ඈත කඳු එහා මෙහා නොපෙනෙන මීදුමකින් වැහෙන්න පටන් අරන්... ඇඟිලි තුඩු තව තවත් සීතලෙන් රිදුම්දෙද්දී..උණුහුමෙන් ගුලිවෙන්න ස්විටරයෙ තුරුල සොයායමින්.. මනාලියකගේ වේලයෙන් ඉහිරෙන මුතු පොකුරක් හුළඟින් එහාට මෙහාට නළවන, පහළින් ඇති පහන්කනුවෙ එළිය වැටී දිලිසෙන හිම වරුසාවන් මවන දසුන් තුන්වෙනි මහලේ සිටින මගෙ හිතට කියාගන්න බැරිවුණ අමුතුම හැඟීමක් එකතුකරයි.. කොයිතරම් හිත මිතු මිතුරියන් සිටියත්, තාක්ෂණය කොයිතරම් දියුණු වුණත්.. මේ වෙලාවට ලැපයේ තිරයත් මා දිහා බලා සිටින්නේ කොයිතරම් පාලුවකින්ද.. වෙලාවකට එකම මිතුරෙක්වත් පේන්න ඉන්න නැතිකොට.. ඒ හැමදෙයක්ම ඉනද්‍රජායකින් නොපෙනී ගොස් ඇතැයි සිතෙනවා..
හිත වෙනදටත් වඩා හීතලෙන් හිරිවැටෙන්නෙ සෘණාංකය වැඩි නිසාම නෙමෙයි. අවුරුදු ගණනක තනිකම ඉවසුවත් තමාවෙනුවෙන් තව කෙනෙක් ඉන්නබව දැන දැනත් ඒ ආදරයේ ළඟ නැති අඩුපාඩුවේ හිඩසටයි මේ.. වෙලාවකට හදවතේ ගැඹුරටම පැන ඒ තනිකම හිත රිද්දන්න වැඩි වෙලා නොයන බව ඔබටත් අත්දැකීම් ඇති. රටින් දුර බැහැර ඉන්නා ප්‍රියයන්ගෙන් ඈත්ව සිටින්නට වන්නා වූ කාලය සෑම විටම ඒ ආදරය නැති අඩුපාඩුවම මහා තනිකමක් සේ දැනෙන වග මා මෙන්නම ඔබත් විටෙක අත්දැකීම් මත පිළිගන්නවා ඇත.
එතෙක් මෙතෙක් පරතෙරක් වන් වූ බවක් කිව නොහැකි සාගර ගැඹුර තෙක් දිවෙන සිතිවිලි කල්පනාවන්, විටෙක විහඟුන් සේ සිත් අහසින් ආවරණය වන්නාවූ ක්ෂිතජ නිම්නය තුල දෙපියාපත් විදා සැරිසරති. සැහැල්ලුවෙන්ද.. තවත් විටෙක රංචු වශයෙන්ද බොහෝමයක් විට දෙමලිච්චන්ගේ කිචි බිචියෙන්ද එකින් එක පරයමින් ගොස්.. මේ හැමටම සිතිවිල්ලක් ව මනැස නිරතුරු අයැදින පිළිලක් වන්ව නිතැතින් සිත් මඬල මධ්‍යට ගොඩවදින ඒ අතීතය.. ඈල වැල් පාලමක පැද්දෙන රිද්මයෙන් හදවතට සමීපකරන්, මේ සීත රෑ නිදිවර්ජිතව යහනේ තබන්නේ නිතැතිනි. බොහෝ වෙහෙසකර දවසේ නිමාව, විටෙක රිදුම් දෙන මස්පිඬු අතරට වඩා තනිකමෙන් මිරිකෙන හදවත දරුණුය..
එහෙත්.. ගතකල සුන්දර අතීතය මත තව තවත් අනාවක බලාපොරොත්තු මූදු සතක දුර සිට නැවත නැවතත් දළුලමින්.. මතක ලුහු බඳීයි. ආදරණීය වදන්.., උණුසුම් චුම්බනයන්, හදවතින්ම දකින්න මඟ බලන විටෙක ළඟ මෙන් ඇසෙන මනසේ රැඳි ඒ හිනාවන්.., නොනිදි සිත් යහන මත රහසේම විටෙක උණු කඳුළු සගවති. අතීතයත් වර්තමාණයත් අනාවකත් අතර දෝලනය වන්නා වූ පරතෙරක නොනිමි කල්පනා දුරස්වූ පෙම්වතුනට උරුමවූවකි.
එකිනෙකාට තුරුළුව පියැඹූ, උණුහුම විදි විහඟ පෙම් යුවලගේ සිහින සොයා සිහින තොටුපලින් පෙම් රැහැනින් දුරස් වීමේ අවසාන දසුන නිතර මතකයෙ මැවෙයි. සිහින සොයා ගුවන්තොටුපලින් දුර රට ඉගිලෙන පෙම්වතුන්ගේ භාෂාවට රචයකා විසින් මෙමෙ යෙදුම කෙතරම් ලබැඳි කොට ඇද්ද....
ඒ... සිහින එකතු කරන සහ ආදරය කෙටිකලකට වුව වෙන්කරන තොටුපල "සිහින තොටුපලයි."
රෑ දුරු රට මේ..
හිම වරුසා.. සීත පාලුවේ…
මූදු සතකින් ඈත දේසේ
මා තනිවේ..
කල්පනා ලෝ පෙම් දැහැනේ
ක්ෂිතිජ නිම්නයේ
රෑ තනි යහනේ…
දෑත වෙන්වී පෙම් විහඟුන්
සිහින තොටුපලේ
රාත්‍රි යාමේ..
සීත පාළු රැයකදි කෙතරම් වෙහෙසව සිටියත් කන්දෙකින් කාන්දුව හදවතේ කල්පනාවන් බැඳ තබාගන්නා පණ්ඩිත් අමරදේවයන් තරම් ගීතයක භාව ප්‍රකාශය කළ හැකි ගායකයෙක් නොමැති තරම්. මේ ගීතයේදී පද පෙළට සහ ගීතයේ අරුතට ගැලපෙන්නට අමරදේවයන්ගේ හඬ තුල මහා තනිකමක්, දැනෙන පාළුවේ ගැඹුරත් කියාපායි. ආදරය, දුරස්බව සහ තනිකම එකට යාකොට සැදි සරල පබැඳුම් කිහිපයකින් ඉතාම සංවේදී පණිවුඩයක් හදවත පත්ලටම දෙන්නට අජන්තා රණසිංහයන් සමත් වී ඇත. දුක සහ තනිකමට වඩාත් සමීප සංගීත භාණ්ඩයන් වන බටනලාව සහ සිතාරය මනාව යොදාගැනුමෙන් සරත් දසනායකයන්ගේ සංගීත නිර්මාණය ගීතයේ අරුත තව තවත් ඔපදමන්නට සමත්වී ඇත.
දුරු රටක තනිකමක් වූ සීතල පාළුවෙන් බැඳි ඒ ආදරණීය මතකයන්.. යළි යළිත් ආවර්ජනය කරනු වස් නිදි නොමැති විටෙක අන්තර්ජාලයද ආදරයට බකට් බාල්දි අඳින කල.. පෙර කිසි කලක හිත නොනැවතුණ මේ ගීතය එවූ.. මා මේ ගීතය තුලින් දකින ෴දයාබර නුඹ නමට෴..