29 May 2012

මුළු නුවරම පාළු වෙලා..


වසට මං ඇවිදගෙන එන ඒ පාර දිගේ හිත වෙලාවකට වැහි බීරුමකට පාළු වුණ ඒ පුංචි නගරය වගේ.. කාත් කවුරුවත් නැතිව අතහැරැලා දැම්ම.. ඒ වෙලාවකට කොහෙදෝ ඉදන් දුවන් එන සීතල හුළඟට මගේ කෙහෙරැල් අවුල් කරන් වේලුණු කොළත් එක්කම ඈතට ඇදගෙන යන්නෙ "සරාස්" සද්දෙත් එක්කම.. හිත උඩින් වගේ.. කළු ගලින් ආරුක්කු හැඩයට හැදුන ගොඩ නැගිලි ඒ වෙලාවට එතනින් පණ ඇතිව ගමන් කරන කම ප්‍රාණියා වුණ නිසාවටද මන්දා මා දිහා බලාගෙන ඉන්න බවක් මට දැනෙන්නෙ.. උදේ ඉදන් ඔයාගෙ මූණ හොයලා වෙහෙසෙන ඇස්.. මේ එක දෙක වැටෙන වැහි පොද අතරිනුත් බලාපොරොත්තු වෙනවා..


මේ ගෙවන දුවන කලබලකාරී ජීවිතේ.. වගකීම් දහසක් පිරුණු හිතක් ඔයාගෙ හිත ළඟ වැහි ළිහිණියෙක් වගේ සතුටින් පියාඹලා  ඔය හිත් අහස පුරාවට ආදරයෙන් තුරුළු වෙන්න,  හරියට ආරක්ෂක පියාපතක හෙවනක වගේ ඒ උණුසුමේ තුරුල්වෙලා පිනුම් ගහලා ඒ නිවාඩු දවස් ‍එනකල් බලාගෙන ඉන්නෙ පෙරුම් පුරාගෙන.. ඇත්ත කොයිතරම් දුරින් වුණත් ඔයාගෙ එක වචනයකින්.. ඇති ඒ දුරස් බව නැති කරන්න..

සඳුදට ආයෙමත් ඒ කලබල ජීවිතය පටන් ගත්තම.. මේ පුංචි ගමෙන් දහසක් දුර ගෙවාගෙන ඈතට යනවා වගේම.. බස්රියේ හැරෙන වංගුවෙන්ම මට ආයෙ දුවන් එන්න හිතෙන්නෙ ඔයා ළඟට... වෙලාවකට අළුත් හිරුකිරණින් ලා දළු පාට තණකොළ ගොඩට වැටිලා තියෙන ඒ තීරුව දිගේ උදේට යුනියට යන්නෙ නැතිව නැවතිලා නිදහසේ නවතින්න හිතයි... නිදහස් දෙපා ඒ මතින් ඇවිදන්න.. ඒ හැම දේකටම හිත පැරදෙද්දි පාඩම වෙලාවෙදි ටිකකට දුවලා එනවා.. දන්නවා ඉගෙනුම වෙලාවට එහෙමෙහෙ දුවන හිතට ඔයා අකමැති බව.. ඒත්...

මුළු නුවරම පාළු වෙලා
හිතට දැනෙනවා..
මේ වැහි බිඳු කඳුළු එක්ක
නුඹව සොයනවා..
වැහි ළිහිණක් සීත රටක
පියාපතක් සොයනවා..
මේ සුළගින් දුරස් රටේ
කතා කියනවා...


වැහි බිඳ බිඳ එකතුවෙලා හෙමින් සැරේම පාරෙන් එහා මෙහා දුව පනින වතුර පාරවල් රටා මවලා ගෙනියන බොර පාට දිය වැල්.. ඔයාව හොයාගෙන යනවා වගේ.. මං තවත් වැස්සෙ තෙමෙනෙවා.. මේ කඳුළුත් එක්කම.. මම දන්නවා.. මේ වෙලාවට.. ඔයාටත් මාව මතක් වෙනවා අනිවාර්යයෙන්ම..  ඒ හැම හුස්මකම ඔයාගෙ හිතේ මං ඉන්න නිසා බව මං දන්න නිසා.. පැය ගණනක වෙනසත් එක්ක වුණත් ඔයාගෙ මහන්සිය, කැපකිරීම්.. ඒ දේවල් වල වටිනා කමට සමාන කරන්න දෙයක් නැහැ මට.. වෙලාවකට ඔයා මහන්සිවෙලා ඇවිත් මාත් එක්ක කතා කරන්නෙ ඔයාට වැඩිපුර නිදාගන්න තියෙන වෙලාවෙන් බව මම දන්නවා.. කිව්වට අහන්නෙ නෑනෙ ඉතින්.. දඟකාර, අහිංසක හිතක්.. :)
හිනාවෙලා හිටියත්.., දහසකගෙ හිත් හිනැස්සුවත්.. ඔය හිතේ යටින් හංගන දුක මං නොදකිනවා නෙමෙයි.. ඒ වෙලාවට පුංචි හුස්මකින් ඒ දුක නිවන්න ඇත්නම්..

දිය වැල්ලෙන් එකට එතී
රටා මවන ඒ ගමනට
ඔබව සොයන් යන පෙරමග
පාර කියනවා..

සිහිල් පොදේ පුරුදු රුවක්
දෙනෙත් දකින ඒ දවසට
හිනැගෙන නුඹෙ තරු නෙත් යුග
බලාගන්නවා..


මේ වැස්ස දිගේ මඟ බලන ඇස්.. ඔයා කවදාමක හරි එන බවක් දන්නවා..  මේ පාළු නගරය පුරාවට සෙනග ඉඳීවි... මේ හුළඟ වුණත් හමන දිශාවන් වෙනස් කරාවි.. එදාට වැහිබිඳු අහසින් බහින්නෙ නැති වේවි.. ඒ වෙනුවට සුදු හිම රොඳක සීතලක් දැනේවි.. ඒත්.. එකම එක දෙයක්.. 
වෙනස් නොවෙන 
ඔයාගෙ ඔය අහිංසක හිත විතරක්ම.. අරන් එන්න... ඒ හොඳටම ඇති මට...  :)