ද යාළුවොත් එක්ක දුවලා පැනලා ඇවිද්ද ළමා කාලයක් නන්දුටත් තිබුණා... නත්තල් සීයා එනකල් තෑගි ගන්න රෑ පාන්දර වෙනකල්ම ඇහැරගෙන හිටිය.., උණ පඳුරු කපාගෙන ඇවිත් කාටවත් නොපෙනෙන්න කාමරේට වෙලා ලොකූ වෙසක් කූඩු හැදුව.., ගෙදරට හොරෙන් යාළුවොත් එක්ක පොන්ගල් බත් කන්න ගිය.., ඉස්කෝලෙ පොකුණෙන් ලස්සන සාරිගප්පි ගෙනාව... මල්ගස් වලට තනියෙන් කතා කල, කෝටුවක් අරගෙන තැලුව.. වෙලේ වැටි වැටි සරුංල් ඇරිය ලස්සනම ලස්සන කාලයක්...කියන්න ‍ලියන්න තව කොයිතරම් නම් සුන්දර දේවල් තියෙනවද...



කාලයත් එක්ක වෙනස් වෙන ලෝකෙ අද අපිට දුවන්න වෙලා තියෙන්නෙ සරුංගල් පස්සෙ නෙමෙයි.. අල්ලන්න වෙලා තියෙන්නෙ දංඩි පැටව් නෙමෙයි... හොයන්න වෙලා තියෙන්නෙ හැංගුණ හැංගිමුත්තො නෙමෙයි... අපි අපිවම නේද... හොඳයි පොඩ්ඩක් හිතලා බලන්න.. O/L, A/L ,Uni පටන් ගන්න කලින් හිටිය කෙනාමද ඔය ඉන්නෙ කියලා... ඒ සැහැල්ලුවෙන්මද ඉන්නෙ කියලා... තරඟකාරී ලෝකෙක අපිත් නිකන්ම තර‍ගයට දුවන අය වෙලා... මං කියන්නෙ නැහැ වෙනස් වෙන ලෝකෙ අපි එක තැන ඉදගෙන ඉන්න ඕනි කියලා.. ඒත් හිතන්න... අද පුංචි පැටවුන්ට දරාගන්න පුළුවන් කොටසක්ද පවරලා තියෙන්නෙ ඒ පුංචි හිත්වලට.. පෙර පාසැලෙන් එළියට එන්නෙ ශිෂ්‍යත්ව උපකාරක පන්ති වලට දක්කන්න බලාගෙන.. හිතේ පැලපදියම් වෙන්නෙ සාමලා අමරලා නෙමෙයි.. මහ බර ඉලක්කම්... බොළද වුණත් පුංචි කාලෙ අපි බලාගෙන හිටිය නත්තල් සීයලා, දිගට රැළි දැම්ම වෙසක්කූඩු හරහා අපි කොයිතරම් දේවල් ඉගෙන ගත්තද‍‍.. කවදාවත් පාඩම් කරලා.. පොතේ පතේ නොතිබුණ.. සල්ලි වලට ගන්න බැරි ආදරය.. එකමුතු කම.. බෙදා හදාගැනීම්... අත් හුරුව...(ප්‍රායෝගිකත්වය) දුක සතුට එකට දරාගැනීම්.. අද පුංචි පැටවුන්ට කොයින්ද මේ ජීවිතේ පාඩම් වලට ඉඩක්...? කොන්ක්‍රීට් වනාන්තර අස්සෙ හිරවුණ පුංචි සිත් පොඩින්ට උදේ රැයින් ඇහැරිලා කොන්දත් දෙකට නමාගෙන ලොකු පොත් මිටියත් එක්ක පොර බදන දඩුවමට සිතාසි නිකුත් කරලා තියෙන්නෙ කවුද..?



බිතෝවන්ට, ක්ෂේස්පියර්ට වඩා දක්ෂයින් බිහිවෙන්නට පිපිණු මේ කැකුළු හිත් වලට ගිරවුන්ගෙ න්‍යාය දාලා... පොඩියක් හිතන්න... අපි ගණනක් පොත බලන් 100 පාරක් හදලා.. ඒ සමීකරණය ටිකක් වෙනස් කරලා ඉලක්කම් එහාට මෙහාට කරලා දෙනවා.. ඔය ගිරව් න්‍යාය දැම්ම කී දෙනාට හරියට ගණන හද‍න්නෙ.. දෙමව් පියන් පොවන්න හදන පෙන්වන්නට උත්සහ දරණ මේ ලෝකයෙන් පිට බාහිර ලෝකයේ රස දරුවට වැටහුණොත්.. දෙමව්පියන්ට නැතිවෙන්නෙ තමන්ගෙ හීන විතරක් නෙමෙයි.. තමන්ගෙ හීන ජීවත් කරන්න හිටිය දරුවවත්...
"ඔයාට බැරිවුණානෙ අර ළමයට වඩා ලකුණු ගන්න.." "බලන්න අර ළමයා පන්තියෙ පළවෙනියා.." "එයාට පුළුවන්නම් ඔයාට ඇයි බැරි..?" මේ අපි කාටත් පුංචි දවස් වල අප්‍රිය කසායේ වචන ටික... ඊළඟට අයියෝ.. ඔයා සාමාන්‍ය පෙළ ගණිතය ෆේල්.. දැන් ඉතින් අපේ නම්බුවත් ඉවරයි.. කොහොමද නෑදෑයින්ට මූණ දෙන්නෙ..? අනිත් විභාග ගැන මං කියන්න යන්නෙ නැහැ.. ඇයි මේ...? ඔබගෙ හීන නිසාද...? ඇත්ත ඔබ නැති කලක ඔවුන්ට හොඳ දවසක් උදාකරන්න ඔබ දරණ උත්සහය අමිලයි.. ඒත් ඇයි එක හොඳක් දකින්න බැරි.. ඒ ළමයා විභාගෙට වාඩිවුණ එකම ලොකු ජයග්‍රහණයක් නෙමෙයිද..? අපි කවුරුත් අකමැතියි නේද පරදිනවට.. කවුරුවත් අසමත් වෙන්න විභාග ලියන්නෙ නැහැනෙ... අධ්‍යාපන විභාග වලින් ජය අරගෙන ජීවිතයේ එක විභාගයකින් පැරදුනොත්..! බහුතරයකගෙ විසදුම සියදිවි හානිය.. දුක දරාගැනීම ගැන කොයිපොතේද තිබුණෙ නේද..? පුංචි පුංචි දේවල් වලින් මහ ලොකු විනාශයන් ඔවුන්ගෙ ජීවිත වලට වෙද්දි ඔබ ඔවුන් ළඟ නොයිදින්නට පුළුවන්.. අතින් අල්ලගෙන පාර පෙන්වන්න.. මේ දේවල් ඔවුන්ට විතරක් නෙමෙයි.. ඔවුන්ගෙ දරුවන්ටත් බලපාවි..



හැම අවුරුද්දෙම අද වගේ දවසක පාසැල් තිබුණොත් එදාට ඉගෙන්නිලි නම් බොරු අපේ ස්කෝලෙ.. එදාට ගුරුවරුන් එක්ක මුහුදු වෙරළට අපි හැමදෙනාම යනවා...  එදාට ස්කෝලෙ ගානෙ මුළු ඉස්කෝලටම අයිස්ක්‍රීම් පාර්ටියක්... ගුරුවරුන් එක්ක නිදහසේ ළමයින්ට කතා කරන්න පුළුවන් දවසක්... මෙහෙම දවසක මට මතකයි අපේ පන්ති බාරව හිටිය රෝහිණී මිස් කිව්ව එක දෙයක්... "පන්තියෙ හැම ළමයටම පුළුවන් පළවෙනියා වෙන්න.. පන්තියෙ ළමයි 35 දෙනාම පළවෙනියට ආවොත් කවදාවත් ගුරුවන්ට බැහැ ඒ ප්‍රථිඵලය නොදී ඉන්න.." ඇත්තටම මං ඉගෙන ගත්ත පාසැල් වලින් ළමයින් එක්ක සුහදව හිටිය ගුරුවරියක් ඇය.. දෙවන මව්පියන් හැටියට ගුරුවරුන්ටත් ළමාලෝකයේ ළමා කාලය ගැන යම් වගකීමක් තියෙනවා... දෙමව්පියන්ගෙන් පස්සෙ දරුවන් වැඩි පුර ගැවසෙන්නෙ, කාලෙ ගතකරන්නෙ ඔබත් සමඟ... ඇත්ත තියෙන වැඩ කන්දරාවත් එක්ක එක එක ළමයට පෞද්ගලිකව වැඩි අවදානයක් යොමු කරන්න කාලයක් හොයාගන්න බැරි බව.. ඒත් විමසිල්ලෙන් ඉන්න.. පුංචි මල් කැකුළු වල හැම ඉරියව්වක්ම හ‍දවතේ යම් දෙයක් ප්‍රකාශ කරනවා.. සමහර විට ගෙදරින් නොලැබෙන සෙවන ඔබෙන් බලාපොරොත්තු විය හැකියි.. ගහලා, බැනලා, සැර කරලා, කොන් කරලා කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා ඔබගෙ යුතුකම් හා වගකීම් ඔවුන් වෙතින් ඉටුවෙයි කියලා..
මට මතක් වුණේ පැරණි කවියක්..


"බැරි දේ දරුවන්ට හරි හැටි කියා නොදී
බැටදේ නම් ක‍ල දේ යැයි වැරදී
කෙවිටේ බලෙන් එනවා නම් නුවණ ඇදී
මෙරට ගොනුන් පඬුවන් වනු ඇත ළඟදී.."

හැමදෙයක්ම වෙනස්වෙන තරඟකාරී ලෝකයේ අපි එකතැන ඉන්න ඕන කියන එකනම් නෙමෙයි මම කියන්නෙ... ඒත් පුංචි දරුවන්ගෙ ‍ළමා කාලය.. ඒ සිතුම් පැතුම් හරි වටිනවා..ලොකු වුණාමත් ඒ අය මතක් කරන්නෙ ළමාවියේදි ලැබුණ අත්දැකීම්, ගුරුහරුකම් වලින් තමන්ගෙ ජීවිතේ ගොඩනගා ගන්න එක.. පළවෙනි අත්තිවාරම ශක්තිමත් නැතිනම්.. පලුදුනම්.. කොහොමද ඒ මත ශක්තිමත් අනාගතයක් හදන්නෙ.. දරුවට යන්න පුළුවන් හැම ඉසව්වකටම පාර පෙන්වන්න.. හොඳ නරක ආදරයෙන් කියලා දෙන්න.. අදහස් බෙදා ගන්න.. ඒත් බලෙන් තල්ලු කරන්න එපා.. ඔබේ හිතේ ඉන්න කෙනාව උපදවන්න ඒ දරුවගෙ හීන මරන්න එපා.. ඔවුන්ගෙ හිතේ ධෛර්යයෙන් නැගිටින්න කියලා දෙන්න.. බලන්න ඔවුන් ඔබටත්, රටටත් ලොවටත් ඔබේ නම බබලන හැටි...
අපේ දිනයේ අපි ගැන කතා නොකලොත් ලොකු අඩුවක් නේද.. අපි පුංචිම පුංචි කාලේ ... ඒ කියන්නෙ කිරි දත් එන්න කලින් කාලෙ.. ඊට පස්සෙත් අපි ගොඩක් දෙනෙක්ට මතක නැතිව ඇති... ඒත් මේ හැම දෙයක්ම අපේ දෙමව්පියන්ට මතකයි.. අපි ශරීරයෙන්.. අපේ අදහස් වලින්... වගකීම් වලින් සන්නද්ධ වෙද්දි... අපිව මේ තත්වයට ගෙනෙන්නට කැපකිරීම් කල.. අපේම දෙමව්පියන්ගෙ අගය අපිට අමතක වෙන්න පුළුවන්.. මේ short films වලින් මං ආසම ලස්සන තේරුමක් තියෙන එකක්... මේ පුංචි සිතුවිල්ල ඔයාලගෙ පුංචි හිතට බාරයි..!



එහෙනම්.. සතුටින් පිරුණු හෙට දිනක පුංචි සමනල් පැටුන්ට අළුත් ලෝකයක් උදාවෙන්න සු පැතුම්....!!!!  නන්දුගෙනුත්..

22 September 2011

විහඟ තටු ලැබ...!


කියනු මං නොහී
ගලපගනු බැරී
සිතට මං නොකී
රහස දැන් දනී

තබා ලය මත
වසා සුරැකිව
කඳුළු බිඳුවක්
නඟන සිනහව

කඩළු වැට බැඳි
නුඹෙන් ගිනි ලැබි
වදන් හද රැඳි
නිවයි කවි හිමි...!

සියක් යදමින් නුඹේ වදනින් බඳ තැබුණු මා... යළි සොයාගතිමි විහඟ බඳක්..!

18 September 2011

ආයුබෝවන්..! නන්දුගේ බ්ලොග් පිටුවට... සතුටෙන් පිළිගන්නවා..


පුංචි නන්නාඳුනන හිතක්..‍. ජීවත්වෙන්නට තියෙන කෙටි කාලය තුල මේ ලෝකය ගැන, මේ ජීවිතය ගැන මගේ ඇසින් දුටුව, හිතට දැනුන දේවල් අකුරු කරන්නට දරණ පුංචි උත්සහයක්... 
සිංදුවලට,නවකතා,කෙටි කතාවලට,පරිසරයට ගොඩක් ආදරය කරන නන්දුගෙ ලෝකයට ඔබ සැමට ඇරයුම්..!!!