14 December 2011

කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා.... උලලේනෝ....

අදට සති 2-3කට කලින් අපේ ගෙදර එක ජනෙල් වීදුරුවක හරි අපූරු සටහනක් තිබුණා.. මේ වීදුරුව එළියට නිරාවරණය වෙන්නත් ඇතුලතින් වෙනම ලී පියනකින් වහන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නෙ.. සීතල ඇතුළු නොවෙන්න.. 
හිතන්න පුළුවන්ද මේ සටහන මොකද්ද කියලා.. 

ඈ.. මොකද්ද... නෑ නෑ..

නාලා නැති බ්රේක් නැති බස්සෙක්ගෙ සටහනක්..! 

ඈහ්.. මොකද්ද ඒ අප්‍රබ්‍රංසෙ..?

 සිද්ද වෙලා තිබුණෙ එළියෙ තියෙන විදුලිපහනෙ ආලෝකය වීදුරුවට වැටිලා , එතනින් පියෑඹුව බස්සගෙ ඇහැට මේ වීදුරුවට වැටුණු ආලෝක පරාවර්තණය වී යන එනමං නැතිවීම.. වීදුරුවෙ වැදුන බස්සගෙ ඇගේ තියෙන අළු එහෙම්මම වීදුරුවෙ ලකුණුවෙලා තිබුණා.. අත්තටු දෙකේ පිහාටු, වැසුන ඇස්, හොට.. 
ඊයෙ රෑත් ඔය දේ නැවතත් සිද්ධ වෙලා තිබුණා.. කොයිතරම් උත්සහ කලත් සුදුපාට කොළයක් තියලා ඡායාරූපයක් ගන්න, වැඩේ අසාර්ථකයි.. අර අළු බිම වැටෙනවා.. ඔය පහල පින්තූරෙ වගේ තමයි මේ බකමූණා සටහන් වෙලා තිබුණෙ.. (හැප්පිලා තියෙන හැටියට මේ බකමූණටනම් දැන් තාරකා මණ්ඩල පේනවා ඇති) 

ඔය බස්සා නිසා බකුසු කතාවකින් පටන් ගත්තත් මේ කියන්න යන්නෙ බකමූණු පවුලට අයිති ඈත අතීතයේ ඉදන්ම බයක් , කුතුහලයක් උපදවන්න සමත් ලංකාවෙන් වද වෙලා යන කෙනෙක් ගැන.. මේ ගැන ලියන්න මතක් වුණේ බස්රේඩියෝවෙ ප්‍රචාරය වුණ ගුණදාස කපුගේ මහත්මයගෙ ගීතයක් ඇහුණ වෙලාවෙ.. උලලේ‍නෝ.. කිව්වට මෙයා ලේනෙක් නම් නෙමෙයි ඕන්...මෙයා කුරුල්ලෙක්...
පැරැන්නන්ගේ මතයක් තිබුණා උලලේනා කෑ ගහනවා ඇහුණොත් ඒ දේ හරිම මූසලයි කියලා.. ඒ.. මේ කුරුල්ලා  කෑ ගහන්න පටන් ගන්නෙ අමුතුම විදිහට.. හරියට ස්ත්‍රීයකගෙ ගෙල මිරිකන හඩෙන් මර ළතෝනි හඬට ගොඩක් සමාන අදෝනවක් හඬින් තමයි රාත්‍රී කාලයේ කෑගහන්නෙ.. දවල් කාලෙට කැලෑවෙ අඳුරු සහිත තැන්වල හැංගිලා රාත්‍රීයෙදී තමයි මෙයා පියාසර කරන්නෙ... ඔය බියකරු හඬ ගොඩක්ම හඬින් කෑ ගහන්නෙ මේ කුරුල්ලන්ගෙ අභිජනන කාලයේදීලු.. ඒ අප්‍රේල් - මැයි අතර මාස ‘උලලේනීය’ ගේ ප්‍රකට විලාපය වනපෙතේ නින්නාද වන සමය විදිහට තමයි හඳුන්වන්නෙ.. මුළු ගමකම කන් බිහිරි කරවන්න සමත් ශබ්දයක් තමයි මේ උලමා හඬන්නෙ.. ඒ මතයට තවත් පාදක වුණ හේතුවක් තමයි උලලේනාගෙ හඬ ඇහුනොතින් කෙනෙක්ගෙ වියෝවක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන බව ඔවුන් විශ්වාස කලා..

ඒ වගේම මේ කුරුල්ලගෙ හඬළතෝනිය වැහි ආසන්න බවට පෙර නිමිත්තක් බවත් ගැමියන් විශ්වාස කලා.. ඒ විශ්වාසයන් ගමේ ඇත්තෝ කවි කර මෙසේ කීවෝ ය.

“උලලේනියේ හැඬුවට රෑ මරු ඒද
හිමිදිරියේ හඩින් වැහිපල කීවාද
තුන්යාමයේ තුන් දින වහලේ හඬඳ
නගණ්ඩියේ ගැබ මරුවට කැප වෙයිද”


රාත්තිරි කාලේ උලමා ගේ ළතෝනිය වියෝ දුක් මරණය ද, අරුනලු හිමිදිරිය වරුසා ලකුණ ද දින තුනක් තුන්යාමට වහලේ වසා හැඬීමෙන් ගැබ්බර ළඳක ගේ මරණය ද හැඟවූ බව ඉන් කියැවිණි.
උපුටා ගැනීම

උලලේනා අර අමුතු ශබ්දය පිටකරන්නෙ කලින් ඩුගු ඩුගු ගාලා මහා භයානක ශබ්දයක් කරලා. ඒ ශබ්දයට ගැමියන් උල ලේනා මිනී බෙරේ ගහනවා කියලා කියනවා. කටහඬ අහන්න භය මිනිස්සු ඌ කෑගහන වෙලාවට කවි වලින් හඬ අහුකරගෙන එක එක මුඛ බන්දන කරනවා කියලා තමයි ගැමි ව‍හරේ තියෙන්නේ.

උල ලේනයි උල ලේනයි තෝද බොල

නාඩ ඉන්ඩ තොට වරමක් දුනිද බොල
අනද මහ නිරිඳු පටියෙන් බැන්ද බොල
මෙතේ බුදුන් බුදු වෙනකං නාඩ බොල


කවිය උලලේනගෙ කට බඳින්න පාවිච්චි කරපු වස් කවියක්. ඉස්සර මිනිස්සු උලලේනෙක් අඬලනකොට ඔය කවිය කියලා ඌට මුකවාඩමක් දානවලු. ඒත් ඒක පව්කාර වැඩක් කියලා බොහෝ ගැමි ජනයා ඒ ක්‍රමය භාවිතා කලේ නැතිලු.

උල ලේනා, උල ළිහිණියා , යක් කුරුල්ලා යන නම් වලිනුත් හඳුන්වන්නෙ මේ එකම කුරුල්ලා තමයි.. කුරුලු ලොවේ දී ‘උකුසුබකමූණා’ වශයෙන් ද හඳුන් වන මෙකී පක්ෂියා, ‘මාමුහුණු’ කුලයට අයත් මෙරට ලොකුම කුරුල්ලා ද වෙනවා. වනය පුරා සක්මන් කරන යක්ෂ සමූහයක් එකට එක් වී නඟන හූ හඬක් හා සම වූ හූවක් නංවන උලලේනාට ‘යක් කුරුල්ලා’ ය යන නම පටබැඳීම සැබැවින්ම යෝග්‍යයි. මෙම කුරුල්ලන් කෘමීන්, මීයන්, ගොළු බෙල්ලො, සමහර විශේෂයන් මත්සයින් තම ආහාරයට ගන්නවා..

උ‍ලලේනා පිළිබඳ විශ්වාස තවමත් අප සමාජයේ ඉතිරි වී තියෙනවා වගේම ඔවුන් පිළිබඳ විවිධ ජනප්‍රවාදත් තවමත් ඉතිරිව තියෙනවා.. මේ මට අහන්න, කියවන්නට ලැබුණු ජනප්‍රවාදයන්...

එක්තරා කාන්තාවක් දීගෙක ගිහින් පුතෙක් ඉපදුනාට පස්සේ ස්වාමියා ඔවුන්ව දාලා ගියාලු. පස්සේ දරුවයි අම්මයි තමන්ගේ දෙමාපියන්ගේ ගෙදර ගිහින් කාලයක් ඉන්නකොට ජීවිත අමාරු කම් නිසා තවත් විවාහෙක ගියාලු. ඒ විවාහයේ දරුවනුත් හම්බවුනාලු. ගෙදර අළුත් ස්වාමියා පෙර විවාහ‍යේ පුතත් එක්ක ජන්මන්ත වෛරය් තිබිලා තියෙන්නේ.

ගැමි කාන්තාවක් වුනාම හරිම වැඩ, ඉතින් මේ වැඩ හැමදේම කරලා හවස් වෙලා ගෙදරට එනකම් පළමු කසාදයේ පුතා හැමදාම මග බලන් ඉන්නවලු.

දවසක් කාන්තාව වැඩපල කරගෙන එන්න ගිය වෙලාවකදි මේ අළුත් ස්වාමියා ගෙදර ඉඳලා තියනවා. මේ ළමය ගැන තියන තරහ නිසා ළමයව මරලා කෑලි කරලා උයලා දවල්ට කාලා තමන්ගේ ළමයින්ටත් කන්න දීලා තියනවා.

ගැමි කාන්තාව ගෙදර එනකොට දරුවා වෙනද වගේ ඉස්සරහට දුවගෙන ආපු නැති හින්දා ස්වාමියාගෙන් අහුවම ඔය කොහෙට හරි සෙල්ලමට දුවන්න ඇති කියලා ඒ කතාව මගහැරලා අන්න මම අද මඥ්ඤොක්කා හදලා යාළුවෙක් ගෙනත් දීපු මස්වගේකුත් උයලා තියනවා, කන්න කියලා කිව්වලු.

මේ කිසිදෙයක් නොදන්නා මහන්සිවී ගෙදරට ආපු ඇය කනකොට මිනිස් ඇඟිල්ලක් අහුවුනාලු. ඒකේ තිබ්බ මුදුවක් නිසා මේ තමන්ගේ පුතාවයි මරලා මස්කරලා තියෙන්නේ කියලා තේරුම් අරගෙන දැඩි වික්ෂොපයෙන් හූ තියමින් කෑ ගහ ගහ පොලවේ හැපි හැපි ඔලුවට පපුවට ගහගනිමින් විලාප තියලා. අන්තිමේදි වේදනාව ඉවසගන්න බැරිව හැඳිමිටෙන් ඔලුවට ඇණගෙන මැරිලා තියනවා.

දෙවෙනි ජනප්‍රවාදය තමයි  එකමත් එක රටක ජීවත් වුණාලු නිවුන් සහෝදරියො දෙන්නෙක්..! මේ සහෝදරියො දෙන්නා විවාහවෙලා තියෙන්නෙත් නිවුන් සොයුරන් දෙදෙනෙක් එක්ක.. ලොකු නිවුන් ‍සහෝදරියගේ ගති ගුණ වගේම රෑපයත්, ඇය උයන අහරත් ඉතා ප්‍රණීතයිලු.. මේ ගැන අයියා තම මලනුවන්ට නිතරම ගුණ වර්ණනා කලා.. මලෝ වගේම වැඩිමල් සොයුරියගෙ නැගනියත් තම අක්කා කෙරෙහි දැඩි ඊර්ෂාවකින් පසු වුණාලු.. මේ නිවුන් සොයුරියන්ට දුවලා දෙන්නෙක් ලැබුණා.. වැඩිමල් සොයුරියගේ දුව බාල සොයුරියට වඩා ගොඩක් ලස්සන වුණ නිසා අර ඊර්ෂාව තවත් වැඩි වුණා.. 

දවසක් ඇඹුල අරගෙන යද්දි මේ නිවුන් සොයුරියන් , බාල සොයුරිය වැඩිමල් සොයුරියව ඒදණ්ඩෙන් පහලට තල්ලු කරනවා.. ඉතින් කුඹුරට යද්දි වැඩිමල් අයියා අහනවා අක්කා ගැන.. ඇය ඒ ගැන හරිහැටි උත්තරයක් දෙන්නෙ නැහැ..
නිවුන් සොයුරන් දෙදෙනා බාල සොයුරගෙ බිරිඳ ගෙනාව ඇඹුල බෙදාගෙන කාලා හවස් වෙද්දි ගෙදර ගියත් වැඩිමල් සොයුරිය ආවෙ නැහැ.. මේ ගැන තම දියණියගෙන් විමසූ වැඩිමල් සොයුරාට දැන ගන්න ලැබෙන්නෙ තම මවගේ නැගනිය තම මවත් සමග තිබූ වෛරයයි.. ඒවගේම එදා ඉඳන් මේ වැඩිමල් සොයුරියගෙ දියණියට අර බාල සොයුරිය කන්න දෙන්නෙ නැතිව ගොඩක් තාඩන පීඩන කරාලු.

ඉතින් එදා ඉදන් තම පියාට ඇඹුල අරන් යන්නෙ මේ දුව.. අර ඒදණ්ඩෙන් යද්දි ඉබ්බෙක් ඒ දියණියට අවශ්‍යය සියලුම කෑම බීම සංග්‍රහ කරනවා.. ඉතින් දවසින් දවස මේ වැඩිමල් සහෝදරියගෙ දියණිය ලස්සන තරුණ ගෑණු ළමයෙක් වුණා.. මේ වෙනස දැක්ක බාල සොයුරිය තම දියණියව පිටත් කරලා ඇරිය මේ රහස හොයාගෙන එන්න.. අර ඉබ්බාත් එක්ක කතා කරන හැටි, කෑම බිම වලින් සංග්‍රහ කරන හැටි බලාගෙන හිටිය ඇය මේ ගැන තම මවට කියනවා... හවස ඇය බොරු ලෙඩක් මවාගෙන තම ස්වාමියට කියනවා අර ඒදණ්ඩ යටින් ගලන දොල පාරෙ ඉන්න ඉබි මස් කෑවොත් මිසක් මේ ලෙඩේ සුව වෙන්නෙ නැහැ කියලා.. ඉතින් මේ බව කනට වැටුණු වැඩිමල් දියණියගෙ දුව මේ බව අර ඉබ්බට කිව්වලු..

"කමක් නැහැ.. මාව උයලා කද්දි ඔයාට මස් කට්ටක් ලැබේවි‍.. ඒ මස් කට්ට මේ දොල අයිනෙ ගෙනත් වළලන්න.."

ඉතින් පහුවදා ඇය කියු විදිහටම කලා.. අර මස්කට්ට වලලූ තැන ලොකු අඹ ගහක් හැදුනා.. වැඩිමල් සොයුරියගෙ දියණිය එතනට ආවම ඇයට අතු පාත් කරලා ඒ ඵල නෙලා ගන්න දුන්නත් බාල සොයුරියගෙ දියණියට ඒ ගස ලඟට කිට්ටුවෙන්නවත් බැරිවුණා... ඉතින් මේ බව තම මවට පැවසූ පසු පෙර පරිදිම ඇයට උවමණාවුණා තම රෝගය සුව කරන්නට නම් අර අඹගහේ ලී වලින් ගිනි තපින්න.. මේ බවත් වැඩිමල් සොයුරියගේ දියණිය අර අඹ ගහට කිව්වලු..

"කමක් නැහැ.. මාව කපද්දි නුඹ ළඟට ලී කෑල්ලක් විසික්වෙයි.. ‍ඒ ලී කෑල්ල අරන් ගිහින් අර විලට දාන්න.."

ඉතින් දියණිය ඒ විදිහටම කලා.. මේ විලේ පිපුණා ලස්සන නෙළුම් මලක්.. ඇයට පමණයි මෙය සිපගන්නට පිළිවන්.. ඇය තව තවත් ලස්සන වුණා.. පෝෂණය වුණා..

දවසක් මේ විල අයිනෙන් ගියා ඒ රටේ රාජ කුමාරයා.. ඔහු මේ විලේ පිපුණු ලස්සන නෙළුම් මල දැකලා කඩාගන්න කොපමණ උත්සහ කලත් බැරිවුණ නිසා අඬබෙරයක් යැව්වා මේ නෙළුම් මල කඩලාදෙන කෙනෙක්ව හොයන් එන්න කියලා..

තම සොයුරියගේ දියණියට පමණක් එය කල හැකි බව දන්න බාල නිවුන් සොයුරිය , අර දියණියව අළු තවරලා කාමරයක දාලා සිරකරලා තිබ්බා.. ඒත් එතනින් ගිය අඬබෙර කරුවන්ට තමා ගැන පැවසූ ඇය ඒ නෙළුම් මල කඩා දිය හැකි එකම කෙනා තමා බව පවසනවා..

ඉතින්... අර නෙළුම් මල කඩලා දුන්නට පස්සෙ.. මේ දියණියගෙ රූසපුවෙ ලස්සන දකින රජතුමා.. තම රැජිනය බවට ඇයව පත් කරගන්නවා.. මේ දෙයින් තවත් වෛර කරන ඇගේ මවගේ නැගණියන් ඇයව මරණයට පත්කරන්නට ක්‍රමයක් කල්පනා කරන අතර තුර රජුට යුද්ධයක් සඳහා පිටත්ව යන්න සිද්ධ වෙනවා..
ඔහු පිටත්ව යන්න කලින් ඇය නෙලූ අර නෙළුම දීලා රජුට කිව්වලු..

"මේ නෙළුම මේ වගේම පිපිලා තිබුණොතින් මම ජීවත් වෙනවා.. මේ මලේ පෙති හැලුනොතින් මම ජීවතුන් අතර නැතිවෙයි" කියලා.. ඉතින් රජු යුද්ධයට පිටත් වුණාට පස්සෙ රජමාළිගයට එනවා අර බාල නිවුණ් සොයුරියයි ඇගේ දියණියයි.. නිකන් නෙමෙයි.. නයි බිත්තර දාලා හැදුව කැවුම් අරන්.. අනේ ඉතින් ගොඩක් කාලෙකින් ආව තම මවගෙ නැගෙනියත්, ඇගේ දියණියත් පිළිගත්ත මේ රැජණිය, ඔවුන්ගේ තෑගි බෝග පිළි අරන් ඒ ආහාර අනුභව කරාලු..

මේ අතර තුර රජු යුද්ධෙන් දිනලා එද්දි අර නෙළුමෙ පෙති පරවෙලා.. රජු ඉක්මනට මාළිගට එද්දි රැජින නැහැ.. හොයලා බලද්දි ඇගේ දේහය කසල ගොඩක තිබී හමුවෙනවා.. නාග මුහුණතින්...රජු තම කඩුවෙන් ඇගේ හිස ගෙලෙන් වෙන්කලාට පසු නැවත එය එක් වී ඇයට ප්‍රාණය ලැබුණලු..

මෙපමණ කල් ඉවසූ ඇය.. තම මවගේ නැගෙනියටත්, ඇගේ දියණියටත් රජ මාළිගයේ භෝජන සංග්‍රහයකට ආරාධනා කර , ඇගේම දියණියව පිස දෙනවා ආහාරයට.. තම දියණියගෙ ඇගිල්ලක් තම පිඟානෙහි දකින ඇය හැන්ද ‍ඔළුවෙ පිටුපස ගහගෙන ඒ සෝ දුකෙන් මිය ගියා කියලයි කියන්නෙ..

තවත් ජනප්‍රවාද මෙතනින්...

අදටත් ඒ හැඳිමිටලු උලලේනගේ පෙඳය වෙලා තියෙන්නේ. ඒ වේදනාවලු මහ මූසල විදිහට ඌ පිටකරන්නේ කියලා තමයි ගොඩක් අය කියන්නෙ.. ආර්. එල්. ස්පිටිල් මහත්මයගෙ ලක්බිමේ තවත් යුගයක් පොතේ උලලේනා ගැන ගොඩක් විස්තර තියෙනවා.. ඒ වගේම ජනප්‍රවාදගැනත්... වටින පොතක් ලැබුණොත් කියවලා බලන්න.. :)

උලලේනව ඔය එක එක නම් වලින් හැඳින්නුවත් සාමාන්‍යය ජනවහනෙ හඳුන්වන්නෙ මේ කුරුල්ලව

උලමා..!  කියලා...

දැන් මතක්වුණා නේද.. 
හා හා ඉතින් ඔය කණ්ණාඩියක් හොයන්න දුවන්නෙ.. උලමව බලන්න..! :P

ඔය පහලින් ඉන්නෙ ලංකාවේ සත්තු වත්තෙ ඉන්න උලමා නොවැ.. බලන්න අඳුරනවද කියලා.. :D 

                                                     ඔය ඉන්නෙ උලමා වගේම බලාගෙන..


විශාරද ගුණදාස මහත්මයගෙ "කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා උලලේනෝ " ගීතයත් අහලම බලන්න..

28 comments:

  1. මං අහල තියෙන්නෙත් පුතාගේ ඇඟිල්ලක මුද්දක් අම්මට කද්දී අහුවෙලා හඬ ඔලුවේ ගහගෙන මරුන කියන එක

    ReplyDelete
  2. ඔයා ලියල තියන දෙවැනි ජනප්‍රවාදය ටිකක් විතර "ලස්සන වසිලිස්සා" පොතේ තිබුන "රතු එළදෙන" කතාව වගේ...ආපහු ඒක කියවන්න ආසයි..

    ReplyDelete
  3. මේ රාත්‍රී කාලයේ මෙයත් දාන පෝස්ට් හැබෑටම.. මං නම් ඔය සද්දේ අහලා නෑ ජීවිතේටම.. එක අතකට ඒක වාසනාවක් වෙන්න ඇති..

    ReplyDelete
  4. නොදන්න කතා ගොඩාක් දැනගත්තා ස්තූතියි ඔයාට...'බස්ස' බකමූන' කියන්නෙ දෙන්නෙක්ද එක්කෙනෙක්ද?

    ReplyDelete
  5. ගොඩක් ස්තූතියි, හිස් අහසෙ සඳරුත් ටික කාලෙකට කලින් මේ ගැන ලියල තිබුන මතකයි!

    ReplyDelete
  6. මට මතක උනේ අර සදරු අයියගේ සොදරී ගේ කතාව.. එකෙත් සොදරී කියන්නෙත් උලලේනාටලු නේද...

    ReplyDelete
  7. අපොයි උලලේනා නෙවෙයි නිකන් බස්සෙක්ගෙ සද්දෙ ඇහුවත් මයිල් කෙලින් වෙනවානෙ. :O

    ReplyDelete
  8. ලස්සන කතාව. නොදන්නා විස්තර ගොඩක් දැනගත්තා. ස්තූතියි!

    ReplyDelete
  9. අම්ම.......... නිසුපා අක්කි කියන කතාව නම් ඇත්ත තමයි.. :)

    ReplyDelete
  10. නොදන්නා කතා හුගාක් දැනගත්තා අක්කි... ස්තූතියි ඔයාට

    ReplyDelete
  11. moko ane mee davasvala okkoma ulamo gena liyanne...bayath hithenava.

    ReplyDelete
  12. @ අසරණයා- එක එක ප්‍රදේශ වල වෙනස් ජනප්‍රවාද තියෙන්න පුළුවන්.. ස්තූතියි සහෝ.. :)

    ReplyDelete
  13. ලස්සන වලිස්සා.. :( කියවන්න ආස.. ඒත් තවමත් කියවලා නැති පොතක් අක්කියෝ.. :(

    ReplyDelete
  14. හිහිහී... :D උලලේනා එන වෙලාව තමයි.. :D
    ඒකනම් ඇත්ත දිනේෂ්.. ඒත් ඉතින් හඬ අදුරගෙන තියාගන්න එක හොදයිනෙහ්.. :)

    ReplyDelete
  15. @වින්චැට්කිරිල්ලී- නැහැ නංගියෝ.. බස්සයි බකමූණයි වෙනස්.. ස්තූතියි මේ පැත්තට ආවට අක්කියෝ/නංගියෝ.. :)

    ReplyDelete
  16. @තනි අලියා- ස්තූතියි මල්ලියෝ.. ඕන් ඊයෙ තමයි හිස් අහස පැත්තට ගියේ..
    @වර්ණා - මමත් දැනගත්තෙ ඒ පෝස්ට් එකෙන් නංගියෝ.. :)

    ReplyDelete
  17. @නිසුපා- හිහිහී.. :D අක්කියලගෙ ගෙවල් පැත්තෙ ඉන්නවා වගේ.. :D ස්තූතියි අක්කියෝ.. මේ පැත්තට ගොඩවැදුනට.. :)

    ReplyDelete
  18. @Chandi- ගොඩක් ස්තූතියි නැන්දෙ මේ පැත්තට ගොඩවැදුනට.. :)

    ReplyDelete
  19. @Ice (අයේෂා කුලතුංග)- හ්ම්ම්ම හ්ම්ම්‍‍.. බකමූණන්ගෙ සද්දෙ රෑ 11ට විතර ඇහෙද්දිනම් බයයි තමයි.. වෙලාවකට කරදරයක් ඒ සද්දෙ.. :) ස්තූතියි අයිස්.. :)

    ReplyDelete
  20. @හිතුවක්කාරි- ගොඩක් ස්තූතියි නංගියෝ ඔයාට.. මේ පැත්තට ආවට.. :)

    ReplyDelete
  21. අඩේ මම මේක කියවද්දි කන පැලෙන්න කල්පනා කරා උලලේනගේ අනික් නම මට මතකෙට ආවෙම නෑ සදරු අයියාගේ සොදරිව නම් මතක් වුනා මෙන්න බොලේ පහලට යද්දි තියෙනවා උලමා කියලා.....

    මාර ලස්සනට ලියලා තියෙනවා අපිව කල්පනා සාගරේක ගිල්ලුවා ඒ තරම් ලස්සනයි.මම මේ ඔයාගේ බ්ලොග් එකට ආපු මුල්ම පාර.දිගටම ලියන්න ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. හිහිහී... ස්තූතියි මල්ලියා..

      Delete
  22. ගොඩාක් හොඳ ලිපියක් අක්කේ. හරිම ආසාවෙන් කියෙව්වා.:)

    ReplyDelete
  23. අපූරු විස්තරයක්. උලමා කෑ ගහන කොට කියන කවිය ගැනත් ඒක කියන්න කවුරුත් අකමැති කියන කතාවත් මමත් අහල තියනවා. ස්පිට්ල් මහත්මයාගේ පොතේ දීර්ඝ විස්තරයක් තියනවා උලමා ගැන. ස්තුතියි තොරතුරු බෙදා ගත්තාට!!! :)

    ReplyDelete
    Replies
    1. ඔබේ ලිපියත් ගොඩක් අගෙයි..
      ස්තූතියි

      Delete
  24. ගීතය වාගේම ලිපියත් ඉතා හොඳයි.... ඉදිරියේදී කියවන්න මාත් එක්වෙන්නම්....

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා අකුරු ගෙත්තටම..
      ස්තුති නිර්මලා..

      Delete