21 January 2013

රකුසන් පුද දී මිනිසුන් සැනසෙනවා..



2012 අවසානවුණේ මේ විශ්වයේ යම් යම් වෙනස්වීම් තොගයක් කරලා කියලා අමුතුවෙන් පිළිගන්න , මතක්කරන්න දෙයක් නැහැ. පිළිගත්තත් නැතත් මනුෂ්‍යයින්ගෙ සිතුම් පැතුම්, මේ ස්වභාව දහම නරක අතටම ව්‍යපර්ය්‍යාසයන්ට යටවෙලා ඉවරයි. එකම මුට්ටියේ බත් බාගයක් ඉදෙද්දි අනිත් අත අමුවෙන වර්තමාණය ගැන බොහෝදෙනා අනාවැකි කිව්වෙ අද ඊයෙක නෙමෙයි. කළු කපුටොත් සුදුවෙලා ඉන්න කාලෙ මෑත භාගයේ පහල වුණ තමා බුදුවරුන් යැයි කියාගන්නා අයගෙ පෙලහර අපි ඇස් පනාපිට දැක්කත් ඇස් කන් වහන් ඉන්න අය ඒ ‍දිහාවට ඇදෙන හැටි පුදුමයෙන් බලාගෙන ඉන්න අපිට සිද්ධවුණා. රටක වගකීමක් දරන්නට අවශ්‍යය මාධ්‍යක් වුණත් ඒවෙනුවෙන් නිහඬපිළිවෙත් රකිද්දි එයට එරෙහිවෙන්න අපේ ශක්තිය මුදල් වලින් යටවුණාද..? 

කාලෙක ඉදන් ලියන්න හිතාගෙන හිටියත් ජාතිවාදයත් ආගම් වාදයත් සැරටම නැගලා ගිය පහුගිය ටිකේ මේ ගැන නොලියා හිටි එක හොඳයි කියලා හිතුණත් අද කවියක් කතාවක් ලියලා අත්දෙක බැඳගෙන ඉන්න හිත දුන්නෙ නැහැ. ලියන්නෙ අවංකවම හිත කලකිරීමෙන්. ජාති වාදයක්වත් ආගම්වාදයක් නිසානම් නෙමෙයි..! මිනිස්සු මේ තරම් පිරිහෙන්න ග්‍රහයො මාරුවුණේ කතාවෙලාවද, සාම ගිවිසුමක් ගහලවද අද ඊයෙක නම් නෙමෙයි. තමාගෙම කිරිකැටියා දෙමාපියන්ගෙම අත්වලින් අවසන් හුස්ම හෙලද්දි, ආදරයෙන් බැ‍ඳෙන පවුල්-පන්සල් ප්‍රේතයො යක්ෂණියො වෙලා දඟලද්දි, තාක්ෂණයෙ දියුණුවත් එක්ක අපිට අපිවම අමතකවෙද්දි.. ලෝකෙ විනාසෙ කිය කිය ස්වභාව ධර්මය විනාශවෙනකල් කට ඇරගෙන බලාගෙන හිටිය අයට අමතක වුණා, තමාගෙ හිත පිරිහීමෙන් මේ ලෝකෙ විනාශය වෙලා ඉවරයි කියලා. 

මනුස්සයෙක්ගෙ හිත සුවපත් කරන්න, මනුවර්ගයට යහමග පෙන්වන්න එදා යම් කිසි ධර්මයක්, ආගමක් නියෝජකයන් ‍ඒ කටයුත්ත ඒ යුතුකම හරි හැටි ඉෂ්ථ නොකරන්න අද අපිට ශ්‍රී ලංකාව කියලා ඉතිරිවෙන්න ගියේ මනුස්සකමින් කෘෂව ගිය කාන්තරයක්. ඔවුන් දේශපාලනය කලේ නැහැ ඒ තත්වය රැක ගන්න. මුදල් හම්බකලේ නැහැ මඩි ගහගන්න. දානයකට වඩිද්දි මට ඕනා ඩෙසට් එකට මේවා මේවා ඕනෙ කිව්වෙ නැහැ. රට ජාතිය ආගම වෙනුවෙන් හැම පන්සලකම හැම දේවස්ථානයකම අත්වැල් බැඳගත්තා. පන්සලින් පූජකතුමන්ලත් දේවස්ථානයෙන් හාමුදුරුවරුත් බිහිවුණ සමාජයක් අපිට තිබුණා. ඇත්ත බෞද්ධ රටට විවිධ බලපෑම් එල්ලවුණා. හින්දු ආගම ආවා. එයින් කොටසක් ජීවත් වුණා. දෙමළ අය ආවා. ඒත් ඔවුන් හැමදෙනාටම එක අරමුණක් තිබුණා. ඒ මේ මං මියැදෙන රට කියලා. ඒ ඉස්සර. ඒත් දැන් එකිනෙක්කෙනා තලාගෙන තමා අනිත් කෙනාට වඩා උසස් බව කියාගන්න තියෙන තරඟයෙන් අන්තිමට උරුම වෙන්නෙ කාටද මොනවද..? 

ශ්‍රී ලාංකිකයන් බොහෝදෙනෙක් අද වෙද්දි ජීවත් වෙන්නෙ වෙනත් රටවල. විදේශ ශ්‍රමිකයන් නමින්.  ඉස්සර පවුල් රුකක් ගත්තම එතනින් විදේශ ගතව තිබුණෙ ඉතාමත් අඩු පිරිසක්. වර්තමාණෙ ඒ තත්වෙ වෙනස්. ‍රට නොගිය පවුලක කෙනෙක් හොයාගන්න අපහසු තරම්. ඉතින් ඔවුන් වෙනුවෙන් ධර්මය ප්‍රචාරය කරන්න ඒවෙනුවෙන් ඇපකැප වෙන්න මේ වෙනත් රටවලට යන පූජ්‍ය පක්ෂය ගැන දැන් දැන් අහන්න දකින්න ලැබෙන්නෙ කලකිරෙන දේවල්. ඉතාලියෙ මිලානෝ නඟරයේ පන්සල් 3 නම් ජනතාව හදුන්වන්නෙ වෛරාරාමය, දූෂ්‍යාරාමය සහ ක්‍රෝධාරාමය විදිහට.අනෙක් පන්සල් වල හාමුදුරුවන් විරසකයි. ඔවුන් වඩින පිංකමකට දානකයක අනිත් අය වඩින්නෙ නැහැ. අද වෙද්දි බණ දේශනාව දෙන්නෙ එන පවුල් 10කවත් ප්‍රශ්න ටාගට් කරගෙන. ඒ කියන බණ අහලා හාමුදුරුවන්ට දුක කියාගෙන එනකොට ඒ කෙනාව යටත් කරගන්න ඔවුන්ට පුළුවන්. විශේෂයෙන් පිරිමිකෙනා වරදෙහි බැඳිලනම් ඒක තවත් ලේසියි. ළඟට ලංකරන් ඔහුව යහපතට ගන්නවා වෙනුවට.. "ඕවා මහත්තයෝ නෝනට නොදැනෙන්න කරන්න තිබ්බනෙ" කියන තරමටම ඔවුන් ධාන්‍යට සම වැදිලා. දුක කියන්න දුක අහන්න කවුරුත් නැතිවෙනකොට වඳින්න යන දේවාලෙම ඉහේ කඩාගෙන වැටිලා උදව් ඉල්ලා කෑ ගහද්දි තවත් ඒමතටම බර දාන්න එයාලා හරි කැමති. බරපතල අසනීපයක් වුණත් රෝහලකට ඇවිත් සුවදුක් අහනවාවෙනුවට මාසෙකට ආධාර අර කරදරේ වැටුණ අයගෙන් ඉල්ලන්න තරම් අද පූජ්‍යය පක්ෂයට හිතක් ලැබුණෙ කොහොමද කියලා අහන්න දෙවියොත් පඬුපුල් ආසනේ මහපොළවට විසික්කරලා පාර්ලිමේන්තුවෙන් ආසනයක් වෙන්කරන්ද කියලත් සැකයි. කොයිතරම් විලාප ඇහුනත් නෑසුන ගාණට ඉන්න.

 අද අහන්න දකින්න ලැබෙන්න එදා ගරුකමින් රැකගත් චීවර විකුණන බොහෝ ගරු පක්ෂපාතව කතා කරන්න බැරි පිරිසක්. යාචකයන්ට චීවරය අන්දවලා පාරක් පාරක්ගානෙ අහවල් පන්සලේ හාමුදුරුවො දැන් අසාධ්‍යයි කියලා සල්ලි එකතුකරන තරමටම එදා තොටගමුවෙ රාහුල හිමියන් හිටිය බෞද්ධ දේශය අද මේ තත්වයට වැටෙන්න හේතුවුණේ කාගෙ අනුහසින්ද කියන්න තේරුම් ගන්න අමාරු වුණත් රටක නීතිය සදාචාරය මරල හැංගුව හංගලා මැරුවද කියල දන්නෙ ඒ වගකීම් දරණ "උත්තමයන්" ම තමයි. අද වෙද්දි රට ඇතුලෙ විතරක් නෙමෙයි රටින් පිටත් අණවිණ කොඩිවිණ කරන්න සිංහලයො පෙළඹිලා. ඒ තවත් කෙනෙක්ගෙ දියුණුව දරාගෙන ඉන්න බැරිව.  හාමුදුරුවො පූජ්‍යපක්ෂෙ අය මෙහෙම කරද්දි අද ඉතාලියෙ බෞද්ධයන් පන්සලක පිංකමකට, සහබාගිත්වය ‍විතරක් නෙමෙයි පන්සලක්වත් පෙන්වන්න පවා බැරි මට්ටමකට ඇවිත්. 

පහළවුණ බුදුවරුයැයි කියාගන්නා අය වෙනුවට දැන් දැන් සුජාතා මෑණිවරුනුත් පහලවෙන්න අරන්. මේ කියන්නෙ අර රටේ වෙන දේවල් වහන්න ඔළුව කන්න පෙන්වන මෙගා ඩෙගා නාට්‍යවලින් ඔළුව පුරවගෙන ඒ දිහා කන්න නැතත් බලාගෙන ඉන්න අය මනසින් දුර්වලව උජාරුවෙනවා කියන එක. ඔය පහල වුණායැයි කියාගන්න හාමුදුරු කෙනෙක් ලස්සන ගෑණු ළමයෙක්ට කියලා තියෙනවනෙ "ඔයා මෙහෙ ඉපදෙන්න ඕන කෙනෙක් නෙමෙයි. බුදුහාමුදුරුවන්ගෙ කාලෙ හිටිය කෙනෙක්ය ඔයා. දිව්‍ය අප්සරාවක්" ය කියලා. අනේ ඉතින් ඒ දැරිවි දැන් ස්කයිප් හරහා ධර්මය දේශනා කරනවා. පිටරට ඇත්තියන්ට. වෙනත් රටවලට ඉන්න තම නෑදෑ හිතමිතුරන්ටත් ඒ මඟට යොමුකරගන්න උත්සහා ගන්නවා. කරදරයකට මුහුණ දුන්නාම ඔවුන් අල්ලගන්න දුර්වලම තැන එතැන. පවුල් ප්‍රශ්න අතර ‍දෝලනය වෙද්දි හිතේ තියෙන දුක් ඔවුන්ට සුවකරන්න හරි රුසියො ඔවුන්. බලාගෙන..! මුදල් වලින් ඔබගෙ ප්‍රශ්න විසඳාවි ඒත් මුළු ජීවිත කාලෙ විතරක් නෙමෙයි තව පරම්පරා ගාණක් යනකනුත් ඒ වරද ඔබ පසු පස ඒවි. රටේ ධර්මය පි‍රිහෙද්දි මූලධර්මවාදීන්ට නැගිටින්න හොඳ තෝතැන්නක්. එකක කියයි බෙහෙත් බොන්න බෑ ලෙඩකට කියලා. තව කියයි රුධිරපාරවිලනය (ලේ දීම) තහනම් කියලා. මනුස්සයො පරිනාමය වෙලා ඒ දේවල් මිනිස් මො‍ළයෙන් හොයාගත්තෙ තව ජීවත් වෙන්න මිසක මැරෙන්න නෙමෙයි. 

අපි මහලොකුවට අපි ලංකාවෙ කිව්වට විදේශරටකට ගිහින් අපේ රටේ සියයට ගණනක් ඉන්නෙ බෞද්ධයන් කිව්වට ඒ ගිහියන් කරන වැඩ අහන්න දකින්න ලැබෙනකොට.. ලෞකික ජීවිතයෙ එක අතකුයි ගිහි ජීවිතයෙ තව අතකුයි තියාගෙන ඒ ගෙවන ජීවිතයට දෙන නම මොකද්ද. දුකයි පිරිත් පැන් උතුරන්න ගාථාවක් කියාගන්න බැරිව රීමේක් කරලා හරි, ට්‍රැක් පැන පැන වටාපතේ පිටිපස්සෙ ලියාගෙන ඇවිත් දේශනාව දෙනකොට. මොළගෙඩි කල්පනාකලොත් පහුගියටිකේ විවිධ ආගම්වලට බැන්නට අපි අපිටමයි මඩුවල්ගෙන් තලාගන්න ඕනෙ කියලා තේරේවි. කොටියා කොටියමයි වගේම.. සර්පයා සර්පයමයි. ඒකා කිරිබිව්වත්.. කැලේ මාරුවුණාට පුල්ලි එහෙම්මමයි. උන්ව ගෙනල්ලා කිරිපොව්වත් ඒකා මැරිලා ඉපදුනේ නෑනෙ. සෝවාන් ඵල නෙලුව මාර්ගඵල ලබාගත්ත කිසිම තැනැත්තෙක් උඩ පනින්නෙ නෑ මට මේක කරන්න පුළුවන් අරක කරන්න පුළුවන්කියලා. ඒ අය කවදාවත් වාසි ප්‍රයෝජන මත ඒ දේවල් ප්‍රදර්ශණය කරන්නෙ නැහැ. ප්‍රසිද්ධ ජීවිත ගත කරන්නෙ නැහැ. උඩපැන්න අය කලේ මොකද්ද කියලා රටේ ලෝකෙ සිද්ධවෙන දේවල් ගැන ඇහැ කන තියාගෙන ඉන්න අයට අරුමයක් නෙමෙයි. සල්ලිවලින් අන්ධවුණ, ලෝක සැප වීණා නාදවලින් බිහිරිවුණ අලින් ෆේස්බුක් ස්කයිප් මාර්ගයෙන් දැන් විවිධ ආගම් , ධර්ම ප්‍රචාරණය ‍ජයටම යනවා. මූලධර්මවාදීන් වෙනත් ජාතිකයන් දැන සිංහල ඉගෙන ගෙන ගෙදරින් ගෙදරට ගිහින් අපේ අයව ඇදගන්නවා. නිකන් නෙමෙයි මුදල් වලින් , ප්‍රශ්න වලට විසඳුම් වලින්. අද ළමයි වෙනත් ආගමක දෙමව්පියො තවත් ධර්මයක.

මනුස්සයො කොයිතරම් මායාවෙන්, අන්ධ කරලද කියන්න වර්තමාණයෙ සංගණනය කරන්න බැහැ. තමාට නොතේරෙන්න බුද්ධියෙන් නොපෙනෙන්න තරමටම ඔවුන් ඔබවත් මාවත් යොදාගනිවී.. තමන් අදහන ආගම , ධර්මය හරියට අදහන්න. විශ්වාසයෙන්.. මඩේ හිටෙව්ව ඉන්නවක් වගේ එහාට මෙහාට නොවැනෙන විදිහට. මේ තරඟකාරී විඩාබර අර්ථිකය එක්ක දුවන මේ ගමන ඔබට බොහෝදේ මඟ හැරේවි. පවුල.. ඒ වටිනාම ඒකකය රැකගන්න.. ‍දරුවන් එක්ක එක වේලක් හරි එකට ඉඳගෙන කෑම කන්න. තමාට තියෙන එක ප්‍රශ්නයක් හරි දෙමාපියන් එක්ක බෙදාගන්න.. නැතිනම් ඉස්සරහට අම්මා තාත්තා අඳුරන්නෙ නැති සමාජයක් අපිට ඉතිරිවෙලා ඒකටත් ඇඟිල්ල දික්කරන්න තවත් කෙනෙක්ට. 


පරිස්සම් වෙන්න ඔබව යහමඟට ගන්නත් අයහපතින් රවටන්නත් යොමුකරන්නත් චීවරයට, ලෝගුවට පුළුවන්. ඉස්සර අපිට කියන්න වුණේ සුළු පිරිසක් විතරයි මේ දේවල් කරන්නෙ කියලා. ඒත් අද වෙද්දි කියන්න සිද්ධවෙලා සියයට දශම ගණනක් හැර පූජ්‍ය පක්ෂයේ අය මේ විදිහ බව. විශ්වාස කරන්න තමාව හෘදසාක්ෂිය..! ඔය පොරවන් ඉන්න, ඇඟලාගෙන ඉන්න බැටළු හම්වල යට වෙලා දිව්‍යලෝක පෙන්වන්න ඉන්න රකුසන්ට වඩා ඔබ දිව්‍යලෝකය, ස්වර්ගය දකීවි මේ ලොව තුලම..! 

සයුරේ පැන්තොට සොයමින් වැලපෙනවා
කතරේ කෙම්බිම දකිමින් රැවටෙනවා..
දිලිසෙන දියරැළි මාලා
නෙත පුරවානෙක මායා
මිනිසුන් සැමදා සිහිනෙක සැතපෙනවා..

ගමනේ මං පෙත දවසක නිමවෙනවා
ලද දේ කල කී දේ හිත හඬවනවා..
නිවැරදි හැම සඟවාලා 
වරදට මල්දම් දාලා
රකුසන් පුද දී මිනිසුන් සැනසෙනවා..

රන් හිරුමඬලින් සිහිලස අයදිනවා
පුන්සඳ පහනෙන් උණුසුම අයදිනවා
ලෝකය බිහිවූදා සිට අරුමෙකි මිනිසා
ගිරිහිස ඉඳුවර සොයමින් ලතැවෙනවා..

ගායනය-එඩ්වර්ඩ් ජයකොඩි
පබැදුම-බන්දුල නානයක්කාරවසම්
තනු- රෝහණ වීරසිංහ

59 comments:

  1. කාලෝචිත මාතෘකාවකින් වටිනා ලිපියක්. ගිතය එදාටත් වඩා අද කාලයටයි ගැලපෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ලිපිය අවසනදි මටත් මතක්වුණේ..
      ඉස්සරට වඩා ගීතයෙන් වර්තමාණය බලාගෙන ලියලා වගේ..

      Delete
  2. හ්ම්ම්ම්ම්ම්ම්... අබුද්දස්ස කාලෙ.. අනේ මංදා මේ රටට මොකක් වෙන්න යනවද කියලා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම.. සුදුක‍පුටොත් ඉන්න කාලෙ.. තව එකදෙයක් විතරයි අඩු.. ඒදේත් ළඟදිම හම්බවේවි..

      Delete
  3. harima apuuru lipiyak nandu.oyaalavage tika denek hari ohoma hithana eka loku deyak.liyanna godak deval hithe therapenava ...

    ReplyDelete
    Replies
    1. දැනගන්න කැමතියි.. ලිපියකින් හරි ඒ අදහස් තරුනිසල..

      Delete
  4. කතාව නම් ඇත්ත අක්කො..............

    ReplyDelete
  5. හ්ම්ම්..අපි අපි ගැනම කලකිරෙනවා....හ්ම්ම්ම්ම්ම්ම්
    දැන් විනාශය පටන් අරන්...

    ReplyDelete
    Replies
    1. මිනිස්සු නරක වෙලා නරකම වෙලා අමනුස්ස වෙලා යනදාට ලෝක විනාසෙ වෙලා ආයෙත් මනුස්සකම දැනෙන හැඟෙන යුගයක් බිහිවෙයි...... වැඩි ඈතක නං නෙමෙ ඉතින් ඒ යුගය

      Delete
    2. ඔව් රන්දු.. ස්වභාව දහම ගැන බලාගෙන හිටිය මිනිස්සුන්ට අමතකවුණා එයාලා කරන කල දේවල් වලින්ම ඔවුන් විනාශවෙන බව..

      Delete
    3. අනිවාර්යයෙන්ම සමී.. ස්වභාව දහමේ චක්‍රය.. සමහරවිට මේ එහි පටන් ගැන්ම..

      Delete
  6. ස්වාමීන් වහන්සේලා තමංගේ ගෞරවය නැති කරගන්නේ විහිං..
    මේ තත්වේ මායි කස්සයි ඇතුලු අපේ සෙට් එකම අත්විදලා තියෙනවා..
    සාසනේට ආවනං ඒ විදිහට ඉන්නෝනා..
    ගෑනු පස්සේ යනවනං සිවුර ඇරලා පලයල්ලකෝ අපිට පවු නොදී..

    ReplyDelete
    Replies
    1. පූජක නමට මුවාවෙලා කරන්න වැඩ ගොඩක් තියෙනවා ඇති ඒ බහුතරයට.. :D

      Delete
  7. නම නන්නාඳුනන්නී උනාට, අදහස් නම් සෑහෙන සමීපයි.....

    ලංකාව හදන්න අමාරුත් පාලනය කරන කපටිකම් තියෙන මෝඩ දේශපාලකයන් නිසා නෙමෙයි... ජනතාව වෙන අපි නිසා කියල අපිට තේරුනදාට, මේ සෑහෙන දෙයක් හදාගන්ට පුලුවන් වේවි.....
    කවදද කියල දන්නෙ නෑ ඉතින්...

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් ඔබට නාඳුනන ගෙත්තමට .. :)
      හැමදාම අපි රැ‍වටෙන බව දැන දැනම ජනතාව සිහිනයක පාවෙනවා කියන්න තමයි වෙන්නෙ..
      ස්තූතියි මේ අදහස්දැක්වීමට..

      Delete
  8. හොඳ ලිපියක් නන්දු...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ.. :)

      Delete
  9. අපේ රට සමාජීය වශයෙන් කඩා වැටිලා තියන හැටි පෙන්නුම් කරන තවත් එක පැතිකඩක් විතරයි ඕක. නීති ක්‍රියාත්මක නොවීමෙන්, යහපාලනයක් නැති කමින්, පාලකයෝ බලලෝභී වීම තුලින්, ගසාකෑම රටේ ඉහලම තනතුරේ ඉඳන්ම සිදුවීමෙන් නන්නත්තාර වෙච්ච සමාජයක අපි ඉන්නේ. රස්සාව, සමාජ තත්වය පරයා හැම තැනම දකින්න තියෙන්නේ වංචාව. මිනිස්සුන්ට දැඩිව ආගමක අවශ්‍යතාවය දැනෙන කාලයක් මේක... මොකද අහන දකින කිසිම දේක මානුෂීය බවක් නැහැ. තමන් කරන ක්‍රියාවලට තර්කානුකූල ප්‍රතිපල ලැබෙන්නේ නෑ. ඉතින් මිනිස්සු ආගමක සහනය සහ සහය පතනවා. මේක හොඳ ඉල්ලමක් බව වැටහෙනවා මේ වංචාකරුවන්ට. ආගමික ලෝගුවකට මුවා උනාම ගොඩාක් දේවල් පහසුවෙන් කරගන්න පුළුවන්. මම නම් කිසිම ආගමක් අදහන්නේ නෑ. තමන්ගේ හර්දයසාක්ෂිය තමයි මිනිහෙකුට තියන හොඳම ආගම. තමන් කියන කරන දේ තමන්ගේ හර්දයසාක්ෂියට එකඟ නම් එච්චරයි.

    ReplyDelete
    Replies
    1. //මේක හොඳ ඉල්ලමක් බව වැටහෙනවා මේ වංචාකරුවන්ට. ආගමික ලෝගුවකට මුවා උනාම ගොඩාක් දේවල් පහසුවෙන් කරගන්න පුළුවන්.//
      මේබවයි මේ සටහනේ සාරංශය.. ඇත්තටම ආගමකින්, ධර්මයකින් සිදුවෙන්නෙ යම් විනයකට අනුව හැඩගැස්වීමක්.. අපි හෘදසාක්ෂිය අනුව ජීවත්වෙනවනම් එයින් කාටවත් හානියක් නොමැතිනම් ඒ විශ්වාසය බිඳින්න කාටවත් බැහැ.
      අගය කරනවා ඔබේ මේ අදහස් දැක්වීමට..
      ගොඩක් ස්තූතියි..

      Delete
  10. කථාකලයුතුම දෙයක් කථාකරලා නන්දු මදි නොකියන්න......කියෙව්වත් බැලුවත් තේරුම් ගන්නේ කීයෙන් කීදෙනාද??

    ReplyDelete
    Replies
    1. ඒකනම් එහෙම තමයි සිත්තමී.. පෑනක් කඩුවට වඩා මුවහත් නිසා යුතුකම ඉෂ්ථකලා.. :)

      Delete
  11. බුදු හාමුදුරුවො මෙහෙම කියල තියෙනව කියල මං අහල තියෙනව...

    “කුසතණ ගහ වැරදි විදිහට ඇල්ලුවොත් අත තුවාල වෙන්නෙ ඒ විදිහට කුසතණ ගහ අල්ලපු කෙනාගෙ. මහණ කමත් ඒ වගේ. වැරදි විදිහට මහණකම පාවිච්චි කරන කෙනා ගොඩක් අකුසල් රැස් කරගන්නව.“

    ReplyDelete
    Replies
    1. ඒ අකුසල මෙලොවේදී වගේම එලොවෙදීද් ඵලදේවි..
      ඒත්.. එතකල් අපි..?

      Delete
  12. නන්දු නගා බොහොම හිතේ අමාරුවෙන් මේක ලියලා වගේ පේන්නේ. කියපු ඔක්කොම ඇත්ත. අර වගේ හාමුදුරුවෝ ගැන අහුවමනම් කලකිරුණා ඇත්තටම.

    ReplyDelete
    Replies
    1. වෙනත් රටක ඉද්දි අපේ රටගැන මේ වගේ දේවල් අහන්න ලැබෙනකොට දැනෙන්නෙ ලොකු දුකක්, කලකිරීමක් සයුරි අක්කෙ..

      Delete
  13. හැමදෙයක්ම කාලයත් එක්කම වෙනස් වෙනවා. මේ කියල තියෙන කරුනු සතයයයි. විචාරාත්මකව හිතන මිනිසුන් පරිසක් බිහිකිරිම යුගයේ අවශ්‍යතාවයක්.

    ReplyDelete
  14. මේ සියල්ල මෙතරම් දරුණුවට සිද්ධ වෙන්නෙ මිනිසුන්ගේ මෝඩකම නිසා කියලායි මට හිතෙන්නෙ..තමන්ට ගැලපෙන දේ තෝරාබේරා ගන්නට ඇති නොහැකියාව ඇත්තටම ශෝක ජනකයි..

    ReplyDelete
    Replies
    1. අනික විශ්වාසයක් නැතිකම රූ අක්කෙ.. ඉදිරියට ඇදෙන ලොවත් එක්ක මනුස්සයො ක්ෂණික විසඳීම් බලාපොරොත්තුවෙනවා..

      Delete
  15. අපේ ආගම අපේ සංස්කෘතිය හැම දෙයක්ම විනාස කරන්නේ අපේම වුන්. විදේශ බලපෑම් නෙවෙයි.

    හිත කලකිරෙන සිදුවීම් එක දිගට සිදුවෙනවා වැඩි.

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒත් පෙන්නුම්කරන්නෙ විදේශබලපෑම් බව.. ආගමත් සංස්කෘතියත් එපා කරවන තැනට වැඩ කරන්නෙ ඉස්සරවෙලාම ඒ ඒ නායකයො..

      Delete
  16. අහන්නත් කණගා‍ටුයි. බස් වල හිඟාකන චීවර ධාරීන් දැක්කාමත් මට ඔය කළකිරීමම ඇති වුනේ මීට හුඟාක් ඉස්සර. දැන් ඒ තරමටම පිරිහිලා ඒ කියන්නෙ. මිනිස්සු ආගමෙන් ඈත් වෙන්නෙ ඇයි කියන එක පුදුමයක් නෙවෙයි බලාගෙන යනකොට.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මේ වගේ දේවල් අහන දකින ලැබෙන කොට, පූජ්‍යපක්ෂයට වඩා හොඳින් ආගම ධර්මය අදහන ජනතාව අප අතර ඉන්නවා කියලා හිතෙනවා ඩූඩෙ.

      Delete
  17. අක්කි කාලෙකින් වුනත්, හරිම වැදගත් කාලීන මාතෘකාවක් ගැන කතා කරල. ඇත්තටම උපරිමයි!!! කලකිරෙන එක සාධාරණයි!! දැන් අහන්න තියෙන, දකින්න තියෙන දේවල් එක්ක කොහොමද එහෙම කලකිරෙන්නෙ නැතුව ඉන්නෙ.. මිනිසු යන්නෙ මොන තටද මංදා..

    ReplyDelete
    Replies
    1. දැන්නම් දැනගියත් අතරමඟ කියන්න තමයි වෙන්නෙ නංගියා.. මනුස්සයෝ මිනිසත්කමින් විතරක් නෙමෙයි.. බුද්ධියෙත් පහතට ඇවිත්.. ක්ෂණික විසඳුම් හොයන්න ගිහින්..

      Delete
  18. හොද මිනිසුන් නිහඩව සිටින තාක් කල් ලෝකයේ නරක රජයනු ඇත.

    ReplyDelete
    Replies
    1. යුගයේ ජාතියේ අවාසනාව..

      Delete
  19. මේ සමාජයෙ දැන් වෙන දේවල් දැක්කාමනම් ඇතිවෙන කල කිරිම නම් කියල නිම කරන්න බෑ නන්ඳු. ඊයෙ පෙරේදා දිනෙක චීවරධාරියෙක් ආවා අපේ තැනට. ඉන්දියාවේ වන්දනාවේ යන්න මුදල් එකතු කරනවා, අනුරාධපුරේ කියල කිව්ව ඉන්නෙ. අපෙ මහත්තයා අසුන් පනවලා එහෙම කතා කරකර ඉන්න කොට කෝල් එකක් ආවා හාමුදුරුවන්ට හෑන්ඩ් ෆෝන් එකට. පැනි හිනාව දාල කතාව කෙනෙක් එක්ක. අපිටත් දැන් හරි අමාරුයි අහන් ඉන්න. මම එතනින් අයින් උනා ගිලන් පස ගේන්නම් කියල. මේ සංවාදෙ ඉවර උනාම අපේ මහත්තයා අහලා ආර්‍ය අශ්ඨාංගික මාර්ගය කියල දෙන්න කියල. හාමුදුරුවො එහෙන් මෙහෙන් කෑලි ටිකක් කියල හයක් වත් කීවෙ නෑ කීවා. ඒකත් අපිලිවෙලට කිය තිබෙන්නෙ. අපේ එක්කෙනා දහම් පාසැල් ගුරුවරයෙක් වගේම හොඳින් ධර්මය පරිශීලනය කරන කෙනෙක්. පස්සේ සමාවෙන්න හාමුදුරුවනේ දඹදිව යන්න කලින් මේ ටික දැන ගෙන එන්න කියලා යවලා . ඔය වගේම කාලෙකට ඉස්සර දෙයක් උනා ඒත් එහෙමයි.
    ධර්මය හරියට අදහන්නෙ නෑ, පිලිපදින්නෙ නෑ. නමට බෞද්ධ. එහෙම වැඩක් නෑ. තමන්ගෙ ආගම මොකක් උනත් හරියට එය ඇදහීම වැදගත්. මේ නිසා අන් අයත් අපි දිහාව වපර ඇහින් බලනවා. ස්වාමීන්වහන්සේ කෙනෙක් පාත්‍රා සිවුරු අතට ගන්න කොට කියවන වාක්‍යයක් තියෙනවා. ඒකෙ තෙරුම තමයි මා මේ මාර්ගයට පිවිසෙන්නෙ සසර දුකින් නිදහස්වීම පිනිස යි. භික්ෂුවක් වීමේ පළවෙනි අවස්ථාවේදී පැහැදිලි කරන්නේ ‘සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරනත්තා’ සියලු දුක් නැති කිරීම පිණිස මේ මාර්ගයේ ගමන් කරනවා යන්නයි. එහිදී මූලික කාරණාව වන්නේ සියලු දුක් නැති කිරීමට නිවන් මගට ප්‍රවිශ්ට වීමකි. නමුත් වර්තමානයේ අවබෝධයෙන් යම් කෙනෙක් පැවිදි බිමට ඇතුළත් වුවත් මේ සාමාජීය රටාව නිසා යම් වෙනසකට ලක් වෙලා භික්ෂූන් වහන්සේ රජයේ වැටුප් ලබන රාජ්‍ය සේවකයෙක් බවට පත් වෙනවා.

    ශාසනය රැකීම, ශාසනයේ ප්‍රතිපත්ති,, ආගම, දහම අවබෝධ කර ගැනීම, දායකයා, බෞද්ධයා, විහාරස්ථානය ආරක්ෂා කර ගැනීම භික්ෂුවගේ වගකීම වුවත් කාලානුරූපව අද භික්ෂුව රාජ්‍ය සේවකයෙක් බවට පත් වෙලා අද පිරිවෙන් අධ්‍යාපනයේ බුදු දහමට වඩා සමාජ විද්‍යාව, භූගෝල විද්‍යාව, දේශපාලන විද්‍යාව,, ආර්ථික විද්‍යාව වැනි විෂයයන් වලට ප්‍රමුඛ තැනක් ලැබිලා. මේවා මොනවටද? භික්ෂූන් වහන්සේ කෙනෙක්ට. මේවා ඉගෙන ගෙන යනවා වෙන තැන්වල උගන්වන්න. ඊළඟට ඇසුරට වැටෙන්නෙ සමාජයයි. ප්‍රධාන ගැටලුව එතනයි.

    ධර්මය නිවැරැදි ලෙස අවබෝධ කර ගැනීමට නම් හොද අධ්‍යාපනයක් ලැබිය යුතුයි. අද භික්ෂුවකගේ අධ්‍යාපනය පරිපුර්ණ අධ්‍යාපනයක්ද යන්න ගැටලුවක් වී තිබෙනවා. එම නිසා භික්ෂුවකගේ අධ්‍යාපනය නිවැරැදි වීම මෙහි පළමු කාරණයයි. පිරිවෙන් අධ්‍යාපනය ශාසනික වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන අධ්‍යාපනයක් විය යුතුයි කියලයි මම නම් හිතන්නේ. මේ අභාෂය යන්තමින් හෝ අසපුවල අවම වෙලා තියෙනවා. ඒක සතුටක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පිරිවෙන් අධ්‍යාපනය ගැන මමත් එකඟයි. ඉස්සර පිරිත් පැන් කලය පාන්දර යාමයට ඉතිරෙන්න පිරිත් කිව්වත් දැන් එහෙම දකින්නත් ආසයි. ඒ අතින් ගරු භක්තියෙන් කතාකල මුලසුන හෙබෙව්ව පූජ්‍යපක්ෂය අද වෙද්දි සාමාන්‍යජනතාවට වඩා වරදෙ වැටිලා.
      //ධර්මය හරියට අදහන්නෙ නෑ, පිලිපදින්නෙ නෑ. නමට බෞද්ධ. එහෙම වැඩක් නෑ. තමන්ගෙ ආගම මොකක් උනත් හරියට එය ඇදහීම වැදගත්. මේ නිසා අන් අයත් අපි දිහාව වපර ඇහින් බලනවා. ස්වාමීන්වහන්සේ කෙනෙක් පාත්‍රා සිවුරු අතට ගන්න කොට කියවන වාක්‍යයක් තියෙනවා. ඒකෙ තෙරුම තමයි මා මේ මාර්ගයට පිවිසෙන්නෙ සසර දුකින් නිදහස්වීම පිනිස යි. භික්ෂුවක් වීමේ පළවෙනි අවස්ථාවේදී පැහැදිලි කරන්නේ ‘සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරනත්තා’ සියලු දුක් නැති කිරීම පිණිස මේ මාර්ගයේ ගමන් කරනවා යන්නයි. එහිදී මූලික කාරණාව වන්නේ සියලු දුක් නැති කිරීමට නිවන් මගට ප්‍රවිශ්ට වීමකි. නමුත් වර්තමානයේ අවබෝධයෙන් යම් කෙනෙක් පැවිදි බිමට ඇතුළත් වුවත් මේ සාමාජීය රටාව නිසා යම් වෙනසකට ලක් වෙලා භික්ෂූන් වහන්සේ රජයේ වැටුප් ලබන රාජ්‍ය සේවකයෙක් බවට පත් වෙනවා.//

      වටිනම කොටස.. ඉස්සර මොනතරම් නම් ගෞරවයක් ගමේ පන්සල ගැන හිත්වල තිබුණද.. ඒත් අදවෙද්දි..?

      Delete
    2. ස්තූතියි ගොඩක්.. මේ වටින අදහස්දැක්වීමට.. :)

      Delete
  20. Replies
    1. ස්තූතියි ගයානි.. :)

      Delete
  21. වර්තමානයේ තවත් එක යතාර්ථවාදී කතාවක් !

    ReplyDelete
  22. සමාජයෙ අනිත් හැම දෙයක්ම වගේ සාසනයත් ඉතාම වේගයෙන් පිරිහෙමින් තියෙන බවනම් ඇත්ත නගේ. දවසක් හාමුදුරු කෙනෙක් කිව්වා මහණ කරන්න කෙනෙක් හොයාගන්න හරිම අමාරුයි. කැමතිවෙන එකා මොකෙක් උනත් මහණ කරන්න වෙනවා කියලා.

    ReplyDelete
  23. කාලයක් තිස්සෙ හිතේ පොදි බැඳන් හිටපු දෙයක් නන්දුගෙ හිතේ ඉවුරු කඩාගෙන වාන් දමාගෙන පිටවෙලා... පස්ස හැරිලවත් බලන්නෙ නැතුව ලියාගෙන ගිහින් කියලයි මට හිතුනෙ...

    පිටරටවල්වල ඉඳන් අපිට අහන්න ලැබෙන දේවල් වලට ඇතිවෙන කළකිරීමට වඩා දහස්ගුණයක කළකිරීමක් ඇතිවෙනව ඇති මේව උදේ හවස බල බල විඳ විඳ ඉන්න අපේම රටේ ජීවත්වෙන අයට... අපි දුරක හිටියත් අඩුම තරමේ සතියකට සැරයක් හරි මේ වගේ කළකිරෙන දෙයක් අහන්න ලැබෙනවානෙ... මේ රටවල ඉන්න සමහරක් අයත් ඔය කීව වගේ තමයි... සමානාත්මතාවය කැලේ... සල්ලි තියෙන අයට එක සැලකිල්ලක්, නැති අයට තව විදියක්... මට හිතාගන්න බැරි මේව බලා ඉන්න බැරි වෙනකොට මිනිස්සු අතරින්ම බලවේගයක් ඇවිත් ඒවා තුරන් කරයිද නැත්නම් තව තවත් විනාශය කරාම ඇදිල යයිද කියල....

    ReplyDelete
  24. මමත් ආචාර්ය (PhD) බෞද්ධ මනෝ විද්‍යාව පර්යේෂණාත්මකව අධ්‍යයනය කරපු කෙනෙක්. ඔයා කියන්නේ ඇත්ත බව මමත් සහසුද්දෙන්ම දන්නවා. ඒක එහෙම වුනාට හරි අපරාදේ කියන්නේ තවමත් මේ රටේ ඉන්න බහුතර මැටි මොල් උප්පැන්න සහතිකේ බෞද්ධයින්ට හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියලා හඳුනා ගන්න බැරිව හරි දේ කියලා වැරදි දේට රැවටිලා හති ද දා වැරදි දේ පස්සේ දුවලා හති වැටිලා අන්තිමේ හොඳ දේ ට බැණ අඩ ගහනවා වැරදි දේට රැවටිලා.

    ReplyDelete
  25. මිනිසුන් සංවර කිරීමට හා හික්මීමකින් යුක්ත කිරීමට ආගමට ඇත්තේ පුදුමාකාර බලයකි. විටෙක එය ලොව ඇති සියළු බලවේගයන්ට වඩා ඉතාමත්ම ආකස්මික බවක් පළ කරයි. එසේම ආගම මිනිසුන් හික්මවන්නේ දඬුවම හා නීති රීති උපයෝගී කර ගනිමින් නොවීම ද මෙහි දී ඇති සුවිශේෂීමය කරුණ වේ. ආගම සෘජුවම මිනිසුන්ගේ බුද්ධියට හා හදවතට ආමන්ත්‍රණය කර මේ කටයුත්ත සාර්ථක සේ ඉටු කරන බව පෙනෙන්ට තිබේ. ලෝකයෙහි විවිධ ආගම් තිබේ. එසේම ඒ ආගම් අතර ප්‍රචාරණ තරඟකාරීත්වය ද තිබේ. තමාගේ ආගම හැර ලොව සියළු ආගම් මිත්‍යා දෘෂ්ඨි සේ සලකන්නට මිනිසුන් පුරුදුව සිටී. තමන් හරි බවත් අනුන් වැරදි බවත් හැම‍දෙනාම සිතීම මේ අනුව අරුමයක් නොවේ. මේ අතර විවිධ ආගමික ඉගැන්වීම්වල ඇති පොදු කරුණු වන සහනශීලී බව, සමානාත්මතාවය, පරෝපකාරය, මානුෂික බව වැනි හදවතෙහි සංවේදීත්වය වර්ධනය කරන දේ පිළිබඳ තුලනාත්මකව ගැඹුරින් හදාරා කිසිදු ආගමික ඉගැන්වීමකට පමණට වඩා පක්ෂපාතී නොවී ස්වකීය ජීවන රටාව ඒ අනුව සකස් කරගෙන සිටින පුද්ගලයින් ද මේ අතර දක්නට ලැබේ.
    කිසිම ආගමික ඉගැන්වීමකට වහල් කොවන බව පැවසුව ද බොහෝ උගතුන් පඬිවරුන් හා දාර්ශනිකයින් බුදු දහමට දක්වන්නේ පුදුම සහගත හිතෛෂිවන්ත බවකි. මෙයට පෙරදිග හෝ අපරදිග කියා කිසිදු වෙනසක් නැත. බුදු දහමට මෙවැනි උසස් අය දක්වන ලැදියාව පිටුපස ඇති සැබෑ කරුණ නම් බුදු දහම තවත් එක ආගමික ඉගැන්වීමකට පමණක්ම සීමා නොවීමයි. එසේම ඉන් ඉදිරිපත් කෙරෙන්නේ ජීවන දර්ශනයකි. ප්‍රයෝගික වැඩපිළිවෙළකි. මෙවන් දේ අනෙක් කිසිදු අව‍ෙශ්ෂ ආගමික ඉගැන්වීමක අන්තර්ගත නොවීම බුදු දහම පෙරදිග හා අපරදිග ලොව තුළ ලබා ඇති අති මහත් ජනප්‍රසාදයට ප්‍රධානතම හේතුව වේ. ආගමික සංස්කාර විධි පැවැත්වීමට පමණක්ම ස්වකීය ආගමික චින්තනය සීමා නොකරගත් බුදු සමය ස්වයං ප්‍රත්‍යක්ෂය මහත් ලෙස අගය කරන හා බුද්ධිමත් විඤ්ඤු පුරිසයන්ට තමා විසින්ම විමර්ශනය කර සත්‍ය නම් පමණක් පිළි ගැනීමට ආරාධනා කරන විලාශය ප්‍රඥාවන්තයින් වඩාත් ඒ සඳහා ආකර්ශනය කරවීමට හේතුවකි.
    දුව්‍යවාදී හෝ භෞතිකවාදී නොවී ආධ්‍යාත්මික සුන්දරත්වය අපේක්ෂා කරන ගුණවත් අය ලේබල් ගසාගෙන ජීවත්වීමට වඩා නිහඬව ප්‍රතිපත්ති ගරුකව විසීම වඩා ප්‍රිය කරන්නේ චාම් බව ගරු කරන හෙයිනි. අතේ හෝ කරේ ආගමික සංකේත පැළඳ ලොවට ධාර්මික බව ප්‍රකාශ කිරීමට වඩා මානුෂික සංවේදී බව වැනි යහපත් දේ ප්‍රතිපත්තීන් ලෙස ආරක්ෂා කිරීම වඩා දුෂ්කරය. නමුත් සිදු කළ යුතු වන්නේද එයමය. අනෙක් අතට සාරධර්ම සංවර්ධනය කිරීමට ආගමික සිද්ධස්ථානම අත්‍යවශ්‍ය යැයි නියමයක් ද නොවේ. සමහරවිටක එවන් ස්ථාන ‍වඩා පහසු විය හැකිය. සාරධර්ම ඇති බවට හොඳම ශාක්ෂිය නම් මානුෂික සංවේදී බව ස්වකීය හදවතෙහි පැවතීම වේ. හදවත මෘදු නොවූ පුද්ගලයාහට කිසිදු ගුණ ධර්මයක් පුරුදු පුහුණු කළ නොහැකිය.
    මිනිසුන් දිනීමට වඩා සිය සිත දිනීම අපහසුය. යුද්ධ දහසක් ජයග්‍රහණය කළත් සිය එකම සිත පමණක් විජයග්‍රහණය කළ තැනැත්තා සෙසු අයට වඩා ශ්‍රේෂ්ඨ බව බුද්ධා දී උතුමන් ද පවසන බව ධම්මපදයෙහි දැක්වේ. සිතේ ජයග්‍රහණය සැමටම වඩා ශ්‍රේෂ්ඨ වන්නේ ද උතුම් වන්නේ ද එය මරණය පරාජය කරන විජයග්‍රහණයක් බැවිනි. සෙසු ජයග්‍රහණ මරණයට යටත් වේ. බුදුරජාණන් වහන්සේ ‍බෝධි මූලයෙහි දී නිර්වාණාවබෝධය ලබා බුද්ධත්වයට පත් වූයේ වසවර්ති මාරයා ඇතුළු දස බිම්බරක් මාර සේනාව පරාජයට පත් කරමිනි. එදා බුදුරදුන් ලැබූ ජයග්‍රහණය මරණය පරදවා ජය ගැනීමක් වන්නේ ඉන් භවයෙහි යළි යළිත් මැරෙමින් ඉපදෙමින් යන මේ භව ගමන ඉන් නැවැත්විය හැකි බැවිනි. එය ශ්‍රේෂ්ඨ විජයග්‍රහණයක් වන්නේ මේ නිසාය.

    ReplyDelete
  26. ද්‍රව්‍යවාදයට හෝ භෞතිකවාදයට මිනිස් මනස යොමු වන්නේ ආධ්‍යාත්මික හර පද්ධතිය පිළිබඳ මනා වැටහීමක් නොමැති වූ විටය. අනෙක් අතට සමාජය විසින් වඩාත් අගය කරන්නට හා වටිනාකම් ආරෝපණය කරන්නට උත්සුක වන්නේ ද්‍රව්‍යවාදී හෝ භෞතිකවාදී දේ පමණක් නම් එතරම් දියුණු විඥාන ශක්තියක් නොමැති ජනයා ද මෝහ මුළිකව ඒ වෙතට වඩාත් ආකර්ශණය වීම වැළැක්විය නොහැකි කරුණකි. සමාජය මෙවන් දෙයින් වැසී යන විට හුදෙක් නිසර්ගයෙන්ම ලැබූ ප්‍රඥා ශක්තිය ඇති බුද්ධිමත් මිනිසුන් එවැනි අය වෙතින් ඈත්වන්නේ සත්‍යයෙහි හා ව්‍යාජ බොල් දේවල වෙනස හොඳින් හඳුනන බැවිනි. ඇතැම් අය ධනයට, බලයට, නිලයට හා කාමයට වශීකෘත වෙති. සිල් සුවඳ, මානුෂික බව හා සංවේදීත්වය වැනි සත් පුරුෂයින් ගරු කරන ධර්මයන් කෙරෙන් දුරස් වෙති. කිසියම් සමාජයක අසත් පුරුෂයින් අධික වී සත් පුරුෂයින් අවමවීම මහත් අවාසනාවන්ත තත්වයකි.
    බුද්ධාදී කළ්‍යාණ සත් පුරුෂ ආශ්‍රය ඉතා උතුම්ය. බුදුරදුන්ගේ විජ්ජාචරණ සම්පන්න, සුගත, ලෝවිදූ, අනුත්තර, පුරිස ධම්ම සාරථි හා සත්ථා දේව මනුස්ස වැනි බුදුගුණ පවතින හෙයින් ද දහමෙහි අකාලික, ඒහිපස්සික, පච්චත්තං වේදිතබ්බ හා ස්වක්ඛාත වැනි ගුණ විද්‍යමාන හෙයින් ද මහා සංඝයා වහන්සේල‍ාගේ අඤ්ජලීකරණෙය්‍ය, දක්ඛිණෙය්‍ය, උජු හා ඥාණ පටිපන්න වැනි ගුණ සුවඳ ඔපවත් හෙයින් ද කළ්‍යාණ සත් පුරුෂ ආශ්‍රිය වර්තමාන බෞද්ධයාහට ද නොමඳව ලබා ගත හැකිය. කිසියම් නිශ්චිත දිනකදී හෝ නියමිත වේලාවක දී ආගමික කටයුතු ඉටු කරමින් වර්ධනය කරගන්නා ලද සාරධර්ම පසුබිම ඔස්සේ ස්වකීය ජීවිත කාලය මුළුල්ලේම යාවජීව ලෙස ගුණවත් සත් පුරුෂයින්ව කල්ගත කළ හැක. සාරධර්ම සංවර්ධනය කිරීමට පුර්වංගම වශයෙන් උපකාරී විය හැකි වුව ද සාරධර්ම යනු ආගමික සිද්ධස්ථානවල පමණක්ම පවතින දෙයක් ලෙස උපකල්පනය කිරීම සාවද්‍යය. එය කිසියම් පුද්ගලයෙකුගේ උපතෙහි සිට මෙලොව ජීවත්වන සෑම මොහොතක් පාසාම ජීවිතය ගුණයෙන් සුවඳවත් කළ හැකි අගනා ‍ඔසුවක් සේ සැලකිය හැකිය.
    ආගමික ස්ථාන පවතින්නේ ඒ ස්ථාන ආශ්‍රිතව මිනිසුන්හට මනුෂ්‍යත්වයෙහි ගුණ සුවඳ ස්පර්ශ කිරීමටය. රළු ක‍ඨෝර බවත් කර්කශකත්වයත් ඒ තුළින් විද්‍යමාන වේ නම් මිනිසුන් එවන් ආගමික ස්ථානවලට ගොස් යම් යම් ආගමික වැඩපිළිවෙල්වල නිරත වී සාරධර්ම සංවර්ධනය කර ගැනීම සඳහා යොමු නොවනු ඇත. සාරධර්ම වර්ධනය කිරීම පිණිස ආ‍ගමික සිද්ධස්ථාන අවශ්‍යම ද යන කාරණය වෙනම සාකච්ඡා කළ යුත්තකි. සාරධර්ම යනු සැබවින්ම මිනිස් හදවත් තුළ අනුන් වෙනුවෙන් තැන්පත්ව ඇති මානුෂික සංවේදී ආකල්ප සමූහයයි. බුදු දහම තුළ සතර බ්‍රහ්ම විහරණ නාමයෙන් දැක්වෙන්නේ සාරධර්ම අතරිනුත් වඩාම කැපී පෙනෙන සාමූහික ධර්මතා විශේෂයකි.
    වර්තමානයෙහි ඕනෑම ස්ථානයකට ආරක්ෂාව අවශ්‍ය බව සැබෑය. විශේෂයෙන්ම බහුලව මිනිසුන් ගැවසෙන ස්ථාන ආශ්‍රිතව වඩාත්ම ආරක්ෂාව තිබීම හොඳය. මිනිසුන් ආගමික ස්ථාන කරා යොමු වන්නේ ස්වකීය හදවතෙහි මානුෂික සංවේදී බව වර්ධනය කරගැනීම පිණිස ඒ තුළ යෝග්‍ය පරිසරයක් සකස් වී පවතින්නේ යැයි යන අවිහිංසක අපේක්ෂාවෙනි. ඒ නිසා ආගමික ස්ථාන ආශ්‍රිතව පැවතිය යුතු වන්නේ මානුෂික සංවේදී බව ඇති කරන හා තමා තුළ ඇති එවන් ගුණ වඩාත් සංවර්ධනය කළ හැකි පරිසරයකි. එනමුත් මානුෂික සංවේදී බව තිබිය යුතු ආගමික ස්ථාන ආශ්‍රිතව රළු, ගොරහැඩි, කර්කශක හා ශුෂ්ක වටාපිටාවක් නිර්මාණය වී පවතිනවා නම් එම ආගම වෙනුවෙන් සිදු කළ හැකි මහත්ම හානිය වනු ඇත්තේ ද එයමය. විශේෂයෙන්ම දකින අයගේ සිත තුළ ආගමික බැතිය වෙනුවට වියළි රළු ආකල්ප ජනිත වන ලෙස විවිධ අවි ආයුධ දරමින් ආගමික ස්ථාන තුළ ආරක්ෂක වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක වන විට ඒවා කරා යන පිරිස ද ක්‍රමයෙන් අවම මට්ටමකට වැටීම ස්වභාවිකය.
    අනෙක් අතට අති අන්තයේ හෝ නිවාඩු දිනෙක සිය විවේක කාලය විනෝදවීම සඳහාම කැප නොකොට ආගමික කටයුත්තක නියැළී මානසික සුවය ලැබිම සඳහා යොමු වීමට නූතනයේ බොහෝ පිරිස් උත්සුක වී සීටීම සතුටට කරුණකි. දෛනික ජීවිතයෙන් ලැබෙන විඩාව අවම කර සැහැල්ලුව අල්පේච්ඡතාවය අත්දැක මානුෂික බවෙන් යුතු සංවේදී තෘප්තියක් ලැබීම පිණිස උසස් රස වින්දනයක් සහිත පිරිස් යොමු වන්නේ ඔවුන් සතු බුද්ධිමය පරිපාකය නිසාය. වියපත්, තරුණ හා ළමා සියළු පුද්ගල කොට්ඨාශ ආගමික සිද්ධස්ථාන ආශ්‍රිතව සිදුකරන ආගමික සංස්කාරවලින් සිතට සැහැල්ලුව ලැබීමට පුරුදු පුහුණුව සිටින බව පෙනෙන්ට තිබේ. මෙවැනි වැඩ පිලිවෙළකට යොමු වී සිටින පිරිස් තව තවත් ධෛර්යමත් කරනවා වෙනුවට ඔවුන් අධෛර්යමත් කොට ආපසු හරවා යැවීමේ විවිධ ක්‍රියාදාමයන් යම් යම් ආගමික සිද්ධස්ථාන ආශ්‍රිතව සිදු වන්නේ නම් එය ඉතා අවාසනාවන්ත තත්වයකි. බෞද්ධයන් අන්‍යාගමිකරණයට ලක් වෙනවා යනුවෙන් මරහඬ තැලීම වෙනුවට බෞද්ධයන්ගේ සංවේදී සිත් රිදවන හා ඔවුන්ට සිද්ධස්ථාන වෙත යෑම එපා කරවන යම් යම් වටාපිටාවක් ඒ ස්ථාන ආශ්‍රිතව සකස්ව පවතින්නේදැයි විමසා බැලීම වත්මන් යුගය අනුව වඩා කාලෝචිත පියවරක් වනු ඇත.

    ReplyDelete
  27. ආගමික ස්ථාන කරා මිනිසුන්ගේ පැමිණීම බහුල සති අන්තවල කිසියම් නිශ්චිත කාල වේලාවක දී ඇතැම් සිද්ධස්ථානවල ආගමික කටයුතු අත්හිටුවීමට පියවර ගැනීම කුමන තත්වයක් යටතේ වුවත් අනුමත කළ නොහැකි වාතාවරණයකි. ඇතැම් විට දෙමව්පියන් ස්වකීය දූදරුවන් ද කැටිව එවන් සිද්ධස්ථාන කරා වන්දනා මාන කිරීම වැනි ආගමික සංස්කාර විධි පැවැත්වීම සඳහා ඉතාමත් දුර බැහැර සිට පැමිණ බලාපොරොත්තු කඩවූ විලස ආපසු හැරී යෑම සුලබ දසුනක් වීම සාමාන්‍ය සිදුවීමක් බවට පත්වී තිබේ.
    වර්තමානයේ දී විවිධ ආගමික ඉගැන්වීම් ස්වකීය ලබ්ධීන් ප්‍රචාරය කිරීම සඳහා ගෙන යන්නේ පුදුමාකාර තරඟයකි. විවිධ ආගමික ලබ්ධීන් ආශ්‍රිතව පමණක් නොව එකම ආගමේ සිද්ධස්ථාන ආශ්‍රිතව පවා මෙවන් තරඟයක් විද්‍යමාන වේ. අප රටේ එකම ආගමකට අයත් ආරාම, ආශ්‍රම, අසපු, සෙනසුන්, ජාත්‍යන්තර මධ්‍යස්ථාන ආදී විවිධ නම් වලින් හැඳින්වෙන ආගමික සිද්ධස්ථානවලට මිනිසුන් ‍ගෙන්වා ගැනීමට ඇත්තේ මෙවන් ස්වරූපයේ දැඩි තරඟකාරී බවකි. ඒවායෙහි ක්‍රියාත්මක වන විවිධ ආගමික සංස්කෘතික හා සාමාජික වැඩ පිළිවෙළවල් දෙස බැලූ විට ද මෙම තත්වය වඩා හොඳින්ම තහවුරු වේ. ඒ කුමන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වුව ද ඒවා හුදෙක් මතුපිට ඔපය දනවන තත්වයෙන් බැහැර වී ගැඹුරු ආධ්‍යාත්මික පක්ෂය සංවර්ධනය කරවන දෙයක් බවට පත් වුවහොත් මිස නූතනයෙහි බුද්ධිමත් ජනතාවගේ ඇසට වැලි ගසන ආකාරයෙහි වැඩපිළිවෙක් නම් මිනිසුන් එය එක හෙලාම ප්‍රතික්ෂේප කරනු ඇත. උගත් බුද්ධිමත් මිනිසුන් වඩ වඩාත් ආගමට ළං කර ගැනීමට නම් ඔවුන්ගේ ආගමික හා මානසික අවශ්‍යතා මැනවින් හඳුනාගෙන ඒ අනුව සිය ආගමික වැඩපිළිවෙල සකස් කරගැනීමට තරම් දූරදර්ශීවීම පසුව ඒ වෙනුවෙන් මැසිවිලි නැඟීමට වඩා ප්‍රඥාගෝචරය.

    ReplyDelete
  28. සෑදිය යුත්තේ ද සෑදීමෙන් වඩාත් ප්‍රතිඵල ළඟා කරගත හැක්කේ ද මිනිස් සිතම බව බුදු දහමින් අපට උගන්වයි. බුදු දහම අගයන සමාජයක් ලෙස මිනිසුන් බුදුමඟ අනුගමනය කරත් නම් එමඟින් ප්‍රතික්ෂේපිත නොයෙක් දේ සමාජය පුරා මේ අන්දමින් ව්‍යාප්ත වී ඇත්තේ මන්දැයි විවිධ අය ප්‍රශ්න කරන බව පෙන්නට තිබේ. සෑම ප්‍රශ්නයකටම පිලිතුරක් ඇත්තාක් සේ මෙම ප්‍රශ්නයට ද විවිධ ශාස්ත්‍රීය පිළිතුරු ගොනු කරන්නට පැවිදි හා ගිහි පක්ෂය උත්සුක වුවත් අදාළ පිළිතුරෙන් යථෝක්ත ප්‍රශ්නය වඩාත් සාධාරණීකරණය කිරීමට උත්සහ දැරීම එතරම් යෝග්‍ය ක්‍රියාවක් සේ නොපෙනේ. අනෙක් අතට මෙම ප්‍රශ්නයට වඩාත් වගකිව යුත්තේ පැවිදි හෝ ගිහි පක්ෂය දැයි තර්කයක් ගොඩනඟා ඒ ඔස්සේ සිය අවධානය වෙනතක යොමු කිරීම ද නොසුදුසුය. මේ ආකාරයට සමාජය විවිධ කොටස්වලට බෙදා ඒ ඒ අයහට මෙහි වගකීම වටවා තමන් නිදහස් වීමට ප්‍රයත්න දැරීම යෝග්‍ය නොවේ.
    සියළු දෙනාම සමාජයට අයත් හෙයින් සියළු දෙනා වෙතම එක හා සමානවම සමාජ වගකීමක් තිබේ. මිනිස් සිත් සතන් ආත්මාර්ථකාමී බවෙන් රළුවීම නිසා සහෘදත්වය, කාරුණික සංවේදීත්වය මිනිස් හදවත්වලින් පළා ගොස් තිබේ. වැළැක්වීමට කෙතරම් උත්සහ දරණු ලැබූවත් වර්තමාන සමාජයෙහි විවිධ අපරාධ සොර මැරකම් හා හිංසාවන් බහුල සේ සිදුවීමට කිසියම් කරුණක් තිබේදැයි මොහොතකටවත් සිතා බැලුවේද? මිනිස් සිත් සතන් තුළින් මානුෂික බව හා සංවේදීත්වය පළා යාම වර්තමාන සමාජයෙහි විද්‍යමාන මහත්ම ඛේදවාචකය වේ. මිනිසා භෞතික දේ අගය කිරීමට හා එවා අනවශ්‍ය ලෙස හුවා දැක්වීමට උත්සහ දැරීමේ බියකරු ප්‍රතිඵලය නම් තමාගේ මුළු මහත් ජීවන පැවැත්ම කෙරෙහිම ඉන් ප්‍රබල සෘණාත්මක බලපෑමක් ඇති කර ගැනීමට අවස්ථාව සලසා ගැනීමයි.

    ReplyDelete
  29. බොහෝ අය සත්‍යය යැයි සිතන දේ තුළ සත්‍යය විද්‍යමාන නොවේ. සත්‍යය යැයි අසත්‍යයම පුදන ලොවක නොයෙක්ලෙස රැවටෙමින් ජීවත්වීම මිනිසුන්ට විශාල ආශ්වාදජනක කටයුත්තකි. සමහරු සත්‍යයට ගරු කිරීමට තබා ඒ පිළිබඳ සිතීමට ද මැලි වෙති. පුහුදුන් මනසක ස්වභාවය විචිත්‍රවත් ලොව ලොලීව ග්‍රහණය කර ආත්මාදී ලෙස උපාදානය කර ගැනීමයි. සන්සුන් සිතින් දිවිගෙවීම බොහෝ කායික හා මානසික රෝග වැළැක්වීමට උපකාරී වේ. ඒ සඳහා සිය සිරුරේ සත්‍යය ස්වභාවය ඇවිදින මළ සිරුරකට සමාන බව නිවැරදිව අවබෝධ කර ගැනීම වැදගත්ය.
    මෙලොව සත්‍යය ස්වභාවය සලකතහොත් මිනිසුන් වනාහී ඇවිදින මළ සිරුරු බඳුය. සෑම අයෙකුම මළ සිරුරකි. එම මළ සිරුරේ ඇස්, කන්, නාසා, දිව, සම, මොළය හා හදවත විවිධ සංවේදන දැනෙන ස්ථාන වේ. ඇසින් රූප පෙනෙයි. කනින් ශබ්ද ඇසේ. නාසයෙන් විවිධ ගන්ධ ආඝ්‍රාණය වේ. දිවෙන් රස දැනේ. සමෙන් ස්පර්ශය විඳී. මොළ ක්‍රියාකාරීත්වය මඟින් සංජානන ග්‍රහණය කරයි. හදවත හැඟීම්වල උපත්තිගත ස්ථානයයි. නමුත් සත්‍ය නම් මේවායේ පවතින ඉන්ද්‍රීය ගෝචර ස්වරූපය මිස වෙන කිසිවක් නොවේ. මෙය මෙසේ සරළව පැවසූ මුත් එය ගැඹුරු කරුණකි. අවබෝධ කිරීම දුෂ්කරය. මේ පිළිබඳව හොඳින් සිතා සිහි නුවණින් විචාර පූර්වකව නිරීක්ෂණය කිරීමට උත්සුකවීම මඟින් මඳ වශයෙන් හෝ මේ පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීමට හැකියාව ඇතිවනු ඇත. මෙලොව මිනිසුන් හෝ සත්වයින් වශයෙන් සලකනු ලබන සෑම සිරුරකම අභ්‍යන්තර ව්‍යුහය නිර්මිතව ඇත්තේ ඉහත සඳහන් කළ ඉඳුරන් අතරින් සියල්ල හෝ කිහිපයක් එක්වීමෙනි. ප්‍රාථමික ජීවියෙකු වශයෙන් සැල‍කෙනුයේ එම ජීවියාට අයත් ඉඳුරන් ප්‍රමාණය හා එම ඉඳුරන් මඟින් ලබා ගත හැකි අවම තත්වයේ සංජානන වල ස්වභාවය සලකා බලා ඒ අනුවය. දියුණු ජීවියෙකු ලෙස සැලකෙනුයේ ඉහත සඳහන්කළ ඉඳුරන් සියල්ලම ඇති හා එකී ඉඳුරන් මඟින් ලබා ගත හැකි දියුණු සංජානනවල ස්වභාවය අනුවය. මේ අනුව සත්ව ලෝකය තුළ මානවයා වඩා දියුණු තත්වයේ ජීවියෙකු සේ සැලකේ.

    ReplyDelete
  30. මනස දියුණු කර සිය සත්‍යය ස්වභාවය නියම ලෙස වටහා ගත හැක්කේ මානවයෙකුටම පමණි. තමාගේ කය මළ සිරුරක ස්වභාවයක් ගන්නා බව සිහි නුවණින් සලකා ප්‍රඥාව ටිකෙන් ටික හෝ වර්ධනය කර ගැනීමට උත්සාහ දරනවානම් බොහෝ මානසික ආතති වලින් මිදී සිත සුවපත් කර ගත හැක. සෑම මානසික ආතතියක්ම ඇති වනුයේ සිය කයේ යථා ස්වරූප පිළිබඳ ඇති නොවැටහීම නිසාය. කය හා කය කේන්ද්‍ර කර ගෙන ඉඳුරන් මඟින් ලබන සංජානන සත්‍යය යැයි ඊට වසඟව එබඳු සංජානන විඳීමේ ලොල්වීම නිසා අවිද්‍යාව හා තෘෂ්ණාව හට ගනියි. අවිද්‍යාව ඇතිවීමට ප්‍රධාන හේතුව සත්‍යය ස්වභාවය මුළා කරවන යමක් විචාර පූර්වක සේ විනිවිද දැකීමට ඇති මානසික නොහැකියාවයි. සත්‍යය දැකීමේ හැකියාව ඉබේ ඇති නොවේ. එය අභ්‍යාසය තුළින්ම වඩවා ගත යුතු චිත්ත ශක්තියකි. කුසලතාව ලෙස සැලකෙන්නේ ද එයයි. අවිද්‍යාව දුරුකරන මානසික අභ්‍යාසය කුසලයක් වනුයේ එහෙයිනි. මේ බණ කීමක් නොවේ. විද්‍යාත්මක චින්තනයක ස්වභාවය පැහැදිලි කිරීමට කිසියම් ප්‍රයත්නයක් දැරීමකි. අවබෝධය පිණිස මඟ පෙන්වීමකි.
    ඇසින් රූප දකිද්දී සැබවින්ම දකිනුයේ රූපයේ සැබෑ ස්වරූපය නොව ඇස මඟින් මවා පෙන්වන චිත්‍රයකි. එසේම කණ මඟින් ශබ්ද අසද්දී සැබවින්ම අසනුයේ එම ශබ්දවල සැබෑ ස්වරූපය නොව කණ මඟින් මවන චිත්‍රයයි. දිවෙන් රස විඳිද්දී සැබවින්ම රසය යැයි සිතනුයේ දිව මඟින් මවා පෙන්වන රසයේ හැඩතලයයි. නාසයෙන් ගන්ධය ආඝ්‍රාණ ලබද්දී සැබවින්ම ගන්ධයැයි සිතනුයේ නාසය මඟින් මවාපෙන්වන ගන්ධයේ හැඩයයි. සමින් ස්පර්ශ ලබන විට එම දැනෙන බව සැබෑවක් නොව සම මඟින් මවාපාන දැනීමක් පමණි. මොළයට වැටහෙන සංජානන සැබෑවක් නොව මොළයට ලැබන සන්නිවේදන ග්‍රහණයකර මවාපාන ස්වරූපයකි. හදවතට දැනෙන හැඟීම් සැබෑවක් ‍නොව විවිධ ආවේදන හදවත වින්දනය කර මවාපාන හැඩතලයක් පමණි. තමාට ක්ෂණිකව ධර්මය දේශනා කරනසේ අයැදි බාහියදාරුචීවරිය තේරුන්හට බුදුන් වහන්සේ ලබාදුන් ඔවදන තුළ අන්තර්ගත ධර්මයේ සෑබෑම හරය නම් මෙයයි.
    මළසිරුරක අයිතිය සිතට දැනෙනුයේ ඒ මළසිරුර නිසා ආශ්වාදයක් ලබන හෙයිනි. මේ ආශ්වාදය අඛණ්ඩ ලෙස ලැබීමට ඇතිවන ආශාව නිසා සසර පවතී. ගඳ ගසන අපවිත්‍ර දෙයින් තැනුනු මළ සිරුරකින් විඳීයහැකි ඉන්ද්‍රීය ආශ්වාදයට ලොල්වීම නිසා මරණින් පසු නැවත නැවතත් එබඳු මළ සිරුරු වලටම ප්‍රවේශ වී උපත සිදු වේ. කාමලොව යනු ඉඳුරන් ඇසුරෙන් විඳීම්වලට ලොල් බව නිසා නැවත නැවත සසර උපත ලබන ස්වරූපයයි. එහි ඕලාරික තලය මනුෂ්‍ය ලොවයි. සියුම් තලය කාමාවචර දේව ලෝකයයි. මිනිස් ලොව දී විදර්ශනා භාවනා වඩා සිතේ කෙලෙස් අවම කර ගැනීමේ ප්‍රතිඵලය මෙබඳු කාමාවචර දේවලෝකවල උත්පත්තියට හේතු වේ. මළසිරුර පිළිබඳ සම්පූර්ණයෙන්ම කළකිරීමට පත්ව සිතින් කාම සංඥාව යටපත්කිරීම එනම් ලෞකික ධ්‍යාන මට්ටම්වල දී මෙන්ම කාම සංඥාව මුළුමනින්ම අහෝසිවන අනාගාමී මාර්ගඵල අවස්ථාවල දී බ්‍රහ්මලෝකවල උත්පත්තිය ලබයි. බ්‍රහ්ම ලොව කාම සංඥාව යටපත් කර ඇත. එක්කෝ මුළුමනින්ම නැත. කාම සංඥාව අනාගාමී මාර්ග ඵලයෙන් දුරු කළ උතුමන් සුද්ධාවාස බඹ ලොව උපදී. සමහර උතුමෝ අනාගාමීව සුද්ධාවාස බඹ ලොව ඉපිද එහි දී අර්හත් මාර්ග ඵලය ලබා පිරිනිවීමට පත්වෙති.
    කාම සංඥාවේ වුව ද සියුම් හා රළු වශයෙන් ප්‍රභේද පවතී. සමහරුන්ගේ කාමාශාව අඩුය. ඇතැමෙකුගේ ඉතා උත්සන්නය. මධ්‍යම ප්‍රමාණයේ අය ද වේ. කාමාවචර දේව ලෝකවල දෙවියන්ගේ කාම සංඥාව මිනිසුන්ගේ මෙන්රළු නැත.මිනිස්ලොව මානවයන් සිය කාම පරිලාහය සංසිඳුවා ගනුයේ එක් මළ සිරුරක් තවත් මළසිරුරක් හා සංසර්ගයේ යෙදීමෙනි. අශිෂ්ට, අශික්ෂිත හා අසම්මත සේ එහි නොයෙදීම හා පවුල් සංස්ථාව තුළ පිළිගත් ආචාර ධර්ම පද්ධතියක් අනුව එහි යෙදීම පංචශීල ප්‍රතිපදාවෙන් ද අනුමත කර තිබේ. නමුදු මේ වනාහී ආචාර ධර්මවල පරම නිෂ්ටාව නොවේ. ඇතැම් අයගේ සිත් ‍මීටත් වඩා ඉතාමත් සියුම්ය. කාමාවචර දේව ලෝකවල දෙවියන්ගේ සිත් මෙබඳුය. ඒ අය අතර කායික සංසර්ගයක් ඇත්තේම නැත. නමුදු මිනිස් ලොව අයෙකු මළ සිරුරුක් තවත් මළ සිරුරක් හා රමණය කර ලබන ආශ්වාදයට වඩා ඉතා විශාල ආශ්වාදයක් කාමාවචර දෙවිවවරු එසේ නොයෙදී ලබති. දෙවිවරු ප්‍රතිවිරුද්ධ ලිංගික අය අතර ඔවුනොවුන් පිළිබඳ සිතීම, දැකීම, සිනාසීම, කතාබහ යනාදී කරුණු මඟින් මිනිස්ලොව ලිංගික සංසර්ගයට වඩා දැඩි ආශ්වාදයක් ලබන අතර එහි ගොරෝසු, කැත, ඕලාරික බව අඩුය. ඇතැම් සියුම් දේ වචන මඟින් නිසි සේ පැවසීමට අපහසුය. මක්නිසාද යත් වචන නිපදවා ඇත්තේ මිනිස් ලොව අත්දැකීම්වලට ගෝචර වන ලෙස බැවිනි. ඒ නිසා සියුම් අදහසක් තව අයෙකුට පැවසීමේ දී වචනවල නිශ්චිත අර්ථවල සීමාවට එපිට දේ නිසි සේ පැවසීම දුෂ්කරය.

    ReplyDelete
  31. එම නිසා භාෂාවේ භාවිතා වන වචනවල අන්තගාමීව එල්ලී සිටීම සත්‍ය අවබෝධයෙහිලා හානිකර වේ. සත්‍ය අවබෝධයට අවශ්‍යවනුයේ වචන හරඹයක් නොවේ. භාෂාව, ව්‍යාකරණ අනවශ්‍ය බවක් ද මෙයින් අදහස් නොවේ. එම සියළු දේ අවශ්‍යවනුයේ මානව සන්නිවේදනයේ දී මෙවලමක් සේ භාවිතය සූකර වනු සඳහාය. භාෂා විශේෂඥයෝ වෙනම සිටිති. විෂය විශේෂඥයෝ වෙනම සිටිති. ඔවුනොවුන් ඔවුනොවුන්ගේ විෂය පථවල දී ප්‍රවේශම් සහගත වීම ඉතා අවශ්‍යය. සමහරු අනුන් නිවැරදි කිරීමේ අනුකම්පා සහගත චේතනාවෙන් නොව සිය පාණ්ඩිත්‍යය ප්‍රකට කිරීමේ පුහුදුන් චේතනාවෙන් මඬින ලද සිතින් යුතුවම අත්තුක්කංසනය හා පරම්භවනය කරනු පෙනේ. දැනුම ප්‍රඥාව නොවේ.
    දැනුම ප්‍රඥාව නොවෙතත් දැනුම ප්‍රඥාව බවට පත් කර ගත හැකිය.ඒ අනුන් කෙරෙහි දයාවන්තව කල්පනා කිරීමෙනි. දයාවන්ත සිතකට නොකළ හැකි දෙයක් නැත. සිය සිරුර ආත්මීය බවින් වියුක්ත මළ සිරුරක් බව වැටහීම දයාවන්ත බව උත්පාදවීමට හා වර්ධනය වීමට ප්‍රධාන හේතුවකි. මිනිස් ලොව තුළ වුවද මෙලොව දී හෝ වෙනත්භව වලදි විදර්ශනා භාවනා වඩා පළපුරුදු අය සිටිති. ඇතැම් අය වර්තමාන කාලයේ මිනිස් ලොව උපත ලබා උසස් ජීවිත ගත කරමින් මේ සමාජය තුළම සිටිය හැක. එබඳු අය සාමාන්‍ය අය තුළ සෙසු අය කෙරෙහි දැක්වෙන දුර්වලතා විද්‍යමාන නොවේ. එබඳු අය මතුපිටින් දැන හැඳින ගැනීමට අපහසුය. යම් යම් අය අනෙක් මිනිසුන්ට වඩා වෙනස් බව සමාජයේ ඇතැම් අය අතර කිසියම් පිළිගැනීමකට පත්ව සිටියද, නියම ගුණවත් බව හඳුනා ගැනීමට කිසිවිටෙකත් එය හොඳ සාධකයක් නොවේ. සමහරු තුළ පිහිටි විවිධ දුබලතා පවා අති ශ්‍රේෂ්ඨ දේ ලෙස දැකීමට සාමාන්‍ය පුහුදුන් ජනතාව වහා පෙළඹෙන බැවිනි. සාමාන්‍ය මිනිස් දුබලතා ඉක්මවූ, උසස් ගුණවත් අය එබඳු සුවි‍ශේෂී ගතිගුණ සෙසු අය අතර බහුලව ප්‍රචලිත වීම නොරිසි වෙති. අනුන්ගෙන් කීර්ති ප්‍රශංසාදිය හිමි වීම පවා ලාභ සත්කාර කෙරෙහි ගිජුවීමක් ලෙස එබඳු අය කල්පනා කරන බැවිනි.
    කිසියම් පුද්ගලයෙකුගේ චිත්තාභ්‍යන්තරයේ සැඟව ඇති අනුශය ක්ලේශ ධර්මයන්හි නියම ස්වභාවය නිසි ලෙස දැකගත හැක්කේ විදර්ශනා භාවනා මඟින් වඩන ලද සිතක් ඇතිවිට පමණි. ඇතැම්විට තමාටම පවා තමාගේ සිත එලෙස පිරිසිඳ දැකගැනීමේ හැකියාවක් නොමැති වීමට පුළුවන. කෙසේ හෝ විදර්ශනා භාවනාව දීර්ඝකාලීන වශයෙන් ප්‍රගුණකර භාවිත සිතක් ඇති අයෙකුට සිය සිතේ ඉතිරිව ඇති අනුශය ක්ලේශවල ස්වභාවය පිළිබඳ අවබෝධයක් ඇති කර ගතහැක. මාර්ගඵල ඥාන ලෙස ප්‍රකාශයට පත්වනුයේද බහුල ලෙස වඩා පරිපාකයට පත් වූ විදර්ශනා ප්‍රඥාවමය. මුල්ම විදර්ශනා භාවනාව වඩා පරිපාක ගතවූ ප්‍රඥාව සෝතාපත්තිමඟ ඵල ඥානය ලෙස හැඳින්වේ. තමන් විසින් උපදවන ලද සෝතාපත්ති මඟඵල සිතේ සිට ඉදිරිය බලා විදර්ශනා ප්‍රඥාව වැඩීම සකෘදාගාමී මඟඵල ඥාන අවස්ථාව දක්වාම යළි හැඳින්වෙනුයේද විදර්ශනා ප්‍රඥාව යන නමිනි.මේ ආකාරයට අනාගාමී මඟඵල දක්වාද, අනතුරුව අර්හත්මඟඵල දක්වාද විදර්ශනා ප්‍රඥාව ලැබූ මඟඵල ඥානයේ සි‍ට ඉදිරියට සංවර්ධනය කළ යුතුය

    ReplyDelete
  32. වර්තමාන යුගයේ විදර්ශනා භාවනා වඩා නිසි ප්‍රතිඵල ලැබූ අය නොවෙතැයි ඒකාන්ත ලෙස පැවසීම අපහසුය. විවිධ ගුරුකුලවලට විවිධ සම්ප්‍රදායයන්ට අනුව විදර්ශනා භාවනා ක්‍රම රාශියක් තවමත් ලෝකයේ ශේෂවී පවතී. විදර්ශනා භාවනාව එකක් වුවද එය වඩන ක්‍රම රාශියක් තිබේ. තමාගේ ක්‍රමවේදය නිවැරදි යැයිද අනෙකාගේ ක්‍රමවේදය සාවද්‍ය යැයිද ප්‍රතිපත්ති ගරුක අය අතර පවා විවිධ මතභේද ඇතිවන බව ද ඇතැම්විටක දී දක්නට ලැබේ. එබඳු වාද ප්‍රතිවාද නිසා සමහරු කෝපයට පත්වන බවද පෙනේ. කෙළෙස් නැති කළ හැකි ක්‍රමවේද අරබයා කෙළෙස් ඇති කරගැනීම සිහි බුද්ධියක් ඇති ඕනෑම අයෙකුට වුව ද අනුමත කළ නොහැක. කෙසේ නමුදු යම් අයෙකු තුළ මේ ලක්ෂණ ඇත්නම් ඒ තැනැත්තා තවමත් පුහුදුන් බවේ සීමාව තුළ සිටින බව හැඳින ගැනීමට පමා විය යුතු නැත. එක් එක් පුද්ගලයාගේ චරිත ලක්ෂණ හා බුද්ධි පරාසය අනුව විදර්ශනා භාවනාව වැඩිය යුතු ක්‍රමවේද විවිධය. නිසි ගුරු උපදේශ ලබා භාවනාව සංවර්ධනය කර ඉහළට ගෙන ඒමට හැකි වෙතොත් අද මාර්ගඵල ලාභී අය ඇති නොවෙතැයි කිව නොහැක. අද සමාජයේ එබඳු උතුමන් වැඩ සිටියද සාමාන්‍ය පුහුදුන් අයට හඳුනාගත නොහැක. එබදු අය හඳුනාගත හැක්කේ අභ්‍යන්තර ගුණ නුවණින් ඒ හා සමාන තත්වයේ පසුබව අයටම පමණි. ඔවුහු මිනිසත්බව ලබා සිටියද මිනිස්ලොව ඇතැමෙකු ළඟ ඇති සේ අධික කාමප රිළාහ දක්නට නොලැබේ. මින් ඇතැමෙකු මිනිස් ලොව සාමාන්‍ය පිලිගත් සම්ප්‍රදායකට ගරු කිරීමක් ලෙස ආවාහ විවාහ ආදියට ඇතුළත්ව විසූවද සියුම් වූ කාමසංඥා සහිත අයවේ.
    මෙබඳු උසස් ආකල්ප ඇති තව සමහරු හුදකලාව විසීම ප්‍රිය කරන බව දක්නට ලැබේ. අපේ සමාජයේ ඇති එක් නරක පුරුද්දක් නම් මිනිසුන්දෙස වපරැසින් බැලීමයි. නරක පුද්ගලයා දෙස මෙන්ම ගොඩාක් හොඳ පුද්ගලයා දෙසද සමාජය බලන්නේ වපර ඇසිනි. මෙපමණ හොඳ මිනිසුන් සිටිය හැකිද යන සැකය ඔස්සේ මෙලෙස කටයුතුකරනබව පෙනේ. බුදුරදුන් ජීවමාන කාලයේ දී විසූ පුරාණ හා ඉසිදත්ත යන පුද්ගලයින් දෙදෙනාම මෙබඳු උසස් ආකල්ප සහිත අයයි. ඔවුන් දෙදෙනාම විදර්ශනාවඩා සකෘදාගාමී මාර්ගඵල ලාභී වූ අයද විය. මින් එක් අයෙකු විවාහකයෙකු වූ අතර අනෙකා බ්‍රහ්මචාරීව විසීය. එක්තරා උපාසිකාවක් මේ දෙදෙනා පිළිබඳවම වැරදි වැටහීමක් ඇතිකරගෙන සිටි අතර මේ පිළිබඳ ආනන්ද හිමියන්ට දැන ගැනීමට ලැබී එය බුදුරදුන්ට දැන්වීය. බුදුරදුන් මේ දෙදෙනාටම කාමාවචරදේවලෝකයේ ඉපදිය හැකි බව වදාලේය. එහිදී උපාසිකාව දැරූ මතය වැරදි බවද පෙන්වාදිනි. පුද්ගලයා ප්‍රමාණ කොට නොසිතිය යුතු බව ද බුදුරදුන් දක්වන ලදී.
    සෑම පුද්ගලයෙකුම මෙ‍ලොව ජීවත්වනවා යන්නේ සැබෑ අරුත නම් මළසිරුරු සමූහයක් එක් වී විවිධ චර්යා සිදු කිරීමයි. ජෛව ප්‍රජ‍ාව යනු සිරුරු සමූහයක් යනු වෙනයමක් නොවේ. සියළු සිරුරු අතරෙහි සිය සිරුර වෙන්කර හඳුනාගත නොහැකි තරමට මිශ්‍රව දැකිය හැකි නම් බොහෝදුරට සක්කාය දිට්ඨිය අඩුය. ආත්මාර්ථකාමී බව ඇතිවීමට තමා යන දැඩි දෘෂ්ටිය තුළ සිරුර දැඩිව ග්‍රහණය කර තමාගේ යන ආකල්පයේ දැඩිව ගිළා බැස වීසීම හේතු වේ. සත්‍යය දැකීමට නම් තමාගේ යන ආකල්පයෙන් මිදී සිරුරින් නික්ම පිටත විත් විශ්වය පුරා විහිද ව්‍යාප්ත වන සේ සිතිය යුතුය. මළසිරුර රැසක් විවිධ ජෛව ක්‍රියා පවත්වමින් මෙලොව වාසය කරන විටකදී, ඒ සමස්තය අතරින් තමා යනුවෙන් එක් මළ සිරුරක අයිතිවාසිකම ; හිමිකම නොපවරාගෙන දිවි ගෙවීම සැබෑ යථාර්ථයයි. මෙලෙස ජීවත්වන විට යම් කිසි කෙනෙක් තමාට පරුෂ වදනින් බැණවැදුනත්, පහර දුන්නත් එය තවත් එක් මළ සිරුරකට සිදුකරන දෙයක් ලෙස පමණක් පෙනේ. යම්කිසි හෙයකින් තියුණු සැතකින් ගෙල සිඳ දිවි තොර කරයිද එවිට මළ සිරුරකට සිදුවන සිදුවීමක් පමණක් ලෙස කිසිදු මානසික ආතතියක් රහිතව එම සිදුවීම විඳදරා ගැනීමට ඒ පුද්ගලයාට හැකි වේ. නමුත් වේදනාව දැනේ. මෙහි දී සිදු වනුයේ ආකල්ප පරිවර්තනයක් මඟින් සියළු මානසික ආතති දුරු කිරීමකි. රහතන් වහන්සේ නමක් අටලෝ දහමේ විවිධ සිදුවීම් වල දී නොසැලී සිටිනුයේ මෙබඳු මානසික අකම්පිත බවක් උරුමකරගෙන ඇතිනිසාය.

    ReplyDelete
  33. ඇතැමෙකු තවමත් සිතන්නේ රහතන්වහන්සේ යනු තවත් එක් විජ්ජාකරුවෙකු ; ඉන්ද්‍රජාලියෙකු සේ අහසින් ගමන් කරන අමුතු දෑ කරන්නෙකු ලෙසයි. ඒ පුහුදුන් අයට ලොකු දේවල් සේ පෙනෙනුයේ එවැනි පුහු මනස්ගාත ලාමක දේ වන බැවිනි. කුඩා දරුවන් කාටුන් සිනමා පට නරඹා ලබන ආශ්වාදයට වඩා වැඩි යමක් වැඩිහිටියන්ගේ වුවද එබඳු සිතිවිලිවල ගැබ් නොවේ. නමුදු සැබෑ ස්වභාවය නම් සත්‍යාවබෝධය ලද්දා ඉන් උද්දාමයට පත්නොවන ශාන්ත ස්වරූප වන බවයි. බුදුවදන නම් පුහුදුනෙකුට කිසි‍ දිනෙක රහතන්වහන්සේ නමක හෝ ඒ මාර්ගයට පිළිපන් අයෙකු නිසි සේ හැඳින ගත හැකි නොවන බවයි. නියම මඟ දැක දැකත් එය නියම මඟ සේ නොසැලකීම පුහුදුන් ස්වභාවයයි. නිවනට ලේසි කෙටි මං නැත. සත්‍යය දකින්නට කම්මැලිනම් කිසි දිනෙක එය අවබෝධ කළ නොහැක. බොහෝ ලස්සනට සුවදායී සේ පෙනෙන මඟ නියම මඟ නොවේ. සිතන්නටත් කම්මැලි සිතෙන දුෂ්කර මාර්ගය නියම මඟයි. මෙලොව සෑම දෙයක්ම සැකසී ඇත්තේ සසර සිඳ දමන්නට නොව සසර තව තවත් තහවුරු කිරීමටය. එමනිසා නියම මඟ දුෂ්කර යැයි කම්මැලිකම් සිතීම ස්වභාවිකය. බුදු, පසේ බුදු, රහතන්වහන්සේලාටද එවැනි මානුෂික හැඟීම් ඇති නොවුණා නොවේ. නමුත් ඉන් අධෛර්යයට පත් නොවී නිවන් මඟ අතහැර දැමීමට උන්වහන්සේලා ක්‍රියා කලේ නැත. සම්මා සම්බුදුවරු තමන් ලද අවබෝධය අනුන්ට ද ලබාදී සසර කතරින් එතෙරවන්නට මාර්ගය පෙන්වා වදාළහ. බුදු දහම නිර්මලව තවම පවතී. මඟ සොයා ගන්නට වෙහෙස වීමට ද වුවමනා නොවේ. එසේ තිබියදීත් එමඟ යන්නට මන්දෝත්සාහී වීම මෝඩකමකි.

    ReplyDelete
  34. සමහරු මෛත්‍රි බුදුරදුන්ගේ සසුන දක්වා නිර්වාණාව‍බෝධය කල්දමනු දක්නට ලැබේ. එහෙත් තමන් කිසිම දෙයක් නොකර බුදුරදුන්ට පමණක් විජ්ජා බලයකින් තමන්ව නිවන් දැක්විය හැකි යැයි යමෙකු කල්පනා කරතොත් එය විශාලම මෝඩකමකි.බුදුවරු කෙතෙක් දහම් දෙසුව ද අවබෝධය ලැබෙනුයේ තමාගේ උත්සහය තිබියහොත් පමණි. හැන්ද කෙතෙක් සූප ව්‍යාංඤ්ජනවල බහා තැබූවද එහි රසය නොහඳුනන්නාක් මෙන් අනුවණයා කෙතෙක් කාලයක් නුවණැති අය ආශ්‍රයකළද සදහම් රස නොලබන බව ධම්මපදයේ සඳහන්ය. එසේම දිව අග තැබූ පමණින් සූප ව්‍යංඤ්ජන රස හැඳිනීමට සමත් වන්නාක් මෙන් පණ්ඩිතයා සුළුකලකින්වුවද සදහම් රස මැනවින් හඳුනාගැනීමට සමත්වන බව එහිම දැක් වේ. ටිකින් ටික වුවද බිඳුවෙන් බිඳුව එක්වී මහ සයුර සැදෙන්නාක් මෙන් සදහම් අවබෝධය ලබා කෙලෙස් මල දුරුකළ හොත් කෙදිනක හෝ සම්පුර්ණයෙන්ම සිත පවිත්‍ර කළ හැකි වේ. ඊට උත්සාහය අවශ්‍යය. පාරමිතා පිරීම නම් නිරන්තර අභ්‍යාසය මඟින් අවශ්‍ය සුදුසුකම් හා කුසලතා සම්පූර්ණ කර ගැනීමට වෑයම් කිරීමයි.
    මානව ආකල්පවල වෙනසක් සිදු නොකර චින්තන පසුබිම උසස් තලයකට පත් කළ නොහැක. මිනිසුන්තුළ මුල්බැස ඇති සෘණාත්මක ආකල්ප ඉවත්කිරීමට විශාල වෙහෙසක් ගත යුතුය. එම සෘණාත්මක ආකල්ප සසරෙහි දිගුකලක් තිස්සේ පුරුදු පුහුණු කරන ලද ඇතැම් සාවද්‍ය චින්තන රටා නිසා ඇති වූවක් බව සැලකිය යුතුය. ආකල්පවල මෙකී වෙනස සිදු කළ යුතු වනුයේ ගැඹුරු මානසික තලයකදීය. සාමාන්‍ය මානසික තලය නම් ඇල්ෆා අවස්ථාවයි. මේ ඇල්ෆා අවස්ථාවේ මනස පවතින්නේ කළබලකාරී අවස්ථාවේය.ගැඹුරු නින්දේ දී මනස බීටා තරංග අවස්ථාවට පත් වේ. එසේම සාමාන්‍ය භාවනානුයෝගී ඒකාග්‍ර මානසික අවස්ථාවේදීද පවතිනුයේ මෙකී බීටා තරංග අවස්ථාවයි. ටීටා තරංග අවස්ථාව යනු ඊටත් වඩා ගැඹුරු තරංග අවස්ථාවකි. ගැඹුරු සමාධි මට්ටමකදී මනසින් මෙබඳු තරංග නික්මේ. මෝහන නිද්‍රා අවස්ථාවක දී සිත නිශ්චල වුවද, යම් යම් භෞතික‍ කාර්යයන් අණදීම මඟින් කළ හැකි වුව ද සිතේ බලය එබඳු දේකට පමණක් සීමා කළ නොහැක. විදර්ශනා භාවනාවේ දී සිතේ ඇති වන ක්ෂණික ගැඹුරු සමාධිය චතුත්ථි ධ්‍යානයේ දී තරම් ප්‍රබලය.එබඳු විටෙක විදර්ශනා භාවනාවේ දී සිහිය හා අඛණ්ඩ නිරීක්ෂණය මඟින් මාර්ග ප්‍රඥාව අවධි කර ගත හැක. එක් වරක් මාර්ගඵල ප්‍රඥාව ඇති වූවාට පසුව නැවත එය චිත්ත සන්තානය හැර නොයයි. මාර්ගඵල ප්‍රඥාව ලෝකෝත්තරය. මෙලොවට අයත් වෙනස් වන බව එහි නැත. එනිසා කෙළෙසුන්ගෙන් මිදුනු සිත අකම්පිතය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ හරබරවත් විචාරයට ආචාර්ය තුමා..!

      Delete
  35. නන්ඳු මිස්.. මොකුත් අලුතෙන් දමා නෑ වගේ...
    ෆේස් බුක් එකේම ඉදලා ගොඩක් දිග ඒව කියවගන්න නුහුරු වෙලා දැන්...
    හ්ම්

    ReplyDelete
    Replies
    1. හිහිහ.. අලුතෙන් පෝස්ට් 1ක් දැම්මා සුකුමල්..
      හ්ම්ම.. ඒ නුහුරු බවනම් එච්චර හොඳ දෙයක් නෙමෙයි නේද..
      ගොඩක් ස්තූතියි නිතරම මේ පැත්තට ඇවිත් යනවට..

      Delete