01 October 2011

දඟකාරයි හැඩකාරයි සමනළයින් වගේ... ~ පුංචි සමනල් පැටවුන්ගෙ ලස්සන හෙටකට ආදරයෙන්...


"අද අපේ දවස නේද...?" 
"මොන..? අද සෙනසුරාදා නොවැ... අද පංති දවසක්නෙ.. ආයෙ ගෙදර එන්නෙ හවසට..."
 ලස්සන අළුත් දවසක ආරම්භක ඇහිපියට අද තවත් එක් දවසක් විතරක් කරන්න ඉඩ තියන්න එපා... හිරිගඩු පිපෙන සීතලක, පළවෙනි අව්රැල්ලත් එක්ක පිනි වැටෙන දිහා බලාගෙන හිටිය.. ඒ දේ හදවතින්ම වින්ද යාළුවොත් එක්ක දුවලා පැනලා ඇවිද්ද ළමා කාලයක් නන්දුටත් තිබුණා... නත්තල් සීයා එනකල් තෑගි ගන්න රෑ පාන්දර වෙනකල්ම ඇහැරගෙන හිටිය.., උණ පඳුරු කපාගෙන ඇවිත් කාටවත් නොපෙනෙන්න කාමරේට වෙලා ලොකූ වෙසක් කූඩු හැදුව.., ගෙදරට හොරෙන් යාළුවොත් එක්ක පොන්ගල් බත් කන්න ගිය.., ඉස්කෝලෙ පොකුණෙන් ලස්සන සාරිගප්පි ගෙනාව... මල්ගස් වලට තනියෙන් කතා කල, කෝටුවක් අරගෙන තැලුව.. වෙලේ වැටි වැටි සරුංල් ඇරිය ලස්සනම ලස්සන කාලයක්...කියන්න ‍ලියන්න තව කොයිතරම් නම් සුන්දර දේවල් තියෙනවද...



කාලයත් එක්ක වෙනස් වෙන ලෝකෙ අද අපිට දුවන්න වෙලා තියෙන්නෙ සරුංගල් පස්සෙ නෙමෙයි.. අල්ලන්න වෙලා තියෙන්නෙ දංඩි පැටව් නෙමෙයි... හොයන්න වෙලා තියෙන්නෙ හැංගුණ හැංගිමුත්තො නෙමෙයි... අපි අපිවම නේද... හොඳයි පොඩ්ඩක් හිතලා බලන්න.. O/L, A/L ,Uni පටන් ගන්න කලින් හිටිය කෙනාමද ඔය ඉන්නෙ කියලා... ඒ සැහැල්ලුවෙන්මද ඉන්නෙ කියලා... තරඟකාරී ලෝකෙක අපිත් නිකන්ම තර‍ගයට දුවන අය වෙලා... මං කියන්නෙ නැහැ වෙනස් වෙන ලෝකෙ අපි එක තැන ඉදගෙන ඉන්න ඕනි කියලා.. ඒත් හිතන්න... අද පුංචි පැටවුන්ට දරාගන්න පුළුවන් කොටසක්ද පවරලා තියෙන්නෙ ඒ පුංචි හිත්වලට.. පෙර පාසැලෙන් එළියට එන්නෙ ශිෂ්‍යත්ව උපකාරක පන්ති වලට දක්කන්න බලාගෙන.. හිතේ පැලපදියම් වෙන්නෙ සාමලා අමරලා නෙමෙයි.. මහ බර ඉලක්කම්... බොළද වුණත් පුංචි කාලෙ අපි බලාගෙන හිටිය නත්තල් සීයලා, දිගට රැළි දැම්ම වෙසක්කූඩු හරහා අපි කොයිතරම් දේවල් ඉගෙන ගත්තද‍‍.. කවදාවත් පාඩම් කරලා.. පොතේ පතේ නොතිබුණ.. සල්ලි වලට ගන්න බැරි ආදරය.. එකමුතු කම.. බෙදා හදාගැනීම්... අත් හුරුව...(ප්‍රායෝගිකත්වය) දුක සතුට එකට දරාගැනීම්.. අද පුංචි පැටවුන්ට කොයින්ද මේ ජීවිතේ පාඩම් වලට ඉඩක්...? කොන්ක්‍රීට් වනාන්තර අස්සෙ හිරවුණ පුංචි සිත් පොඩින්ට උදේ රැයින් ඇහැරිලා කොන්දත් දෙකට නමාගෙන ලොකු පොත් මිටියත් එක්ක පොර බදන දඩුවමට සිතාසි නිකුත් කරලා තියෙන්නෙ කවුද..?



බිතෝවන්ට, ක්ෂේස්පියර්ට වඩා දක්ෂයින් බිහිවෙන්නට පිපිණු මේ කැකුළු හිත් වලට ගිරවුන්ගෙ න්‍යාය දාලා... පොඩියක් හිතන්න... අපි ගණනක් පොත බලන් 100 පාරක් හදලා.. ඒ සමීකරණය ටිකක් වෙනස් කරලා ඉලක්කම් එහාට මෙහාට කරලා දෙනවා.. ඔය ගිරව් න්‍යාය දැම්ම කී දෙනාට හරියට ගණන හද‍න්නෙ.. දෙමව් පියන් පොවන්න හදන පෙන්වන්නට උත්සහ දරණ මේ ලෝකයෙන් පිට බාහිර ලෝකයේ රස දරුවට වැටහුණොත්.. දෙමව්පියන්ට නැතිවෙන්නෙ තමන්ගෙ හීන විතරක් නෙමෙයි.. තමන්ගෙ හීන ජීවත් කරන්න හිටිය දරුවවත්...
"ඔයාට බැරිවුණානෙ අර ළමයට වඩා ලකුණු ගන්න.." "බලන්න අර ළමයා පන්තියෙ පළවෙනියා.." "එයාට පුළුවන්නම් ඔයාට ඇයි බැරි..?" මේ අපි කාටත් පුංචි දවස් වල අප්‍රිය කසායේ වචන ටික... ඊළඟට අයියෝ.. ඔයා සාමාන්‍ය පෙළ ගණිතය ෆේල්.. දැන් ඉතින් අපේ නම්බුවත් ඉවරයි.. කොහොමද නෑදෑයින්ට මූණ දෙන්නෙ..? අනිත් විභාග ගැන මං කියන්න යන්නෙ නැහැ.. ඇයි මේ...? ඔබගෙ හීන නිසාද...? ඇත්ත ඔබ නැති කලක ඔවුන්ට හොඳ දවසක් උදාකරන්න ඔබ දරණ උත්සහය අමිලයි.. ඒත් ඇයි එක හොඳක් දකින්න බැරි.. ඒ ළමයා විභාගෙට වාඩිවුණ එකම ලොකු ජයග්‍රහණයක් නෙමෙයිද..? අපි කවුරුත් අකමැතියි නේද පරදිනවට.. කවුරුවත් අසමත් වෙන්න විභාග ලියන්නෙ නැහැනෙ... අධ්‍යාපන විභාග වලින් ජය අරගෙන ජීවිතයේ එක විභාගයකින් පැරදුනොත්..! බහුතරයකගෙ විසදුම සියදිවි හානිය.. දුක දරාගැනීම ගැන කොයිපොතේද තිබුණෙ නේද..? පුංචි පුංචි දේවල් වලින් මහ ලොකු විනාශයන් ඔවුන්ගෙ ජීවිත වලට වෙද්දි ඔබ ඔවුන් ළඟ නොයිදින්නට පුළුවන්.. අතින් අල්ලගෙන පාර පෙන්වන්න.. මේ දේවල් ඔවුන්ට විතරක් නෙමෙයි.. ඔවුන්ගෙ දරුවන්ටත් බලපාවි..



හැම අවුරුද්දෙම අද වගේ දවසක පාසැල් තිබුණොත් එදාට ඉගෙන්නිලි නම් බොරු අපේ ස්කෝලෙ.. එදාට ගුරුවරුන් එක්ක මුහුදු වෙරළට අපි හැමදෙනාම යනවා...  එදාට ස්කෝලෙ ගානෙ මුළු ඉස්කෝලටම අයිස්ක්‍රීම් පාර්ටියක්... ගුරුවරුන් එක්ක නිදහසේ ළමයින්ට කතා කරන්න පුළුවන් දවසක්... මෙහෙම දවසක මට මතකයි අපේ පන්ති බාරව හිටිය රෝහිණී මිස් කිව්ව එක දෙයක්... "පන්තියෙ හැම ළමයටම පුළුවන් පළවෙනියා වෙන්න.. පන්තියෙ ළමයි 35 දෙනාම පළවෙනියට ආවොත් කවදාවත් ගුරුවන්ට බැහැ ඒ ප්‍රථිඵලය නොදී ඉන්න.." ඇත්තටම මං ඉගෙන ගත්ත පාසැල් වලින් ළමයින් එක්ක සුහදව හිටිය ගුරුවරියක් ඇය.. දෙවන මව්පියන් හැටියට ගුරුවරුන්ටත් ළමාලෝකයේ ළමා කාලය ගැන යම් වගකීමක් තියෙනවා... දෙමව්පියන්ගෙන් පස්සෙ දරුවන් වැඩි පුර ගැවසෙන්නෙ, කාලෙ ගතකරන්නෙ ඔබත් සමඟ... ඇත්ත තියෙන වැඩ කන්දරාවත් එක්ක එක එක ළමයට පෞද්ගලිකව වැඩි අවදානයක් යොමු කරන්න කාලයක් හොයාගන්න බැරි බව.. ඒත් විමසිල්ලෙන් ඉන්න.. පුංචි මල් කැකුළු වල හැම ඉරියව්වක්ම හ‍දවතේ යම් දෙයක් ප්‍රකාශ කරනවා.. සමහර විට ගෙදරින් නොලැබෙන සෙවන ඔබෙන් බලාපොරොත්තු විය හැකියි.. ගහලා, බැනලා, සැර කරලා, කොන් කරලා කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා ඔබගෙ යුතුකම් හා වගකීම් ඔවුන් වෙතින් ඉටුවෙයි කියලා..
මට මතක් වුණේ පැරණි කවියක්..


"බැරි දේ දරුවන්ට හරි හැටි කියා නොදී
බැටදේ නම් ක‍ල දේ යැයි වැරදී
කෙවිටේ බලෙන් එනවා නම් නුවණ ඇදී
මෙරට ගොනුන් පඬුවන් වනු ඇත ළඟදී.."

හැමදෙයක්ම වෙනස්වෙන තරඟකාරී ලෝකයේ අපි එකතැන ඉන්න ඕන කියන එකනම් නෙමෙයි මම කියන්නෙ... ඒත් පුංචි දරුවන්ගෙ ‍ළමා කාලය.. ඒ සිතුම් පැතුම් හරි වටිනවා..ලොකු වුණාමත් ඒ අය මතක් කරන්නෙ ළමාවියේදි ලැබුණ අත්දැකීම්, ගුරුහරුකම් වලින් තමන්ගෙ ජීවිතේ ගොඩනගා ගන්න එක.. පළවෙනි අත්තිවාරම ශක්තිමත් නැතිනම්.. පලුදුනම්.. කොහොමද ඒ මත ශක්තිමත් අනාගතයක් හදන්නෙ.. දරුවට යන්න පුළුවන් හැම ඉසව්වකටම පාර පෙන්වන්න.. හොඳ නරක ආදරයෙන් කියලා දෙන්න.. අදහස් බෙදා ගන්න.. ඒත් බලෙන් තල්ලු කරන්න එපා.. ඔබේ හිතේ ඉන්න කෙනාව උපදවන්න ඒ දරුවගෙ හීන මරන්න එපා.. ඔවුන්ගෙ හිතේ ධෛර්යයෙන් නැගිටින්න කියලා දෙන්න.. බලන්න ඔවුන් ඔබටත්, රටටත් ලොවටත් ඔබේ නම බබලන හැටි...
අපේ දිනයේ අපි ගැන කතා නොකලොත් ලොකු අඩුවක් නේද.. අපි පුංචිම පුංචි කාලේ ... ඒ කියන්නෙ කිරි දත් එන්න කලින් කාලෙ.. ඊට පස්සෙත් අපි ගොඩක් දෙනෙක්ට මතක නැතිව ඇති... ඒත් මේ හැම දෙයක්ම අපේ දෙමව්පියන්ට මතකයි.. අපි ශරීරයෙන්.. අපේ අදහස් වලින්... වගකීම් වලින් සන්නද්ධ වෙද්දි... අපිව මේ තත්වයට ගෙනෙන්නට කැපකිරීම් කල.. අපේම දෙමව්පියන්ගෙ අගය අපිට අමතක වෙන්න පුළුවන්.. මේ short films වලින් මං ආසම ලස්සන තේරුමක් තියෙන එකක්... මේ පුංචි සිතුවිල්ල ඔයාලගෙ පුංචි හිතට බාරයි..!



එහෙනම්.. සතුටින් පිරුණු හෙට දිනක පුංචි සමනල් පැටුන්ට අළුත් ලෝකයක් උදාවෙන්න සු පැතුම්....!!!!  නන්දුගෙනුත්..

9 comments:

  1. හරිම ලස්සන පෝස්ට් එකක් නන්දු...!! පුංචි ළමයින් ගැන, මේ සමණළ පාට ලෝකෙ ගැන හරිම අපූරුවට ලස්සනට ගළපලා තියන්ව. අපූරූයි..!!!

    "දරුවට යන්න පුළුවන් හැම ඉසව්වකටම පාර පෙන්වන්න.. හොඳ නරක ආදරයෙන් කියලා දෙන්න.. අදහස් බෙදා ගන්න.. ඒත් බලෙන් තල්ලු කරන්න එපා.. ඔබේ හිතේ ඉන්න කෙනාව උපදවන්න ඒ දරුවගෙ හීන මරන්න එපා.. ඔවුන්ගෙ හිතේ ධෛර්යයෙන් නැගිටින්න කියලා දෙන්න.. බලන්න ඔවුන් ඔබටත්, රටටත් ලොවටත් ඔබේ නම බබලන හැටි..."

    හොඳම හොඳ පණිවිඩයක්...:)

    ReplyDelete
  2. අද අපේ දවස කියලා අමතක වෙලා තිබුණෙ නන්දු අක්කෙ.මේක දැක්කාමයි මතක් වුණේ.ලස්සනයි.

    ReplyDelete
  3. හරිම අපූරු පෝස්ට් එකක් නන්දු.. අර අන්තිමට දාලා තියෙන වීඩියෝ එක බලන හැම පාරකම වගේ හරි අමුතු හැගීමක් එන්නේ හිතට...

    ReplyDelete
  4. හරිම ලස්සනට කියන්න ඕනේ දේ කියල තියෙනවා. මේවා අම්මලා තාත්තාලාත් කියවනව නම් කියල හිතුනා. ඒත් කමක් නෑ වෙන්ඩ අම්මල තාත්තාල ඉතිං මේවා බලනවනේ. ඒ අයගෙවත් ඔළුවලට මේ ගැන යමක් ඇතුලත් වුනොත් ලොකු දෙයක් හිකිස්...

    ලස්සනයි නන්දු ස්තුතියි අපිට වැදගත් පොස්ට් එකක් කියවන්න අවස්ථාවක් දුන්නට.

    ReplyDelete
  5. ළමුන් කුතුහලය හා නොදැනුවත් කම සමග පාසලට යති. පාසලෙන් නොදැනිවත් කම තිබියදී කුතුහලය මරා දමයි! (මතක හැටියට)

    .

    ReplyDelete
  6. බොහෝම හරබරව වගේම රසවත්ව සකසපු පොස්ට් එකක් නංගී (ප්‍රමාද වෙලා මේ පැත්තට ආවේ). විස්තර සහිත සටහනක් ලියන්න මා නැවත මේ පැත්තට එන්නම්.

    පොඩි නිවැරැදි කිරීමක් සිදුවිය යුතු තැන්:
    ගෙදරටත් යාළුවොත් එක්ක හොරෙන් පොන්ගල්
    ක්ෂේස්පියර්ලට

    ඒ ගැන පෙන්වා දෙන්න වෙනත් ක්‍රමයක් නැති නිසා කොමන්ටුවක සඳහන් කරාට අමනාප නෙවෙනු ඇතැයි සිතමි, ඔබේ රචනයේ ලස්සන පණිවුඩය මූණු පොතේ බෙදාගන්න අවසරද නංගී.

    ReplyDelete
  7. @ හිතූ.. බොහොම ස්තූතියි හිතූ මෙහි අන්තර්ගතය ග්‍රහණය කරගෙන පුංචි හිත කැකුළු වලට ලස්සන ලොවක් උදාකරන්නට මේ පැත්තට ගොඩවැදුනට.. :)

    @වර්ෂා.. සා.පෙළ කඩඉමත් එක්ක තියෙන වැඩ ගොඩත් එක්ක අපේ දවස අමතක වෙන එක පුදුමයක් නෙමෙයි නංගියෝ.. අධ්‍යාපන කටයුතු සාර්ථකව ජයගන්න සුබ පැතුම් නංගියට..!!! :)

    @දිනේෂ.. බොහොම ස්තූතියි අයියෙ.. ඇත්තටම ඒ වීඩියෝව අපේ හදවත් වලට කතා කරලා දෙන්නෙ අමිල පණිවිඩයක්.. :)

    @සිහිනයක මියැදුණ සිතක්.. හිහිහී.. අනිවාර්යයෙන්ම.. මේ හිත් දවසක වැඩිහිටි ලෝකයට පා තබාවි.. මේ පෝස්ටුව ඒ ජීවිතයට එක් ගඩොලක් වේවි.. බොහොම ස්තූතියි සහෝ. :)

    @තනි අලියා.. කල්පනා කරලා බලද්දි ඇත්ත නේන්නම්.. නොදැනුවත් කම තිබියදී කුතුහලය මරාදමපු ශිෂ්‍යයිනෙ අද පාසැල් වලින් පිට වෙන්නෙ.. බොහොම ස්තූතියි සහෝ. මේ දෙය එක්කලාට.. :)

    @ ගල්මල් අයියා.. අනේ කිසිම අමනාපයක් නැහැ අයියෙ.. බොහොම ස්තූතියි අයියට වැරදි තැන් පෙන්වලා දුන්නට.. ඕන් මං හරි ගැස්සුවා.. :) මගේ මේ කෙටි රචනයෙන් එක සිතක් හරි ලස්සන වෙනවනම්.. අනිවාර්යයෙන් බෙදාගන්න අවසරයි අයියේ.. බොහොම ස්තූතියි වැඩ රාජකාරි බහුලව තිබියදී වුණත් මේ පැත්තට ගොඩවැදුනට අයියේ.. :)

    ReplyDelete
  8. ඩීන් අයියාගේ දැනුඅත් කිරීමකින් මෙහෙ ආවෙ, ලස්සන සටහනක්, ඒ වගේම ගොඩක් හිතට දැනෙන.
    සුභ පැතුම් !!!!

    ReplyDelete
  9. බොහොම ස්තූතියි සහෝ. :)

    ReplyDelete