04 March 2013

ගන්දි | An odor § 01


නුහුරු රටේ අළුත් පාසැලට පැමිණි මුල්ම දවසෙ, ඇයට ලැබුණ ආගන්තුක සත්කාරය..!
පන්තිකාමරය තුල මිතු මිතුරියන් නමින් ඇමතීමට නොහැකි ඔවුන් තැබුවෙ ඒ නම ඇයට. තිබුණ වටකුරු ඇසුත්, ඔවුන්ගෙන් වෙනස් වූ කළු හමත්, එයටම ආබරණයක්ව ඝණව වැඩුණ කළු දිග කෙස්වැටියෙන් ‍කරල් දෙකකට බෙදුන කොණ්ඩයත් ඔවුන්ගෙ හිත් සොරාගත්තත්, ඊට වඩා ඔවුන් බයවුණේ වෙනත් භාෂාවන් චතුරව කතා කරන ඔවුන්ගෙ මව්භාෂාව ඉගෙනීමට පැමිණි ඇයව භාර ගැනීමට..

පාසැලේ ප්‍රධාන ආචාර්යය තුමාගේ උණුසුම් පිළිගැනීමෙන් එතුමා විසින්ම පන්තිකාමරය තුලට එක්ක යද්දි... දකින්න බලාපොරොත්තු වුණත් ළමුන් 35ක් පමණ හිටියෙ 12-14 දෙනෙක් පමණයි.. එක බංකුවට දෙන්නා බැගින්.. දෙපසට වෙන්න බංකු බෙදා තිබුණා. පළවෙනි අවුරුද්දෙ සිට පස්වන අවුරුද්ද දක්වා යන්නට ඇති මේ ගන්දි ආසම විෂය උගන්වන පාසැලට ඇයව ඇතුලත් කරගත්තෙ එරට ළමුන්ට වුණත් පොදු ඇතුලත් වීමේ කිසිම විභාගය ලියන්නට නොදීමෙන්...! ගන්දිගෙ මව් රටේ ඉගෙන ගත් විෂයනුත්.. ඇයගේ වයසත් ප්‍රධාන මහාචාර්ය තුමා ගේ තීරණයෙන් ඇයව ඉන්දවූයේ 3වෙනි වසරට..!  

මුල් කාල පරිච්ඡේදය එරට මව් භාෂාව පුරා දිවෙද්දි කැරකිල්ල නොහැදි බේරුණේ.. අනිත් අය මූණවල් හකුල ගනිද්දි.. තම බෑගය තිබූ පුටුවෙන් බිමට අරන් ඇයට වාඩිවෙන්න ඉඩ සැලසූ ලෙයෝ නිසා. 
ලෙයෝ... රන්පාට කෙසුත්, සුදු කණ්ණාඩියකුත් එක්කම ටිකාක් මහත, ඒත් හරි නිහඬ බවක් තිබුණා.. හිනාවකුත් එක්කම.. හැබැයි නිතරම කටේ චුයින්ගම් හපමින්..!

"ඔයා ළඟ ගඳයි..!"

ඒ පන්තියෙම පිරිමි ළමුන් ආකර්ශණය කරගෙන ඉන්න සබ්‍රි.  ඒ... ගන්දිගෙ රටටම පමණක් ආවේණික වුණ විශේෂ කුළුබඩු සුවඳ නිසා... ගන්දි නමේ පටන්ගැන්ම එතැන...!

"ලෙයෝ..මේ අන්තිමට තියෙන නම මොකද්ද කියවගන්න බැරි ?"

ලෙයෝ ලියලා තිබුණ ඒ පන්තියෙ ගැහැණු ළමුන්ගෙ නම් ලිස්ට් එක.. මතක සැමරුමක්ව ජනෙල් පඩිය උඩ..

"ඒ අළුතින් ආව කෙනාගෙ නමනෙ..!"

"එයාව බැහැ අපේ කණ්ඩායමට ගන්න. මේ බිත්තියෙ ලියලා තියෙන නම කපන්න.!"

 ඇය එතනින් අහකබලාගෙන ගියත්.. ගන්දිට දැනුනෙ හිතට දුකක්..!

පොත්ලිස්ට් එක ලෙයෝ ලියලා දුන්නා.. අච්චුපොත් සියල්ලම මුදල් ගෙවා පොත් සාප්පුවෙන් මිලදී ගන්න ඕන වෙනවා. ඒ මදිවට පහසුකම් ගාස්තුත්. ඒත් විනාඩි 10ක පා ගමනින් ළඟාවෙන ගෙදටත් පාසැලත් ගැන ඇය කොයිතරම් සතුටුවුණාද කිව්වොත් ඇඳක්වත් නැතිව මෙට්ට‍යෙ පමණක් නිදියන ඇය උදෙන්ම අවදිව පාඩම් කලා. ෆයිනස් කොළ සුවඳ පිරුණ, කුරුළු කිචිබිචියෙන් පිරුණ ඒ හැම උදයකම, ගන්දි සුබ උදෑනකට සුබ පැතුවෙ හදවතින්ම සතුටින්..!


"ඔයාටත් දෙන්නද චුයින්ගම්.."

"හා ගොඩක් ස්තූතියි..!"

ඒ දෙවෙනි දවස.. මව් බස කාලපරිජ්ජේදයදි..

"ෆ්‍රන්චුල්ලි...!" (කාටවත් කරදරයක් නැති දැරිවි) 
මේ ගුරුවරුන් ඇයව හැඳින්වුව නම..!

ෆ්රේ මහාචාර්ය තුමිය ඇයගෙ නම කතා කලේ ‍බැඳලා තිබුණ කෙටි කොණ්ඩයත් කෙලින් කරන් කණ්ණාඩිය යටින්..

ඇය පුරුද්දටම පුටුවෙන් හිට්ටවුණා..

කට පෙන්වා මොවද කිව්වත් ෆ්‍රන්චුල්ලි‍ට  එය තේරුමක් නැහැ. ගන්දි හිතුවෙ දිග නම කියාගන්න බැරිව ෆ්රේ තුමිය අමාරුවෙ වැටිලා කියලා. ඒත් ඊයෙ පාසැලට එද්දි හිටියෙත් මෙතුමිය නිසා ඇය ටිකක් ‍‍වෙලා තේරුම් ගන්න උත්සහ කලා..

"නෑ..!"

"චුයින්ගම් එක විසිකරවා.. වහාම..!"

සැහැල්ලිට බැලුණෙ ලෙයෝ දිහා...
ඇය මුකුත් නොදන්න ගාණට කට නොහෙල්වා ඉන්න අපූරුව..!

අපරාදෙ..! 
ලෙයෝනම්  දවසම හපන, කෑමට පසුත් ඒකම කටේ දාගන්න... ඒත් ගන්දිට විනා. 5ක්වත් කපා රස උරාගන්න බැරිවුණ චුයින්ගමය...!

එදා දවසම ගන්දි නම් හිටියෙ මූණ රතුකරන් බිමට හරවගෙන.. ආයෙ චුයින්ගම් නම් පන්තියේ කටේ තියන්නෙ නැහැයි හිතාගෙන.

"සැහ්.... හැ..ල්..ලී..ඊහ්.. ත්‍යා...යා... ග්..ය...."

හැම කාලපරිඡේදයකටම එන ආචාර්යය තුමන්ලට නම් ලකුණු කරද්දි හිරවෙන ඇයගෙ නම ලඟට එනකල් පන්තියම බලාගෙන ඉන්නෙ. හිනාවෙන්න...! ඒ අසරණ කොකෝවා ලෙලිවුණ මූණත්.. කණ්ණාඩිය උඩින් පන්තිය සිසාරා හෙළන ඒ බැල්මත් ගන්දිට නම් මාස ගණනක් විඳින්න සිද්ධ වුණා. නම දිග වැඩිකමිනුත්.. එ නිසාම ආචාර්ය තුමන්ලා ඇයට ෆ්‍රන්චුල්ලි හෝ සැහැල්ලි කියන්න පුරුදු වුණා.

විනය ගරුක බව, කීකරු කම, හැදියාව කොටින්ම එ රටේ හැදියාවට වඩා ඔවුන් තව අවුරුදු දහසකින්වත් බලාපොරොත්තු විය නොහැකි හැදියවක් ඇය තුලින් දකිද්දි ගුරුවරු මේ අපූරු ළමයාගෙ වෙනස දැක්කා. ඔවුන් ඇයට ආදරය කලා.  ඇය වෙනුවෙන් වෙනම පන්ති පැවැත්තුවා. භාෂාව පුහුණු කිරීම වෙනුවෙන්.. හැකි හැම උත්සහයක්ම ඔවුන් දැරුවා. එ රටම ළමුන් එළියට බැස ගුරුවරු මාරු කරන ලෙසටත්, නිවාඩු දිනයන් වැඩි කරන ලෙසටත් උද්ගොෂණය කරද්දි.., ගන්දි පමණක් පාසැල් විත් මුළු දවසම ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්ත දවස් තිබුණා.. ඔවුන් ඒවා ඉවසුවෙ රවාගත්ත බැල්මෙන්..

"ඉතින් සැහැල්ලි.. කියන්නකො ඔයාලගෙ රට ගැන.."

"අපිට කවදාවත් හිම නැහැ. මෙහෙ දකිද්දි ආසයි.."

"ඒ අතින් ඔයාලා කොයිතරම් වාසනා වන්තද.. මං අහලා තියෙනවා.. ඔයාලගෙ රට ගොඩාක් ලස්සන බව.. දවසක ප්‍රසන්ටේෂන් එකක් කරන්න.."

"හොඳයි ආචාර්යතුමි..!"

ඒ දයාබර ගුරුදෙගුරුන්ගෙ හිතවත් වචන...!

ඒත්..

එකම පන්තියෙ මිතු මිතුරියන්ගෙන් එන්න එන්නම පීඩන වැඩිවෙද්දි සැහැල්ලු ගෙදර ගිහින් ඇඬුවෙ වරක් දෙවරක් නෙමෙයි. දෙමාපියන් කොයිතරම් හිත හැදුවත් තවදුරත් පාසැලට ඒ පන්තිකාමරයට ගිහින් මුහුණ අනිත් අයගෙන් වහගෙන පහල් කරන් ඉන්න ඇය කැමත්තක් දැක්වුයේ නැහැ. ඒ විතරක් නෙමෙයි තමාට හුරුපුරුදු යහළු යෙහෙලියන්ගෙන් ඈත්ව නුහුරු නුපුරුදු අයගේ ඇසුරකට ඇය විවෘත වුවත් ඇයව අඩුම තරමෙ පිළිගත්තෙ ලොයෝ විතරයි. කණ්ඩායම් ක්‍රියාකාරකම්.., ක්‍රීඩා වලට ගන්දි ආස වුණත්.. පන්තියෙන් ඇති මෙ තත්වෙ උඩ ගන්දි ඔවුන්ට තමාගෙන් කරදරයක් නොවෙන්න වග බලාගත්තා. පාසැලෙන් සංවිධානය කෙරෙන අධ්‍යාපනික චාරිකා වුවත් ඇයට නිහඬවම යන්න වුණා. ගුරුවරු ඇයත් සමග හැකි හැමවෙලාවෙම කතා කලත්... ඒ පුංචි හිතට දැනුනෙ මහ ලෝකයක මැද කළු තිතක්ව තනිවූ හැඟීමක්.

මේ දේවල් මතින් පීඩනයක් ලබද්දී.... ඇය ඉගෙනීම අතහැරියෙ නැහැ. ගන්දිගෙ තනිනොතනිය මැකුවෙ පොත්. ඇය ආදරයකරන්න පටන් ගත්තා.. හැමදාම ඇය එනතුරු මඟ බලන පාඩම් පොත් වලට.. ඇය පෙම්වතා කරගත්තා... පත්තරවල කතුවකි පරිවර්තණය කලා. නිල පොත් දවසගානෙ පරිවර්තණය කලා. රූපවාහිනියෙ යන ළමා නාට්‍ය ඇය තේරුම් ගන්න උත්සහ කලා. නොතේරුණ වචන ඇය ශබ්ධ කෝෂයෙන් බලා පරිවර්ථනය කලා. නිහඬවම යන අධ්‍යාපන චාරිකා තුලින් ඇය කණ්ඩායමේ පසුපසින්ම ගොස් ඔවුන් නොදැක්ක, කන්කෙඳිරි ගාමින් යන ගමන... ගන්දි වටපිට නිදහසේ නිරීක්ෂණය කරන්න ගත්තා. ඇය පොතේ පතේ දැනුමත් සමඟ ඇයගේ මනසත් ඇසුත් අවදිව තියාගත්තා. 

පන්තියේ හොඳම ළමයා වුණේ ඇය එහෙම..!
සමහරුන්ට ඇයව නිතරම සිනහ මුහුණින් සිටින සැහැල්ලු චරිතයක් ලෙස පිටතට පෙනුනත්, ඇයගෙ සැඟවුණ ජීවිතය එය.! ඇය විටෙක දෙවෙනි වුණේ පන්තියේ හැමෝම කොපි කරන ලෙයෝට විතරයි.. අවංකවම කොපි නොකර ඇය ‍දවසක් ලෙයෝටත් වඩා ලකුණු ගත්ත එක ගැන ලෙයොත් ටිකෙන් ටික වෙනස් වෙන්න ගත්තෙ ගන්දිට හිතාගන්න බැරිවුණ විදිහට..

එරට ඇයගෙ වයස, ඇයගෙම පන්තියෙ අයට ගන්දිගෙ ඒ දියුණුව තවත් ඒ බව දරා ඉන්න බැරිවුණා.  ඇය ගැන විවිධ කේලම් ආචාර්ය්‍ය තුමන්ලාට ඔවුන් පැවසූවත් ඔවුන් නොවෙයි ඒ එකක්වත් ගණනකට ගත්තෙ. ඒත් අන්තිමට ලෙයෝ ඉන්න තැන වෙනස් කලා. ලෙයෝව සාබ්‍රීගෙ මේසයට ගත්තෙ.. සාබ්‍රී ගෙ පෙරපාසැල් සිටම ‍යාළුවා වුණ කටකාර මාරිකත් එක්ක තරහාවෙලා. 
ගන්දි ඒ මේසයේ තනිවුණා.

ලොකු කණ්ණාඩි දෙකක් දාන පන්තියේ විකට චරිතෙ රඟ පාන දාස් , ඉස්සරහට ආව දත් දෙක මැදට පෑන් බටයක් තියලා කෙළ පිබිද්දිත් ඇය ඒ දිහා හිනාවෙලා බලා හිටියෙ නිවට කමටද නැතිනම් ඉවසීමටද දකින්න කාටවත් උනන්දුවක් තිබුණෙ නැහැ.

භාශාවෙ අමාරු වචනයකදි හිර වුණ ඇයට කවදාවත් නැතිව සැරෙන් කතා කලෙ ඇය මුළු හිතින්ම ආදරය කල එරට භාෂා ආචාර්ය්‍යය තුමිය..ෆ්රේ..! ගන්දි හැඬුම නවත්තගන්නට කොයිතරම් වැරගත්තත් හිතේ වේදනාව ඇස් ඇතුලෙන් පැනලා දෝරගැලුවෙ..., "කවදාවත් කිසිම කෙනෙක්ව ආයෙ හදවතින් විශ්වාස නොකරමි" යන දේ හිතේ තියාගෙන.. මුළු පන්ති වලම ගුරුවරු කලබලයෙන් ඇය ළඟට ඇවිත් කාරණය අහද්දි ඇයට උත්තර දෙන්න සිදුවුණේ විදේශ එහෙත් චතුර භාෂාවෙන්. ඇය ගෙදර ගියේ කිසිම දෙයක් නොවූ ගාණට වුණත් හිත ඇතුලෙ තිබුණ වේදනව දෙමාපියන්ටවත් ඇය පෙන්වුයේ නැහැ.

<හෙට එනවා නේද අනිවාර්යෙන්ම..
ෆ්‍රේරේ තුමිය ගොඩක් බයවෙලා..>

දුරකථනයට ආ කෙටි පණිවිඩය ලෙයෝගෙන්..

ඒත් තැලුණ හිත සුවපත්කරන්න ඒ දේවල් වලින් බැහැ. පහුවදා ඇය පාසැල් ගියෙ නැහැ. ඒ මුළු ජීවිත කාලෙටම එකම එක දවසක් පමණක් පාසැල් නොගිය එකම අවුරුද්ද..!

තුන්වෙනි අවුරුද්දෙ අන්තිම විභාගය ඉතිරි අවුරුදු දෙක ගෙවන්නෙ කොහොමද යැයි තීරණය වන මායිමක්. හවස පන්ති හැම විෂයකටම පැවැත්වූවා. මේ කාලෙදිම ඇය ආසාවෙන් බැලුව නාට්‍යකුත් විකාශය වුණේ කොයිම මොහොතකවත් නිනව්වක් නැති ඇයගෙ හිතට දුකක් දීලා. ඇය ආසාවෙන් හදබැඳගත් එය කිඳුරියන් ගැන කතාවක්..! භාෂාව ගැන වගේම පාළුවෙන් හිටි ඇය ඒ තුල ජීවත් වෙන්න ගත්තත් හවස උපකාරක පන්තිය නිසා ඇයට ඒ ආසාව ට තිතක් තියන්න වුණා යැයි ඔබ සිතනවද..? නැහැ. ඇය හවස 2.00ට පටන් ගන්නා උපකාරක පන්තියට 1.30ට පාසැල ඇරීමෙන් පසු ගෙදර ගොස් පාන් පෙත්තකුත් බඩට දාගන්නා ගමන් 3.00ට විකාශය වන ඒ කතාව රෙකෝඩ් වන්න දාන්නෙ 4.00ට ගෙදර විත් ඒ කොටස වෙන්කර නැරඹීමට. සමහර දවසක ඇයට පැය බාගයකින් පරිඝණකයේ වැඩසටහන් නැවත ස්ථාපිත කර  දමන්නත් වුණා යම් යම් දෝෂ නිවාරණයට..!

 ඒ කොහොම වුණත් ඇය තනිකමෙන් ජය ගත්තා. ඒ විතරක් නෙමෙයි ඒ තීරණාත්මක තීරණයෙනුත්..! එරට , ඇයගෙ පන්තියෙම ඇය සමඟ විභාගයට ලියූ ළමුන් දෙ තුන් දෙනා අසමත් වෙද්දී ඇය... ඊළඟ වසර දෙක එම පාසැලේම ඉගෙනුම ලබන්න වාසනාවන්ත වුණා...!

ගන්දිගෙ ජීවන පාථය වුණේ එරටට පැමිණි කාලයේ විකාශය වුණ ළමා නාට්‍යක දෙබසක්..!  බාල්තො..! වෘකයෙකු සහ බල්ලන් අතර කාටූනයක්..! බල්ලන් අතර සිටින වෘකයෙකුයැයි කොන්කරන ඇයට යහළුවෙකුමෙන් ඉගැන්නූ වටින දෙය...

"මට උඹට යමක් කියන්න තියෙනවා බාල්තො..!"

"එක බල්ලෙකුට මේ ගමන තනියෙන් කරන්න බැහැ. ඒත් සමහර විට....
එක වෘකයෙකුට...! පුළුවන්..!"

ඔව්...! ඇය වෘකයෙක් වුණා...!

ඇය දු-ගන්දියක් වේවි ද...? 
      ඇය සු- ගන්දියක් වේවිද..?


ඊ ළඟ කොටසට...!