26 December 2011

උණුසුම් හිම පිහාටු..

"We wish you a Merry...
Merry Mer..."


කරට අත දාගෙන යාන්තමට පියවීගෙන යන මත්වුණ ඇස් වැනි වැනී සුදු හිම මතුපිට එහෙට මෙහෙට පා සටහන් වලින් රටා මවපු නදීෂගෙත් යාළුවන්ගෙත් දෑස් ඉදිරිපිට ති‍බුණෙ තමන්ගෙම ලෝක විතරයි.. ඉගෙන ගන්න අතර අතිරේක රැකියාවක් කලත් මාසෙ අන්තිමදි වටේටත් ණයවෙන යාළුවන්ට.. අදි මදි නොකරන්න කවදත් තමන්ගෙම මුදලින් සලකන නදීෂට යාළුවන්ගෙන් ලෝකය පිරිලා හිටියේ තමන්ගෙ 'ඉටු දෙවි' නදීෂ කියලා හිතාගෙන හිටිය පිරිසක් එක්ක.. 


සාක්කුවේ කොයිපැත්තෙන්ද ඇහුණු දුරකතන‍ය වෙරිමතින්ම අතට ගත්තු නදීෂ ඒ දිහා බැලුවෙ ඕනාවට එපාවට..


Calling >>>Home<<< 


"ෂ්... වහගන්නවලා ඔය කට.. ගෙදරින් කතා කරන්නෙ.. මාට්ටු වුණොත් උඹලගෙ දෙවියට වීසා කැන්සල් හරී..."
යාළුවන්ගෙ දිහාවට හැරැණු ඔහු අතින් සන් සලේ විකාරයෙන් දොඩවන යාළුවන්ට..


"හ හලෝ..."


"පුතේ.. අද නිවාඩුද පුතාලට..? දැන් රෑට කෑවද පුතේ.."


"අ.. අම්මේ.. ඔව් අම්මේ.. මේ.. මං පස්සෙ ගන්නනම්කො.. මං වැඩක ඉන්නෙ.."


"පුතේ ඔයා අසනීපන්ද.. කට හඬ වෙන..."


කී.....


තවත් දේවල් කියන්නට කලින් විසන්දි කල දුරකතනයෙන් ආව හඬ දිහා බලාගෙන හිටිය නදීෂ හිනාවුණේ කට කොනකින්.. 


"තාත්තේ.. මට පිටරටක කැම්පස් එකකට යන්න ඕනෙ.."


මීට අවුරුදු හතරකට කලින් තාත්තගෙ ඉස්සරහා මූණ නමාගෙන කිව්ව හැටි නදීෂට මතක් වුණේ නිතැතින්.. තමන්ගෙ ජීවිතේ අනාගතය හදාගන්න.. අනිත්වුන්ට වඩා ඉස්සරහින් ඉන්න.. පිටරටක තියෙන තාක්ෂණයත් එක්ක මෙරටට ගැලපෙන්න.. නදීෂට ඕන වුණා.. මොනම විදිහකින් හරි එතැනට යන්න.. හොඳට ඉගෙන ගන්න.. තමන් එක්ක එකට ඉගෙන ගත්තු යාළුවෝ වගේ ලොකු ලොක්කො වෙන්න..
මේ බවක් අම්මට කිව්ව දවසෙ ඇස් දෙකේ පුරවන් හිටිය කඳුළු වෙනතකට හැරිලා රහසෙම පිහදාගත්ත හැටි නදීෂ දැක්කෙ නැතත්.. ඇස්වල තිබුණ තෙතමනය හංගගන්න එකම පුතාගෙ බලාපොරොත්තු වෙනුවෙන් අම්මට බැරිවුණ බව දැක්ක නදීෂට ඒ බවක් හිතන්න එදා ඉස්පාසුවක් තිබුණෙ නැහැ...


"උඹව ඔච්ර දුරකට ඇරලා අපි මෙහෙ සැනසිල්ලෙ ඉන්නෙ කොහොමද පුතේ.. කාත් කවුරුවත් නැතිව.. උඹයි අපියි දෙගොල්ලොම තනිවෙනවා.. අපිට ඉන්නෙ උඹ විතරයි.. අනික ඒ තරම් ගාණක්...! අපි කොහෙන් හොයන්නද පුතේ.. තාත්තට කිව්වද මේ ගැන.."


කොතරම් හිත හදන්න උත්සහ කලත්.. නදීෂ මැව්ව ලොකේම තව තවත් ඈතට ඉගිලුණා..


"අම්මගෙ එකම පුතා වෙනුවෙන් වියදම් කරන්න බැහැ එහෙනම්..! හොඳයි එහෙනම් මං හොයාගන්නම්කො.."
එදා උදෙන්ම ගෙදරින් පිටවුණු නදීෂ රාත්‍රියේ නිවසට එන විට තාත්තගෙ රැල් බුරුල් මැද තවත් පියවරක් ඉදිරියට ඔසවගන්න බැරිව දෙපා නතර වුණා ඔහුට මතකයි..


"උඹ කාටවත් ණය වෙන්න ඕනෙ නැහැ.. මේ ටික තියාගනින්..!"


අතට ලැබුණ මුදලින් නදීෂ ඉගිලුනේ මුහුදු උඩින්.. නවාතැන් ගත්ත තැන සිට විශ්වවිද්‍යාලයට කිලෝමීටර් ගණනක් ගෙවන්න තිබුණත් සුළු මුදලකට හෝ ලැබුණ මේ නවාතැනේ සිට නදීෂ තමන්ගෙ අනාගතේ පියවර මනින්න ගත්තා.. කාත් කවුරුවත් නැතිව තනිවුණ ඔහුට හිටියෙ ඒ රටේම යාළුවො රොත්තක්.. වියදම් වැඩි වෙද්දි නදීෂ රැකියාවක් හොයාගත්තත් ඒ මුදල් සතියෙ මුල සිට අනිත් අත බලන විට ජීවත් වෙන්න මදිවුණත්.. නදීෂගෙ නිවසින් එවන මුදල් ඔහුව තව තවත් පොහොසතෙක් කලා.. යාළුවන්ගෙන්..!


තම පුතාගේ අනාගත සිහිනය වෙනුවෙන් තම සන්තකව ඉතිරිවුණ වහල උගස්කර බැංකුපොතේ තිබුණ අන්තිම සතයත් අතට ගත් තාත්තා ඒ බවක් හැමෝගෙන්ම සැඟවූ බවක් නදීෂ දැනගනිද්දී... ගේ දොර සින්න වෙන්නට යන බව දන්වන ලියුම් ගෙදරට එන්න පටන් අරන්... ඒත් නදීෂට ඒ වගකට උත්තර බඳින්න වෙලාවක් තිබුණෙ නැහැ.. කාලයත් එක්කම නදීෂ යා‍ළුවොත් එක්ක පන්තිවලට සහභාගීවීම මඟ හැරියා.. තමන්ගෙ හීන මත්වුණු වතුරෙන්.. පිච්චෙන දුමෙන් හළුකරලා අහසට හරින්න පුරුදු වුණා.. සීතලට දැනෙන තනිකමට එයින් තවත් මි‍තුරෙක්ව හෙව්වා..


"සුබ නත්තලක් පුතා..!!"
නදීෂ කල්පනාවෙන් වීසිවෙලා යාළුවො රොත්ත මැදට වැ‍ටුණෙ ඒ හඬින්.. තමන් දිහා කරුණාවෙන් බලාගෙන හිටිය දෑස දිහා නදීෂ බැලුවෙ ඇස් පුංචි කරලා..


"සුබහ්..! හ්ං සුබ කොහෙද අන්කල්.. ඕන් නත්තල් නම් තියෙනවා... යනවා යන්න.. සුබහ්ං චමින්ද.. හූ..... හූ... හූ..."
සද්දෙට හිනාවුණ යාළුවන්ගෙන් ඇසුණ කවට වදන් ගණනකටවත් ගත්තෙ නැති ඒ වයසක පුද්ගලයා නදීෂගෙ පිටට තට්ටුවක් දාගෙනම සීත හිමේ නදීෂගෙ යාළුවො පසුකරන් ආව මඟ දිගේ නොපෙනී ගියා..


"වරෙන් බං යන්න.. තව හිම වැස්සකට කලින්.. පාරෙ හිටියොත් අයිස් කුට්ටි තියෙයි හෙට.."
නැවතත් වාරු කරගත් යාළුවො තමන්ගෙ ලෝකයෙම පාවෙමින් කටට එන වචන කෑලි අහුල ගනිමින්.. සැහැල්ලුවෙන් ඉදිරියට පය තිබ්බත් අඩි දහයකට වඩා වැඩි නැති පියවරින් ඇහුණු කන්බිහිරි කරවන ශබ්දයෙන්.. හතර අත කැරකෙන මනසින්.. දෑසට එල්ල වූ තද ආලෝක එළියෙන් යාන්තමට වෙව්ලන ඇස්වලින් නදීෂ දැක්කේ තමන්ට මොහොතකට කලින් සුබ පැතුව.. යාන්තම් හිනාවක් මුහුණේ රැදුණු ඒ වයසක පුද්ගලයව..


ඇස් දෙක හෙමින් අරින්නට වෙර දරද්දී.. අවටින් පෙනුන සුදු පැහැති ආලෝකය නැවතත් ඇස් දෙක පියවන්නට උත්සහ දරණ බවක් දැනුනත්.. නදීෂට ඕ‍න වුණේ තමන්ගෙ හිසට මෙච්චර බරක් දැනෙන දේ මොකද්ද කියලා බලන්න..  හතර අත ඇස් කරකවලා බැලුවත් තවමත් තමන් ඉන්න තැන අඳුරගන්න නදීෂට බැරිවුණා.. අන්තිමට මතක ඇති සියළු දේ එකින් එකට පෙලගස්වන්නට උත්සහ ගත්ත නදීෂට පසුගිය රාත්‍රියේ සීත හිම මැද්දෙන් යාහළුවන් සමඟ පැමිණි ගමනත්.. කරුණාබර, හුරු පුරුදු මහළු මිනිසාගේ සුබ පැතුමත්.. දෑසට එල්ලවූ ආලෝකයෙන් රිදුම් දෙන්නට වූ සිරුරත් ඔහුට රූප පෙලක් මෙන් මැවුණා.. උදව් ඉල්ලලා කෑ ගහන්න ගත් උත්සහය ව්‍යාර්ත වුණේ නදීෂගේ තොල් යන්තම් හෙලවෙමින්... තමන්ගෙ අතට දැනුනු උණුසුම් සුසුම් රැල්ලකින් යාන්තමට ඔළුව හරවලා බැලුව නදීෂ දැක්කෙ තමන් දිහා බලාගෙන ඉන්න ඒ කරුණාබර ඇස්..!


"පුතාට දැන් කොහොමද.. තවම ඔළුව රිදෙනවද.."
 නිවුන හඬින් තම දුක සැප විමසන මේ මිනිසාගේ වදනින් වගේම සාත්තුවෙනුත් නදීෂගේ තුවාල ක්‍රමයෙන් සුව අතට හැරෙමින් තිබුණා.. ‍නදීෂව බැලීමට රෝහලට පැමිණෙන එකම නෑදෑයා වගේම එකම හිතවතා වුණේ මේ වයසක පුද්ගලයා විතරයි..


"අහ්.. නදීෂ හොඳින් නේද.. මං පස්සෙ කතා කරන්නම්කෝ.. දැන් වැඩක්.."


තම යහළුවන්ගේ විසන්දි කරන දුරකතන වලට කොතරම් උත්සහ කලත් සම්බන්ධ කරගැනීමට නොහැකිවුණ නදීෂට ඇතැම් විට ලැබුණෙ මෙවැනි ප‍්‍රතිචාර.. ගෙවීමට නොහැකිව ඉතිරි වූ හිඟ මුදල් හේතුවෙන් නවාතැනින් නදීෂව පිටමං කර තිබුණා..


රෝගීන් බලන වෙලාව එනතෙක් නොඉවසිල්ලෙන් ඉන්න නදීෂට එදා ඔරලෝසුවේ කටු ගෙවුණෙ ඉබි ගමනින් වගේ.. මාස ගණනක් කූඩුවක හිරවුණ කුරුල්ලෙකුට නිදහස ලබන අද දවස... බලාපොරොත්තුව හුන් නදීෂ තවමත් බලාගෙන ඉන්නෙ මෙච්චර කලක් තමා ලඟම හිටි ඒ කරුණාබර දෑස් දකින්න.. ඇතුළුවන දොරෙන් මතුවෙන දෑස් අතර හොයන ඒ පුරුදු රුව වෙනුවට කුඩා පාර්සලයක් අතැතිව තමා දෙසට එන වෛද්‍යවරයාගේ දසුන නදීෂගෙ හිතට ගෙන ආවේ කුතුහලයක්...


"ඔයාට දැන් හොඳටම හොඳයි.. ගෙදර යන්න පුළුවන්.." නදීෂව පරික්ෂා කර බැලූ වෛද්‍යවරයා අවසන් නිගමනය ප්‍රකාශ කලා..


"ඩොක්ටර්.. මාව බලන්න ආව අර සීයා එනකල් මට ඉන්න පුළුවන්ද..? එයා මට ගොඩක් උදව් කලා.."


"අහ්..! තව ටිකකින් මට අමතක වෙනවා.. මෙන්න මේ පාර්සලේ ඔයාට දෙන්න කියලා තිබුණා.."
ඔහු අත රැදි ඒ කුඩා පාර්සලය නදීෂගේ අතට පත් කල ඔහු යන්න ගියා..


මෙ‍පමණ කලක් නදීෂට අමතකව තිබුණු  දෙයක් නැවත සොයන ‍ලෙසින් ඔහු ඉක්මනින් දුරකතනයේ යතුරු පුවරු මත තම ඇඟිලි ගෙන ගියා... ඇමතුමට එහා කොනෙන් ගලාගෙන ආවෙ තමාට අමතක වුණ අමතක කරන්නට උත්සහ ගත්ත ඒ කට හඬ..


"හෙලෝ.."


"අම්මේ... "
බොඳව ගිය ඇස්වලින් කඳුළු කැට කඩාගෙන වැටෙද්දී.. තමන්ගෙ හඬින් ඒ ඇමතුම ගෙවීගිය අවුරුදු ගණනට නදීෂගෙ හදවතට අද තරම් ලබැඳිව කතා කල දවසක්.. ඔහුට මතක්වුණේ නැහැ..


"මගෙ පුතේ.."


"අම්මයි තාත්තටයි සුබ අළුත් අවුරුද්දක් වේවා.. අම්මගෙ පොඩි පුතාගෙන් මේ අවුරුද්දට වටි..."
ඉතිරිය කියාගන්නට තවත් වචන ඔහුගේ දිවග නැත.. රෝහලේ කවුළුව එපිටින් පියඹන හිම පිහාටු අතරින් ඉදිරියම ඇදුණ නදීෂ ඉතිරිව තිබුණ මුදලුත්, තමාගේ ගුවන්බලපත්‍රයත් රැගෙන ඉක්මන් ගමනෙන් ලංවුණේ... ගුවන් තොටුපලට.. ඒ ඔහුගෙ ජීවිතේට ඒ කරුණාබර දෑස් වලින් ලැබුණ ලොකුම තෑග්ගත් අරගෙන..
ඒ.... තමන්ගේ එකම පුතා එනතුරු පෙරමඟ බලා හිඳින අම්මගෙයි තාත්තගෙයි දයාබර වදනක් හිතේ ගුලිකරගෙන..!


‍වයසක මනුෂ්‍යයා ගැන යමක්..

සමහරවිට ඒ අපේ යටි හිත වෙන්න පුළුවන්.. සමහර විට අපේ ජීවිත වලට අහම්බෙන් ගොඩවදින අමුත්තෙක් වෙන්න පුළුවන්.. සමහර විට අවුරුදු හතරක් තිස්සේ ණය බරින් නිදහස්වෙන්නට තමන්ගෙ ජීවිතේ දියවෙනකල් ගත කල නදීෂගෙම පියා වෙන්නත් පුළුවන්.. ඒ ගැන තීරණය ඔයාලට බාරයි.. :)

------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මේ මගේ දෙවෙනි කෙටි කතාව.. 
අඩුපාඩු ඇත්නම්.. වෙනස්විය යුතු තැන් තිබේනම් පෙන්වා දෙන්න යාළුවනේ.. සතුටින් බාරගන්නවා.. :)

14 December 2011

කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා.... උලලේනෝ....

අදට සති 2-3කට කලින් අපේ ගෙදර එක ජනෙල් වීදුරුවක හරි අපූරු සටහනක් තිබුණා.. මේ වීදුරුව එළියට නිරාවරණය වෙන්නත් ඇතුලතින් වෙනම ලී පියනකින් වහන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නෙ.. සීතල ඇතුළු නොවෙන්න.. 
හිතන්න පුළුවන්ද මේ සටහන මොකද්ද කියලා.. 

ඈ.. මොකද්ද... නෑ නෑ..

නාලා නැති බ්රේක් නැති බස්සෙක්ගෙ සටහනක්..! 

ඈහ්.. මොකද්ද ඒ අප්‍රබ්‍රංසෙ..?

 සිද්ද වෙලා තිබුණෙ එළියෙ තියෙන විදුලිපහනෙ ආලෝකය වීදුරුවට වැටිලා , එතනින් පියෑඹුව බස්සගෙ ඇහැට මේ වීදුරුවට වැටුණු ආලෝක පරාවර්තණය වී යන එනමං නැතිවීම.. වීදුරුවෙ වැදුන බස්සගෙ ඇගේ තියෙන අළු එහෙම්මම වීදුරුවෙ ලකුණුවෙලා තිබුණා.. අත්තටු දෙකේ පිහාටු, වැසුන ඇස්, හොට.. 
ඊයෙ රෑත් ඔය දේ නැවතත් සිද්ධ වෙලා තිබුණා.. කොයිතරම් උත්සහ කලත් සුදුපාට කොළයක් තියලා ඡායාරූපයක් ගන්න, වැඩේ අසාර්ථකයි.. අර අළු බිම වැටෙනවා.. ඔය පහල පින්තූරෙ වගේ තමයි මේ බකමූණා සටහන් වෙලා තිබුණෙ.. (හැප්පිලා තියෙන හැටියට මේ බකමූණටනම් දැන් තාරකා මණ්ඩල පේනවා ඇති) 

ඔය බස්සා නිසා බකුසු කතාවකින් පටන් ගත්තත් මේ කියන්න යන්නෙ බකමූණු පවුලට අයිති ඈත අතීතයේ ඉදන්ම බයක් , කුතුහලයක් උපදවන්න සමත් ලංකාවෙන් වද වෙලා යන කෙනෙක් ගැන.. මේ ගැන ලියන්න මතක් වුණේ බස්රේඩියෝවෙ ප්‍රචාරය වුණ ගුණදාස කපුගේ මහත්මයගෙ ගීතයක් ඇහුණ වෙලාවෙ.. උලලේ‍නෝ.. කිව්වට මෙයා ලේනෙක් නම් නෙමෙයි ඕන්...මෙයා කුරුල්ලෙක්...
පැරැන්නන්ගේ මතයක් තිබුණා උලලේනා කෑ ගහනවා ඇහුණොත් ඒ දේ හරිම මූසලයි කියලා.. ඒ.. මේ කුරුල්ලා  කෑ ගහන්න පටන් ගන්නෙ අමුතුම විදිහට.. හරියට ස්ත්‍රීයකගෙ ගෙල මිරිකන හඩෙන් මර ළතෝනි හඬට ගොඩක් සමාන අදෝනවක් හඬින් තමයි රාත්‍රී කාලයේ කෑගහන්නෙ.. දවල් කාලෙට කැලෑවෙ අඳුරු සහිත තැන්වල හැංගිලා රාත්‍රීයෙදී තමයි මෙයා පියාසර කරන්නෙ... ඔය බියකරු හඬ ගොඩක්ම හඬින් කෑ ගහන්නෙ මේ කුරුල්ලන්ගෙ අභිජනන කාලයේදීලු.. ඒ අප්‍රේල් - මැයි අතර මාස ‘උලලේනීය’ ගේ ප්‍රකට විලාපය වනපෙතේ නින්නාද වන සමය විදිහට තමයි හඳුන්වන්නෙ.. මුළු ගමකම කන් බිහිරි කරවන්න සමත් ශබ්දයක් තමයි මේ උලමා හඬන්නෙ.. ඒ මතයට තවත් පාදක වුණ හේතුවක් තමයි උලලේනාගෙ හඬ ඇහුනොතින් කෙනෙක්ගෙ වියෝවක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන බව ඔවුන් විශ්වාස කලා..

ඒ වගේම මේ කුරුල්ලගෙ හඬළතෝනිය වැහි ආසන්න බවට පෙර නිමිත්තක් බවත් ගැමියන් විශ්වාස කලා.. ඒ විශ්වාසයන් ගමේ ඇත්තෝ කවි කර මෙසේ කීවෝ ය.

“උලලේනියේ හැඬුවට රෑ මරු ඒද
හිමිදිරියේ හඩින් වැහිපල කීවාද
තුන්යාමයේ තුන් දින වහලේ හඬඳ
නගණ්ඩියේ ගැබ මරුවට කැප වෙයිද”


රාත්තිරි කාලේ උලමා ගේ ළතෝනිය වියෝ දුක් මරණය ද, අරුනලු හිමිදිරිය වරුසා ලකුණ ද දින තුනක් තුන්යාමට වහලේ වසා හැඬීමෙන් ගැබ්බර ළඳක ගේ මරණය ද හැඟවූ බව ඉන් කියැවිණි.
උපුටා ගැනීම

උලලේනා අර අමුතු ශබ්දය පිටකරන්නෙ කලින් ඩුගු ඩුගු ගාලා මහා භයානක ශබ්දයක් කරලා. ඒ ශබ්දයට ගැමියන් උල ලේනා මිනී බෙරේ ගහනවා කියලා කියනවා. කටහඬ අහන්න භය මිනිස්සු ඌ කෑගහන වෙලාවට කවි වලින් හඬ අහුකරගෙන එක එක මුඛ බන්දන කරනවා කියලා තමයි ගැමි ව‍හරේ තියෙන්නේ.

උල ලේනයි උල ලේනයි තෝද බොල

නාඩ ඉන්ඩ තොට වරමක් දුනිද බොල
අනද මහ නිරිඳු පටියෙන් බැන්ද බොල
මෙතේ බුදුන් බුදු වෙනකං නාඩ බොල


කවිය උලලේනගෙ කට බඳින්න පාවිච්චි කරපු වස් කවියක්. ඉස්සර මිනිස්සු උලලේනෙක් අඬලනකොට ඔය කවිය කියලා ඌට මුකවාඩමක් දානවලු. ඒත් ඒක පව්කාර වැඩක් කියලා බොහෝ ගැමි ජනයා ඒ ක්‍රමය භාවිතා කලේ නැතිලු.

උල ලේනා, උල ළිහිණියා , යක් කුරුල්ලා යන නම් වලිනුත් හඳුන්වන්නෙ මේ එකම කුරුල්ලා තමයි.. කුරුලු ලොවේ දී ‘උකුසුබකමූණා’ වශයෙන් ද හඳුන් වන මෙකී පක්ෂියා, ‘මාමුහුණු’ කුලයට අයත් මෙරට ලොකුම කුරුල්ලා ද වෙනවා. වනය පුරා සක්මන් කරන යක්ෂ සමූහයක් එකට එක් වී නඟන හූ හඬක් හා සම වූ හූවක් නංවන උලලේනාට ‘යක් කුරුල්ලා’ ය යන නම පටබැඳීම සැබැවින්ම යෝග්‍යයි. මෙම කුරුල්ලන් කෘමීන්, මීයන්, ගොළු බෙල්ලො, සමහර විශේෂයන් මත්සයින් තම ආහාරයට ගන්නවා..

උ‍ලලේනා පිළිබඳ විශ්වාස තවමත් අප සමාජයේ ඉතිරි වී තියෙනවා වගේම ඔවුන් පිළිබඳ විවිධ ජනප්‍රවාදත් තවමත් ඉතිරිව තියෙනවා.. මේ මට අහන්න, කියවන්නට ලැබුණු ජනප්‍රවාදයන්...

එක්තරා කාන්තාවක් දීගෙක ගිහින් පුතෙක් ඉපදුනාට පස්සේ ස්වාමියා ඔවුන්ව දාලා ගියාලු. පස්සේ දරුවයි අම්මයි තමන්ගේ දෙමාපියන්ගේ ගෙදර ගිහින් කාලයක් ඉන්නකොට ජීවිත අමාරු කම් නිසා තවත් විවාහෙක ගියාලු. ඒ විවාහයේ දරුවනුත් හම්බවුනාලු. ගෙදර අළුත් ස්වාමියා පෙර විවාහ‍යේ පුතත් එක්ක ජන්මන්ත වෛරය් තිබිලා තියෙන්නේ.

ගැමි කාන්තාවක් වුනාම හරිම වැඩ, ඉතින් මේ වැඩ හැමදේම කරලා හවස් වෙලා ගෙදරට එනකම් පළමු කසාදයේ පුතා හැමදාම මග බලන් ඉන්නවලු.

දවසක් කාන්තාව වැඩපල කරගෙන එන්න ගිය වෙලාවකදි මේ අළුත් ස්වාමියා ගෙදර ඉඳලා තියනවා. මේ ළමය ගැන තියන තරහ නිසා ළමයව මරලා කෑලි කරලා උයලා දවල්ට කාලා තමන්ගේ ළමයින්ටත් කන්න දීලා තියනවා.

ගැමි කාන්තාව ගෙදර එනකොට දරුවා වෙනද වගේ ඉස්සරහට දුවගෙන ආපු නැති හින්දා ස්වාමියාගෙන් අහුවම ඔය කොහෙට හරි සෙල්ලමට දුවන්න ඇති කියලා ඒ කතාව මගහැරලා අන්න මම අද මඥ්ඤොක්කා හදලා යාළුවෙක් ගෙනත් දීපු මස්වගේකුත් උයලා තියනවා, කන්න කියලා කිව්වලු.

මේ කිසිදෙයක් නොදන්නා මහන්සිවී ගෙදරට ආපු ඇය කනකොට මිනිස් ඇඟිල්ලක් අහුවුනාලු. ඒකේ තිබ්බ මුදුවක් නිසා මේ තමන්ගේ පුතාවයි මරලා මස්කරලා තියෙන්නේ කියලා තේරුම් අරගෙන දැඩි වික්ෂොපයෙන් හූ තියමින් කෑ ගහ ගහ පොලවේ හැපි හැපි ඔලුවට පපුවට ගහගනිමින් විලාප තියලා. අන්තිමේදි වේදනාව ඉවසගන්න බැරිව හැඳිමිටෙන් ඔලුවට ඇණගෙන මැරිලා තියනවා.

දෙවෙනි ජනප්‍රවාදය තමයි  එකමත් එක රටක ජීවත් වුණාලු නිවුන් සහෝදරියො දෙන්නෙක්..! මේ සහෝදරියො දෙන්නා විවාහවෙලා තියෙන්නෙත් නිවුන් සොයුරන් දෙදෙනෙක් එක්ක.. ලොකු නිවුන් ‍සහෝදරියගේ ගති ගුණ වගේම රෑපයත්, ඇය උයන අහරත් ඉතා ප්‍රණීතයිලු.. මේ ගැන අයියා තම මලනුවන්ට නිතරම ගුණ වර්ණනා කලා.. මලෝ වගේම වැඩිමල් සොයුරියගෙ නැගනියත් තම අක්කා කෙරෙහි දැඩි ඊර්ෂාවකින් පසු වුණාලු.. මේ නිවුන් සොයුරියන්ට දුවලා දෙන්නෙක් ලැබුණා.. වැඩිමල් සොයුරියගේ දුව බාල සොයුරියට වඩා ගොඩක් ලස්සන වුණ නිසා අර ඊර්ෂාව තවත් වැඩි වුණා.. 

දවසක් ඇඹුල අරගෙන යද්දි මේ නිවුන් සොයුරියන් , බාල සොයුරිය වැඩිමල් සොයුරියව ඒදණ්ඩෙන් පහලට තල්ලු කරනවා.. ඉතින් කුඹුරට යද්දි වැඩිමල් අයියා අහනවා අක්කා ගැන.. ඇය ඒ ගැන හරිහැටි උත්තරයක් දෙන්නෙ නැහැ..
නිවුන් සොයුරන් දෙදෙනා බාල සොයුරගෙ බිරිඳ ගෙනාව ඇඹුල බෙදාගෙන කාලා හවස් වෙද්දි ගෙදර ගියත් වැඩිමල් සොයුරිය ආවෙ නැහැ.. මේ ගැන තම දියණියගෙන් විමසූ වැඩිමල් සොයුරාට දැන ගන්න ලැබෙන්නෙ තම මවගේ නැගනිය තම මවත් සමග තිබූ වෛරයයි.. ඒවගේම එදා ඉඳන් මේ වැඩිමල් සොයුරියගෙ දියණියට අර බාල සොයුරිය කන්න දෙන්නෙ නැතිව ගොඩක් තාඩන පීඩන කරාලු.

ඉතින් එදා ඉදන් තම පියාට ඇඹුල අරන් යන්නෙ මේ දුව.. අර ඒදණ්ඩෙන් යද්දි ඉබ්බෙක් ඒ දියණියට අවශ්‍යය සියලුම කෑම බීම සංග්‍රහ කරනවා.. ඉතින් දවසින් දවස මේ වැඩිමල් සහෝදරියගෙ දියණිය ලස්සන තරුණ ගෑණු ළමයෙක් වුණා.. මේ වෙනස දැක්ක බාල සොයුරිය තම දියණියව පිටත් කරලා ඇරිය මේ රහස හොයාගෙන එන්න.. අර ඉබ්බාත් එක්ක කතා කරන හැටි, කෑම බිම වලින් සංග්‍රහ කරන හැටි බලාගෙන හිටිය ඇය මේ ගැන තම මවට කියනවා... හවස ඇය බොරු ලෙඩක් මවාගෙන තම ස්වාමියට කියනවා අර ඒදණ්ඩ යටින් ගලන දොල පාරෙ ඉන්න ඉබි මස් කෑවොත් මිසක් මේ ලෙඩේ සුව වෙන්නෙ නැහැ කියලා.. ඉතින් මේ බව කනට වැටුණු වැඩිමල් දියණියගෙ දුව මේ බව අර ඉබ්බට කිව්වලු..

"කමක් නැහැ.. මාව උයලා කද්දි ඔයාට මස් කට්ටක් ලැබේවි‍.. ඒ මස් කට්ට මේ දොල අයිනෙ ගෙනත් වළලන්න.."

ඉතින් පහුවදා ඇය කියු විදිහටම කලා.. අර මස්කට්ට වලලූ තැන ලොකු අඹ ගහක් හැදුනා.. වැඩිමල් සොයුරියගෙ දියණිය එතනට ආවම ඇයට අතු පාත් කරලා ඒ ඵල නෙලා ගන්න දුන්නත් බාල සොයුරියගෙ දියණියට ඒ ගස ලඟට කිට්ටුවෙන්නවත් බැරිවුණා... ඉතින් මේ බව තම මවට පැවසූ පසු පෙර පරිදිම ඇයට උවමණාවුණා තම රෝගය සුව කරන්නට නම් අර අඹගහේ ලී වලින් ගිනි තපින්න.. මේ බවත් වැඩිමල් සොයුරියගේ දියණිය අර අඹ ගහට කිව්වලු..

"කමක් නැහැ.. මාව කපද්දි නුඹ ළඟට ලී කෑල්ලක් විසික්වෙයි.. ‍ඒ ලී කෑල්ල අරන් ගිහින් අර විලට දාන්න.."

ඉතින් දියණිය ඒ විදිහටම කලා.. මේ විලේ පිපුණා ලස්සන නෙළුම් මලක්.. ඇයට පමණයි මෙය සිපගන්නට පිළිවන්.. ඇය තව තවත් ලස්සන වුණා.. පෝෂණය වුණා..

දවසක් මේ විල අයිනෙන් ගියා ඒ රටේ රාජ කුමාරයා.. ඔහු මේ විලේ පිපුණු ලස්සන නෙළුම් මල දැකලා කඩාගන්න කොපමණ උත්සහ කලත් බැරිවුණ නිසා අඬබෙරයක් යැව්වා මේ නෙළුම් මල කඩලාදෙන කෙනෙක්ව හොයන් එන්න කියලා..

තම සොයුරියගේ දියණියට පමණක් එය කල හැකි බව දන්න බාල නිවුන් සොයුරිය , අර දියණියව අළු තවරලා කාමරයක දාලා සිරකරලා තිබ්බා.. ඒත් එතනින් ගිය අඬබෙර කරුවන්ට තමා ගැන පැවසූ ඇය ඒ නෙළුම් මල කඩා දිය හැකි එකම කෙනා තමා බව පවසනවා..

ඉතින්... අර නෙළුම් මල කඩලා දුන්නට පස්සෙ.. මේ දියණියගෙ රූසපුවෙ ලස්සන දකින රජතුමා.. තම රැජිනය බවට ඇයව පත් කරගන්නවා.. මේ දෙයින් තවත් වෛර කරන ඇගේ මවගේ නැගණියන් ඇයව මරණයට පත්කරන්නට ක්‍රමයක් කල්පනා කරන අතර තුර රජුට යුද්ධයක් සඳහා පිටත්ව යන්න සිද්ධ වෙනවා..
ඔහු පිටත්ව යන්න කලින් ඇය නෙලූ අර නෙළුම දීලා රජුට කිව්වලු..

"මේ නෙළුම මේ වගේම පිපිලා තිබුණොතින් මම ජීවත් වෙනවා.. මේ මලේ පෙති හැලුනොතින් මම ජීවතුන් අතර නැතිවෙයි" කියලා.. ඉතින් රජු යුද්ධයට පිටත් වුණාට පස්සෙ රජමාළිගයට එනවා අර බාල නිවුණ් සොයුරියයි ඇගේ දියණියයි.. නිකන් නෙමෙයි.. නයි බිත්තර දාලා හැදුව කැවුම් අරන්.. අනේ ඉතින් ගොඩක් කාලෙකින් ආව තම මවගෙ නැගෙනියත්, ඇගේ දියණියත් පිළිගත්ත මේ රැජණිය, ඔවුන්ගේ තෑගි බෝග පිළි අරන් ඒ ආහාර අනුභව කරාලු..

මේ අතර තුර රජු යුද්ධෙන් දිනලා එද්දි අර නෙළුමෙ පෙති පරවෙලා.. රජු ඉක්මනට මාළිගට එද්දි රැජින නැහැ.. හොයලා බලද්දි ඇගේ දේහය කසල ගොඩක තිබී හමුවෙනවා.. නාග මුහුණතින්...රජු තම කඩුවෙන් ඇගේ හිස ගෙලෙන් වෙන්කලාට පසු නැවත එය එක් වී ඇයට ප්‍රාණය ලැබුණලු..

මෙපමණ කල් ඉවසූ ඇය.. තම මවගේ නැගෙනියටත්, ඇගේ දියණියටත් රජ මාළිගයේ භෝජන සංග්‍රහයකට ආරාධනා කර , ඇගේම දියණියව පිස දෙනවා ආහාරයට.. තම දියණියගෙ ඇගිල්ලක් තම පිඟානෙහි දකින ඇය හැන්ද ‍ඔළුවෙ පිටුපස ගහගෙන ඒ සෝ දුකෙන් මිය ගියා කියලයි කියන්නෙ..

තවත් ජනප්‍රවාද මෙතනින්...

අදටත් ඒ හැඳිමිටලු උලලේනගේ පෙඳය වෙලා තියෙන්නේ. ඒ වේදනාවලු මහ මූසල විදිහට ඌ පිටකරන්නේ කියලා තමයි ගොඩක් අය කියන්නෙ.. ආර්. එල්. ස්පිටිල් මහත්මයගෙ ලක්බිමේ තවත් යුගයක් පොතේ උලලේනා ගැන ගොඩක් විස්තර තියෙනවා.. ඒ වගේම ජනප්‍රවාදගැනත්... වටින පොතක් ලැබුණොත් කියවලා බලන්න.. :)

උලලේනව ඔය එක එක නම් වලින් හැඳින්නුවත් සාමාන්‍යය ජනවහනෙ හඳුන්වන්නෙ මේ කුරුල්ලව

උලමා..!  කියලා...

දැන් මතක්වුණා නේද.. 
හා හා ඉතින් ඔය කණ්ණාඩියක් හොයන්න දුවන්නෙ.. උලමව බලන්න..! :P

ඔය පහලින් ඉන්නෙ ලංකාවේ සත්තු වත්තෙ ඉන්න උලමා නොවැ.. බලන්න අඳුරනවද කියලා.. :D 

                                                     ඔය ඉන්නෙ උලමා වගේම බලාගෙන..


විශාරද ගුණදාස මහත්මයගෙ "කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා උලලේනෝ " ගීතයත් අහලම බලන්න..