"කීක්... කීක්..
මේ ලංකා ගුවන් විදුලි සේවයයි.."
කපුටා හත්වෙනි වතාවටත් බඩගින්නට ක්ලාන්තෙ දාන්න කලින් ඇහෙන බණ්ඩෙ මාමගෙ රේඩියෝව මුළු ගමම ඇහැරෙන්න දාලා බෙහෙත් නෙල්ලි ගස් මැද්දට මැදිවෙලා නිල් කැටේට පෑදුන උල්පතකින් හැඳුන ලිදෙන් කල වලට වතුර පුරවන්න අමතක කරන්නෙ නැහැ.. ඒ දවස් වල රේඩියෝව උදේ ඉදන් හවස් වෙනකල් මේ තරම් හයියෙන් දාලා තියෙන්නෙ විවාහය නිසා දරුවන්ගෙ අඩු පාඩුව මැවුණ නිවසෙ තනියට වෙන්න ඇති.. බණ්ඩෙ මාමගෙ නෝනා මහත්මියත් හරිම නිස්සබ්ද කෙනෙක්.. අපේ ගෙදරට එහා වත්තෙ තියෙන මේ ගෙදරින් එහෙමත් කටහඬක් ඇහෙන්නෙ පුතා හෝ දුව ගෙදර ආවම විතරයි.. ඒත් හැම සිංහල අවුරුද්දකටම පැණි වළලුත් එක්ක මං ආස කරන කොකිස් ආස්මී පිඟානට වැඩියෙනුත් දාලා එවන්න අමතක කරන්නෙ නැහැ.. වෙලාවකට කන්කරච්චලයක් වුණ රේඩියෝව ගැන ගමේ කවුරුවත් ඒ ගැන ගතු කියන්න තියාගත්තෙ නැත්තෙ කාටවත් කරදරයක් නැතිව ජීවත් වුණ, ගමේ හිටිය පරණ පවුල් අතරින් කෙනෙකුත් නිසා වෙන්න ඇති..

සිංහල අළුත් අවුරුද්දත් ඉවර වෙලා එරබදු මලුත් බිම බලාගන්න පටන් ගනිද්දි.. ඕන් ඉතින්.. පළතුරුවාරේ.. ගෙදර වටේ තියෙන පළතුරු ගස්වල විතරක් නෙමෙයි.. හිටි ගමන් පොල් ගස්වලිනුත් කුරුම් බැට්ටි වැටෙන්න ගන්නෙ හරියට ඉඩෝරෙට වගේ.. අඹ ගහ උඩ තිබුණ අපේ පරීක්ෂණාගාරයටත් මේ හේතුවෙන් බරපතල හානි සිදුවෙන්න පටන් අරන් තිබුණා.. අයියගෙත් මගෙත් පසු විපරමකදි දැනගන්න ලැබුණෙ ලොකු ලේන්නු එකෙක් මදිවට තුන්දෙනෙක්ගෙම ක්රියාකලාපය මේකට හේතුවුණ බවක්..! 4වසරෙ විතර හිටිය මට ජීවිතේ ඉස්සරවෙලාම දඬුලේන්නුන්ව දැක්කෙ මේ කාලෙදි..
එහෙ මෙහෙ දුවන දඬුලේනු දෙතුන් දෙනෙක් නිසා වත්තට වෙන හානිය තක්සේරුවක් කරනවට වඩා අපිට ඕන වුණේ.. පුංචි කාලෙ ඉදන් ආසවෙන් හිටිය ලේන් පැටියා වෙනුවට ඊට වඩා ලොකු සිහිනයකට යන්න.. මේ වදකාර දඬුලේනෙක්ව අල්ල ගන්න..! අයියගෙ ප්ලෑන අනුව ඉතින් අපි ක්රියාත්මක වුණා..
ප්ලෑන මෙහෙමයි.. කවදාවත් රතිඤ්ඥයක් පත්තු කරනවා තියා බැලුම් බෝලයක්වත් පිපිරුව නැති අපේ අයියා එක තැන ඉන්නෙ නැති දඬුලේනා දිහාවට ඉලක්ක කරන් අහස්කූර අල්ලගෙන ඉද්දි මට තියෙන්නෙ පත්තු කරන එක...
වෙලාවත් උදා වුණා.. දඬුලේනා හරියටම නැමුණ අත්තක් උඩ.. කිසිම සද්දයක් නැතිව හැලහොල්මනක් නැතිව බලාගෙන ඉන්නවා.. අපි දෙන්නම කුරුමානම් අල්ලගෙන නිදිකුම්බා කටු ඇනි ඇනි, කෝටු, කූඹි කකා , කහඹිලියා ගියේ ලේනව ටිකක් පේන තැනකට..
ෂූ....
ගාගෙන පත්තුවුණ අහස් කූර අයියගෙ අතින් ඉගිලෙනවා විතරයි දැක්කෙ..
ඩෝං..!!!
මං ඇස් දෙක ඇරියෙ බිම ඉන්න දඬුලේනාව දකින්න.. මොන.. ඒකා තියා නැට්ටක්වත් නෑ බිම.. (ලේනා ඉඳීවි යෑ.. සද්දෙටම දුවන්න ඇති..)
එතකොට අහස්කූර..!
පත්තුවෙලා තිබුණෙ බණ්ඩෙ මාමගෙ ගෙදර වහලෙ උඩ..!
එදා ඉදන් බණ්ඩෙ මාම රේඩියෝව අඩු කරන්න ගත්ත හේතුව ගමේ කවුරු ටික දවසක් යනකල් කතාබහට අනිවාර්යයෙන්ම එකතු වුණා.. නෝනා මහත්මිය නම් කියලා තිබුණෙ කවුදෝ මහත්තයගෙ රේඩියෝවත් එක්ක වෛර බැදගත් එකෙක් එව්ව රතිඤ්ඤයක් කියලා.. වෙලාවෙ හැටියට හාමිනේ වතුර කේතලයක් ලිපේ තියමින් ඉදලා තියෙන්නෙ.. ඒක අනිත් පැත්ත හැරුණ බවත් වාර්තාවක් ආවාලු..
දඬුලේන්ස්ලා ටිකත් යහතින් ඉදලා අපේ ඔළුගෙඩි උඩට කුරුම් බැස්ටි ටික දාලා හෙමින් සැරේ යන්න ගියා.. අපේ අහිංසක හීනයට යැව්ව අහස් කූර රතිඤ්ඤයක් වුණා.. :( ගෙදරින් කන් පිරෙන්න බැනුම් නම් අහගත්තා.. අපි තීරණේ වෙනස් කලා.. ආයෙ කවදාවත් ලේන්නුන්ගෙ සිහිනයට අහස්කූරුනම් යවන්නෙ නැති වගට.. :)