17 May 2013

වීරත්වයේ මතක අහුරු..


කාලයේ මං තලා යට
හුදෙක් සැඟව ඉසිඹුලන
වීරත්වයේ මතක අහුරු
පිටු පුරා‍වෙන් පැන
ධජයට බැඳුන...
එකම රුධිර ඝණයට..

වතුර ලුණු රසට
නිතැතින් එකතු වී ඇසට
හැඟුමන් මතින්
සුසුම් ගිනි සිඹින
ඈත
වන්නියට වී..


ලය රිද්ම
ගැයෙනුවස් තාලයට
නුඹ නොදැක්කත්
ඇසෙන්නැති
වියළි උඩු හුළගේ..
යාතිකා
එදා..

බොහෝ පැතුමන් දරාන..
ලෙසින්
එකම
සොහොයුර..!

වෙසෙස් ගරු බුහුමනින්..
සැතප නිහඬව..
නිවාඩුව... ගම් බලා..
ළබැඳියන්
හෙළන දුක්
ගුණ වරුණ
නොඅසාම..

අහිමිව..

බෙදනු බැරි ජයටැඹ
මුසපත්ව
පෙන්වමින
සත් මඟුල්
ඉච්ඡාවෙන්..
ඔවුන්
අද..


එදා
කළුවර
වසන්තය
එලැඹූ..
අඳුරම රළු දෑතට
අද බලකරන
නුඹට..

කියුබ් ගණනින්
වැඩි නැතිද බර..?
                  දරාගන්න හදවතට..!


25 February 2013

රෝස මලින් ආචාරය..!

දෙකම්මුල් සීතලෙන් හැකිලෙන
දුර ගමනකට මඟ බලමින් 
තවමත්.. 
එදා සෙනෙහසින් 
රැදි දෑස්..
තනිනොකර වමතින්..!

යැපෙන දිවිමත
තවත් එක් දවසක්ව
ඒ සීත
නොසලකා
පරවියන්
ඔහු වටා රොක්ව..

කුසගිනි නිවන 
පාන්..
කැබලි ගෙන
සිනාවත පුරවගෙන
ඔහුත් ඇයත්
පවුල් ගණනක
කුසගිනි
පිරිමසන...

ඇය 
ආදරබරව.. 
ඝණ රෙදි දවටමින්
ගෙල වට..
වයසට 
ඔච්චම් කරන
සීතලෙන් 
ඔහුව 
සුරකින..

කිරි සුවඳ..
පාට
කොණ්ඩයෙන් 
සඟවගෙන
එහා මෙහා 
යකඩ කටු ගිලුණු
ඉරුණ ඩෙනිමෙන්
උස් පාවහන්
මතින්...

ආඩම්බර
රතු රෝස මල් 
දැක
තවමත්
තරුණ..!
නෙත් සතරකින්
අහිංසකව
සිනාවිය..
උතුම් වූ හදවතින්..!
සැබෑ
ආදරය දරාගෙන..!

නිමිත්ත- හිම සීතලෙන් වැසුන පෙබ.14 දින බස්නැවතුම් පලේ බරාදයට වී දුරගමනකට පෙරාතුව මහළු දෙමහල්ලන් කුසගිනි නිවන්නට තිබුණ පාන්කැබලි ඔවුන් වටා රොක්වෙන පරවියන් වෙනුවෙන් සතුටින් දැමීමූහ.. ඒ ඉදිරිපිටින්, ආදරවන්තයන්තයගෙන්/ආදරවන්තියගෙන් ලැබූ තෑගි, රෝස මල්ගෙන උජාරුවෙන් එහා මෙහා යන තරුණ ජීවිත දැක 
ඒ දිහා බලාසිටි මට මෙසේ සිත්විය..
සැබෑ
ආදරය නම් මෙයැයි..!

14 February 2013

රෑ දුරු රට රැඳි තනිකම..

 ඈත කඳු එහා මෙහා නොපෙනෙන මීදුමකින් වැහෙන්න පටන් අරන්...  ඇඟිලි තුඩු තව තවත් සීතලෙන් රිදුම්දෙද්දී..උණුහුමෙන් ගුලිවෙන්න ස්විටරයෙ තුරුල සොයායමින්.. මනාලියකගේ වේලයෙන් ඉහිරෙන මුතු පොකුරක් හුළඟින් එහාට මෙහාට නළවන, පහළින් ඇති පහන්කනුවෙ එළිය වැටී දිලිසෙන හිම වරුසාවන් මවන දසුන් තුන්වෙනි මහලේ සිටින මගෙ හිතට කියාගන්න බැරිවුණ අමුතුම හැඟීමක් එකතුකරයි.. කොයිතරම් හිත මිතු මිතුරියන් සිටියත්, තාක්ෂණය කොයිතරම් දියුණු වුණත්.. මේ  වෙලාවට ලැපයේ තිරයත් මා දිහා බලා සිටින්නේ කොයිතරම් පාලුවකින්ද.. වෙලාවකට එකම මි‍තුරෙක්වත් පේන්න ඉන්න නැතිකොට.. ඒ හැමදෙයක්ම ඉනද්‍රජායකින් නොපෙනී ගොස් ඇතැයි සිතෙනවා..

හිත වෙනදටත් වඩා හීතලෙන් හිරි‍වැටෙන්නෙ සෘණාංකය වැඩි නිසාම නෙමෙයි. අවුරුදු ගණනක තනිකම ඉවසුවත් තමාවෙනුවෙන් තව කෙනෙක් ඉන්නබව දැන දැනත් ඒ ආදරයේ ළඟ නැති අඩුපාඩුවේ හිඩසටයි මේ.. වෙලාවකට හදවතේ ගැඹුරටම පැන ඒ තනිකම හිත රිද්දන්න වැඩි වෙලා නොයන බව ඔබටත් අත්දැකීම් ඇති. රටින් දුර බැහැර ඉන්නා ප්‍රියයන්ගෙන් ඈත්ව සිටින්නට වන්නා වූ කාලය සෑම විටම ඒ ආදරය නැති අඩුපාඩුවම මහා තනිකමක් සේ දැනෙන වග මා මෙන්නම ඔබත් විටෙක අත්දැකීම් මත පිළිගන්නවා ඇත.

එතෙක් මෙතෙක් පරතෙරක් වන් වූ බවක් කිව නොහැකි සාගර ගැඹුර තෙක් දිවෙන සිතිවිලි කල්පනාවන්, විටෙක විහඟුන් සේ සිත් අහසින් ආවරණය වන්නාවූ ක්ෂිතජ නිම්නය තුල දෙපියාපත් විදා සැරිසරති. සැහැල්ලුවෙන්ද.. තවත් විටෙක රංචු වශයෙන්ද බොහෝමයක් විට දෙමලිච්චන්ගේ කිචි බිචියෙන්ද එකින් එක පරයමින් ගොස්.. මේ හැමටම සිතිවිල්ලක් ව මනැස නිරතුරු අයැදින පිළිලක් වන්ව නිතැතින් සිත් මඬල මධ්‍යට ගොඩවදින ඒ අතීතය.. ඈල වැල් පාලමක පැද්දෙන රිද්මයෙන් හදවතට සමීපකරන්, මේ සීත රෑ නිදිවර්ජිතව යහනේ තබන්නේ නිතැතිනි. බොහෝ වෙහෙසකර දවසේ නිමාව, විටෙක රිදුම් දෙන මස්පිඬු අතරට වඩා තනිකමෙන් මිරිකෙන හදවත දරුණුය.. 

එහෙත්.. ගතකල සුන්දර අතීතය මත තව තවත් අනාවක බලාපොරොත්තු මූදු සතක දුර සිට නැවත නැවතත් දළුලමින්.. මතක ලුහු බඳීයි. ආදරණීය වදන්.., උණුසුම් චුම්බනයන්, හදවතින්ම දකින්න මඟ බලන විටෙක ළඟ මෙන් ඇසෙන මනසේ රැඳි ඒ හිනාවන්.., නොනිදි සිත් යහන මත රහසේම විටෙක උණු කඳුළු සගවති. අතීතයත් වර්තමාණයත් අනාවකත් අතර දෝලනය වන්නා වූ පරතෙරක නොනිමි කල්පනා දුරස්වූ පෙම්වතුනට උරුමවූවකි.

එකිනෙකාට තුරුළුව පියැඹූ, උණුහුම විදි විහඟ පෙම් යුවලගේ සිහින සොයා  සිහින තොටුපලින් පෙම් රැහැනින් දුරස් වීමේ අවසාන දසුන නිතර මතකයෙ මැවෙයි. සිහින සොයා ගුවන්තොටුපලින් දුර රට ඉගිලෙන පෙම්වතුන්ගේ  භාෂාවට රචයකා විසින් මෙමෙ යෙදුම කෙතරම් ලබැඳි කොට ඇද්ද.... 
ඒ... සිහින එකතු කරන සහ ආදරය කෙටිකලකට වුව වෙන්කරන තොටුපල "සිහින තොටුපලයි."

රෑ දුරු රට මේ..
හිම වරුසා.. සීත පාලුවේ…
මූදු සතකින් ඈත දේසේ
මා තනිවේ..
කල්පනා ලෝ පෙම් දැහැනේ
ක්ෂිතිජ නිම්නයේ
රෑ තනි යහනේ…
දෑත වෙන්වී පෙම් විහඟුන්
සිහින තොටුපලේ
රාත්‍රි යාමේ..
රෑ දුරු රට මේ..


සීත පාළු රැයකදි කෙතරම් වෙහෙසව සිටියත් කන්දෙකින් කාන්දුව හදවතේ කල්පනාවන් බැඳ තබාගන්නා පණ්ඩිත් අමරදේවයන් තරම් ගීතයක භාව ප්‍රකාශය කළ හැකි ගායකයෙක් නොමැති තරම්. මේ ගීතයේදී පද පෙළට සහ ගීතයේ අරුතට ගැලපෙන්නට අමරදේවයන්ගේ හඬ තුල මහා තනිකමක්, දැනෙන පාළුවේ ගැඹුරත් කියාපායි. ආදරය, දුරස්බව සහ තනිකම එකට යාකොට සැදි සරල පබැඳු‍ම් කිහිපයකින් ඉතාම සංවේදී පණිවුඩයක් හදවත පත්ලටම දෙන්නට අජන්තා රණසිංහයන් සමත් වී ඇත. දුක සහ තනිකමට වඩාත් සමීප සංගීත භාණ්ඩයන් වන බටනලාව සහ සිතාරය මනාව යොදාගැනුමෙන් සරත් දසනායකයන්ගේ සංගීත නිර්මාණය ගීතයේ අරුත තව තවත් ඔපදමන්නට සමත්වී ඇත.

දුරු රටක තනිකමක් වූ සීතල පාළුවෙන් බැඳි ඒ ආදරණීය මතකයන්.. යළි යළිත් ආවර්ජනය කරනු වස් නිදි නොමැති විටෙක අන්තර්ජාලයද ආදරයට බකට් බාල්දි අඳින කල.. පෙර කිසි කලක හිත නොනැවතුණ මේ ගීතය එවූ.. මා මේ ගීතය තුලින් දකින දයාබර නුඹ නමට..
මේ පිදුම.

08 February 2013

අසංතෘප්ත වටිනාකම

කවියාට, සංගීතඥයාට 
කලාකරුවට..
ජීවිතයේ රස ඔවුන් සිතූ සේ 
නොලැබෙනකල්
සොයයි එය..
එයින්ද නොනැවත
තබායන්නට සලකුණක් 
දිවි පුරාවට
අසංතෘප්තව
හිමිකරගැනුමට 
තමාට පමණක්ම..
එහෙත්
බොහෝ සියුම්
හසරැල්ලක් වුවද 
සුළඟින් කිතිකැවෙන
හදවතින්
 අරුත් පබැඳුම්
ජීවිතය පුරා
ලියැවෙන..
වටිනවා බොහෝ..
දුහුවිලි
ස්පර්ෂවන එහෙත් 
නොදැනෙන
කෘතිම 
මිනිසුන්ට 
වඩා...
ඒ 
රස නහර ඇත්තන්..!

02 February 2013

වියැලුන කොළ..

එහා මෙහා යනෙන මිනිසුන් වාහන අතර මැදිව ඉදිවුණ උස ගොඩනැගිල්ලෙ කවුළුවෙන් මං පහල බලාගෙන හිටියා. ඒ ශබ්ද කන් දෙකින් රිංගල ආයෙත් වා තලයට මුහු වුණත්.. හිස් බවත්, තනිකමත් මාව තනි‍නොකරන්න කතිකා කරගෙන. 

මට යම් දෙයක් මඟ හැරුණා.

මොකද්ද..? අවුරුදු ගණනක ඉඳන්.. මම තවම හොයනවා.  මේ පාළු, මකුළුවන්ගෙන් වවුලන්ගෙන් , මීයන්ගෙන් පිරුණ ලැගුම් හලක පාවෙමින්.. මං ඒ ගැන හිත හිත ගෙවුණ කාලය ගැන මට නිනව්වක් නැහැ. ඒත්.. යම් දෙයක් ඇවිත් ආපසු යනවා..

ගීතයක්, ස්ථානයක්..? පොතක්.. පොරොන්දුවක්..!

ඔව් පොරොන්දුවක්..!

ඒත්.. කාටද..? කොහෙදිද..? කවදද..? 

මං උත්සහ කලා.. මේ යනෙන අය අතර මතක් කරන්න.. ඒත් මගෙ කට හඬ ඒ අයට අහන්න උවමනාවක් නැති හැටි..! උදේ ඉඳන් කඬියො කෑවා වගේ මුමුණ මුමුණ ගිහින් රෑට හතර පයිනුත් යන උන්..! මං වගේම තව අය හිටියත් අපි අතරට තව අය එකතුවුණත් එයාලත් එයාලගෙ කල්පනාවෙ.

"එලිසබෙත්..! එලිසබෙත්..!"

ග්‍රීස්මයේ වියලුණ ගස්වල අන්තිම කොළයත් හැලෙන්නට කලියෙන්ම දුවගෙන ආව ඒ සීත හුළගෙ තැවරිලා තිබුණෙ ඈතින් හුරු පුරුදු කට හඬක්..! ඒත් වියළිව.. අපහැදිලිව..! මං ඒ හුළං පොදට ඉවකලා. මේ රාත්‍රියෙ තිබුණෙ හරි අමුත්තක්.. කියාගන්න බැරි, පහදගන්න බැරි. ඒත් කවදදෝ හුරු පුරුදු සුවඳක්..! මං ඒ දිගේ දිගටම ගියා.. 

මේකප් දැම්මත් වටවෙලා හිටිය හුරු පුරුදු මුහුණවල් අතරෙ මං දැක්කෙ දුකක්ද සතුටක්ද..? මට හැඟීම් නැතිවෙලා..ද.. නැතිනම් ඒ මූණුවල තිබුණෙ සතුටක් ද..? මං ඇතුළු වුණේ කවුළුවෙන්.. රෝහලකට..!කවුදෝ ඇඳක දිගාවෙලා මගෙ නම මුමුණනවා..  මං ඇඳ ළඟට ගිහින් එඹිලා බලද්දි ඔහු මා දිහා බලාගෙන අමාරුවෙන් හිනාවුණා..! 

"මගෙ එළිසබෙත්..!"

"ඔයා ආව එහෙනම්.. ඔය වගේ දිලිසෙන්නෙ.. ඔයා කොහොමද ඔච්චර සුදු වුණේ..! මට පේනවා.. ඔයා මං එනකල් බලාගෙන ඉන්නවා.. සුදුම සුදු පාට එළියකින්.. මතකද කිව්වා ඔයා එනකල් බලාගෙන ඉන්නවා කියලා.. ඔයා මාව දාලා යද්දි.. මං එනකල් යන්න එපා කියලා.. ඇයි මං ළඟට එන්න මේ තරම් පරක්කු වුණේ එළිසබෙත්..! එහෙනම් ඔයා පොරොන්දුව ඉටුකලා..!"